2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

හැරගියත් හැරනොයන 2020 මළගිය තරු

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

2020 වසරේදී කොරෝනා වෛරසය මුළු ලෝකයම ගිල ගනිද්දී එය බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් එල්ල කරන ලදී. 2020 වසර තුළ ලොවපුරා බොහෝ දෙනෙක්ගේ ජීවිත කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අහිමි වෙද්දී බොලිවුඩයේ කිහිප දෙනෙක්ද 2020 වසරේදී තම ජීවන ගමනට සමුදුන්නේය. මේ ලිපිය ඔවුන් ගැන මතක ආවර්ජනය කිරීමකි.

• සුශාන්ත් සිං රාජ්පුත්

සුශාන්ත් සිංගේ හදිසි සමුගැනීම ගැන බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොකු කුඩා ඔහුගේ රසික රසිකාවියන් පුදුමයට පත්කළ සිදුවීමක් වුණා. 2020 ජූනි 14 වැනිදා මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී සුශාන්ත්ගේ නිසල සිරුර සොයාගත් අතර ඔහු දිවි නසාගෙන ඇති බවත් හොයා ගත්තා. ඔහුගේ ඔහුගේ ජීවිතයෙන් සමුගෙන මාස හතක් පමණ වුවත් තවමත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින අතර නඩුවෙහි විමර්ශනය මේ වනවිටත් සිදු කෙරෙමින් තියෙනවා. පවිත‍්‍ර රිශ්තා නම් රෑපවාහිනි කතා මාලාවෙන් චරිතයක පණ පොවමින් මිනිසුන්ගේ හදවත් දිනාගත් සුශාන්ත් බොලිවුඩ් සිනමාවට පිවිසියේ 2013දී කයි පෝ චේ සිනමා පටයෙනි.

• රිෂී කපූර්

2020දී බොලිවුඩයේ ප‍්‍රවීණ රංගන ශිල්පියෙක් වූ රිෂී කපූර්ද තම දිවි ගමනට සමුදු අයෙක්. 2018 දී ඔහුට පිළිකාවක් බව දැනගෙන ඒ සඳහා ප‍්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවර ගොස් වසරකට පමණ පසු 2019 සැප්තැම්බර් නැවත ඔහු ඉන්දියාව පැමිණි අතර වයස අවුරැදු 67දී රිෂී කපූර් අවසන් හුස්ම හෙළුවේ 2020 අපේ‍්‍රල් 30 වැනිදාය.

• ඉර්ෆාන් ඛාන්

තම දක්ෂතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින්ගේ හදවත්හි විශේෂ ඉඩක් වෙන් කරගෙන සිටි ඉර්ෆාන් ඛාන් 2020 අපේ‍්‍රල් 29 වැනිදා මියගිය අතර එවිට ඔහුගේ වයස අවුරුදු 54ක් විය. ඔහුද ඒ වනවිටත් පිළිකා රෝගය නිසා ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටි අතර ඉර්ෆාන් ඛාන් ලයිෆ් ඉන් මෙට්‍රෝ, හින්දී මීඩියම්, අංගේ‍්‍රසී මීඩියම්, ඇතුළු හින්දී සිනමා පට මෙන්ම හොලිවුඩ් සිනමාපට සඳහාද රංගනයෙන් දායක වුණු අති දක්ෂ නළුවෙක් විය.

• අසීෆ් බස්රා 

අසීෆ් බස්රාගේ මරණය සියලුදෙනා පුදුමයට පත් කළේය. 53 හැවිරිදි අසීෆ් බස්රා 2020 නොවැම්බර් 12 වැනිදා හිමාචල් ප‍්‍රදේශ්හි ධරම්ශාලාවල පිහිටි ඔහුගේ නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා. ඔහු වසර හතරක් පමණ ධරම්ශාලාවල සුඛෝපභෝගී නිවසක් කුලියට ගෙන ජීවත්ව ඇති අතර ඔහු සුරතලයට ඇති කරන ලද සුනඛයාගේ දම්වැලකින් තෙම ගෙල වැළලාගෙන තියෙනවා. ඔහු බ්ලැක් ෆ‍්‍රයිඩේ, ජබ් වී මෙට්, කයි පෝ චේ, ඇතුළු සිනමාපට බොහොමයක චරිතයන්ට පණ පොවා තියෙන අතර අවසන් වරට හොට් ස්ටාර් කියන වෙබ් අඩවියේ මාලා නාටකයක් වන හොස්ටේජස්හි චරිත නිරෑපණය කරමින් ඉඳලා තියෙනවා.

• සරෝජ් ඛාන්

බොලිවුඩයේ සුප‍්‍රසිද්ධ නර්තන ශිල්පී සරෝජ් ඛාන් 2020 ජූලි 02 වැනිදින මිය ගියේය. වාර්තාවන අන්දමට 71 හැවිරිදි සරෝජ් ඛාන් හෘදයාබාධයකින් මියගිහින් තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් සරෝජ් ඛාන්ව ප‍්‍රතිකාර ගැනීමට මුම්බායිහි රෝහලකට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී දිවියෙන් සමුගත්තා. සරෝජ් ඛාන් හින්දි සිනමා පටයන්හි ජනප‍්‍රිය ගීත රාශියක් සඳහා නර්ථනයන් ඉදිරිපත් කර තියෙනවා. 

• වජීද් ඛාන්

2020 ජූනි 01 වන දින වජිද් ඛාන් මිය යනවිට බොලිවුඩයේ සංගීතය සපයන යුවළක් වශයෙන් දන්ගෙන සිටි සජිද්- වජිද් යුගලය බිඳී ගියේය. 42 හැවිරිදි වජිද් ඛාන් වකුගඩු රෝගයකින් පීඩා විඳමින් සිටි අතර ඔහුගේ කොරෝනා වෛරසයද පොසිටිව් වෙලා තිබුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඔහු සල්මාන් ඛාන්ගේ දබංග් සිනමා පටයේ ජනප‍්‍රිය ගීතවල සංගීත අධ්‍යක්ෂණය මෙන්ම තවත් බොහෝ ජනප‍්‍රිය ගීත සඳහා සංගිතය සපයා තියෙනවා.

• ජග්දීප්

බොලිවුඩයේ ප‍්‍රවීණ විකට නළුවෙක් වන ජග්දීප් 2020 ජූලි 08 වැනිදා තම දිවියෙන් සමුගෙන තියෙනවා. 81 හැවිරිදි ජග්දීප් කාලයක් තිස්සේ අසනීපවලින් පීඩා විඳමින් සිට තියෙනවා. ඔහු සිනමා පට 400කට වඩා රංගනයෙන් දායක වී තියෙන අතර ෂෝලේ සිනමා පටයේ ඔහු සුර්මා බෝපාලිගේ චරිතයට පණ පොවා තියෙනවා.

• බාසු චැටර්ජී

ප‍්‍රවීණ හින්දි සිනමා පට නිෂ්පාදක බාසු චැටර්ජී 2020 ජූනි 04 වන්දින වයස අවුරැදු 93ක් ආයු වළඳා තම දිවියට සමුදීලා තියෙනවා. බොහෝ ජනප‍්‍රියට පත්වූ චිත‍්‍රපට නිෂ්පාදකයින් අතර ඔහුගේ නමද ඇතුළත් වෙනවා. චිත්චෝර්, ඛට්ටා - මීටා, ශෞකින්, රාජ්නිගංධා, චමෙලී කී ශාදි කියන සිනමාපට තමයි ඔහු නිෂ්පාදනය කළ සිනමාපට අතරින් වඩාත්ම ප‍්‍රසිද්ධියට පත්වුණේ.

• කුම් කුම්

හින්දි සිනමාවේ ප‍්‍රවීණ රංගන ශිල්පිනියක වන කුම් කුම් 2020 ජූලි 28 වැනිදා තම දිවියට සමුදී තියෙනවා. ඇය දීර්ඝ කාලයක් අසනීප වලින් පීඩා විඳ තියෙනවා. ප්‍යාසා, මේම්සාබ්, ලල්කාර්, ගීත්, රාජා ඖර් රංකා, වැනි බොහෝ සිනමාපටවල චරිත නිරෑපණය කර තියෙනවා. 

• එස්.පී. බාලසුබ‍්‍රමනියම්

පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ සුප‍්‍රසිද්ධ ගායකයෙක් වන එස්.පී. බාලසුබ‍්‍රමනියම් භාෂා 16කින් ගීත 40000කට අධික ප‍්‍රමාණයක් ඝායනා කර පටිගත කොට තියෙනවා. 74 හැවිරිදි බාලසුබ‍්‍රමනියම් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී 2020 සැප්තැමබර් 25 වන දින චෙන්නායිහීදී අවසන් හුස්ම හෙළුවා.
මේ සියලුම තාරකාවන්ගේ වියෝව ගැන හැමදෙනෙක්ම කම්පනයට පත්වූ බව නොරහසක්. ඔවුන්ගේ අඩුව කිසිවෙක්ට සැපිරිය නොහැකි අතර ඔවුන්ගේ සිනමා පට, ඔවුන්ගේ ගීත, නර්තනයන් තුළින් ඔවුන් සැමදා සදාකාලික වෙමින් අපගේ හදවත් තුළ සදා ජීවමාන වනු ඇත.