2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ගමන පටන්ගත්තේ තාත්තා බත් කවද්දී කියාදීපු කතන්දර අහලා

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 141

හරිත් වාසල.... අපිට ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමුකෝ...
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි මල්ලියි. මගේ තාත්තා මුල් කාලේදී කලාවට සම්බන්ධ කෙනෙක්. එයාගේ රැකියාවත් එක්ක එයාට ඒවායින් අයින් වෙන්න වුණා. තාත්තාගේ ඒ ආභාෂයත් එක්ක තමයි මම මේ කලාවට සම්බන්ධ වුණේ. තාත්තා තරුණ කාලේදී වේදිකා නාට්‍ය බොහොමයක් කරලා තියෙනවා. එයා රැකියාවට යාමත් එක්කම වේදිකා නාට්‍යවලින් සහ ඒ කලා කටයුතුවලින් අයින්වෙලා තිබෙනවා. අදටත් තාත්තා හොඳ රසවතෙක්.

ගෙදර පරිසරයත් එක්ක කලාවට හරිත්ගේ හිත ගියේ කොහොමද?
මට තාම මතකයි තාත්තා ඉස්සර මට බත් කවද්දී හැමදාම කතාවක් කියලා දුන්නා. මට හිතෙන විදියට පසුකාලීනව මම තිර රචකයෙක් වුණේ ඒ තාත්තාගේ කතාන්දර කලාව නිසාමයි. ඉස්සර සමහර දවස්වලට තාත්තාගේ කතන්දරයක් අහන්නේ නැතිව මම බත් කෑවේ නැහැ. තාත්තා හැමදාමත් කිව්වේ එකම කතන්දර ටික නෙමේ. තාත්තා එයාගේ හැකියාවටත් එක්ක මට අලුත් අලුත් කතන්දර හදලා කිව්වා. ඒ හැම කතන්දරයක්ම අහගෙන ඉඳලා මම ඉස්කෝලේ ගිහින් මගේ යාළුවන්ට කිව්වා. පාසලේ සමිතිවලදී මම ඒ කතා කිව්වා. කවදාවත් ඉස්කෝලේ ළමයි අහලා නොතිබුණ මගේ අලුත් කතා අහන්න ඒ අය හරි ආසාවෙන් බලාගෙන හිටියා. අද මට හිතෙන දෙයක් තමයි තාත්තාගෙන් ඒ කතන්දර ඇසීමේ පිපාසය මාව තිර රචකයෙන් කරන්න ඇති කියලා.

හරිත් ඉගෙනගත්තේ මොන පාසැලේද?
මම ඉගෙන ගත්තේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ. අපේ පාසලේ මුලින්ම වේදිකා නාට්‍ය කරන්න පටන් ගත්තෙත් අපිමයි. අපේ පන්ති භාරව හිටපු රූපිකා ගුරුතුමියත් පිටියගේ ගුරුතුමත් ආදරයෙන් මතක් කරන්නට ඕනේ. සර් හරහා අපේ පාසැලේත් වේදිකා නාට්‍ය කරන්න පටන් ගත්තා. මට තාම මතකයි අපි මුලින්ම පාසැලේදී වේදිකා ගතවුණේ මනමේ නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ වැද්දාට තමයි මම රඟපෑවේ. ඒක තමයි පාසල් වේදිකාවේ මගේ මුල්ම රංගනය වුණේ.
පාසල් අධ්‍යාපනයෙන් පසුව හරිත් තෝරාගත්තේ කලාවමයි.

ඔව්... පාසල් අධ්‍යාපනයෙන් පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව උපාධිය හැදෑරුවා. ඊට අමතරව මම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමාකරණය පිළිබඳවත් රුපවාහිනී සංස්ථාවෙන් රූපවාහිනීකරණය පිළිබඳවත් තවත් නාට්‍ය ඩිප්ලෝමාවකුත් හදාරලා තියෙනවා.

හරිත් පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
 ඇත්තටම මට එහෙම හීනයක් තිබුණේ නැහැ. උසස් පෙළට නාට්‍යකරණය විෂයයක් විදිහට හැදෑරුවත් රංගනයට, සිනමා තිර රචනයට, ගීත රචනයට එකතු වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දී තමයි මට ගැලපෙන්නේ මේ ක්ෂේත්‍රය කියලා මටම හිතුණේ.

ජීවිතේ මේ හැරවුම වුණේ කොතැනින්ද?
පාසැලේදී මගේ යාළුවෝ උඹ රඟපාපන්, උඹට නළුවෙක් වෙන්න පුළුවන්* කියලා මාව අගේ කළා. නමුත් මේක තමයි මගේ ගමන කියලා මට ඒ කාලේදී හිතුනේ නම් නැහැ. නමුත් පසුකාලීනව බොහෝ ඇසූ පිරූ මිනිසුන් මුණගැසෙද්දී ඒ අයව ඇසුරු කරද්දී ඒ අය එක්ක ගනුදෙනු කරද්දී මටත් කලාවට එන්න හිතුණා. මම ගොඩක් පොත් කියවන කෙනෙක්. ඒ දේවල් එක්ක මට හොඳ තැන මෙතැන කියලා මට හිතුණා.

මුලින්ම හරිත් තුළින් එළියට එන්නේ තිර රචකයාද? නළුවාද?
මම මුලින්ම මතුවෙන්නේ නළුවෙක් විදිහටයි. චන්ද්‍රරත්න මාපිටිගම මහතා තමයි එතුමාගේ ටෙලිනාට්‍යයකට මුලින්ම මාව සම්බන්ධ කරගත්තේ. හැබැයි මගේ අධ්‍යාපනය නිසා මම ඒවායින් බැහැර වුණා. ටික කාලයකට පස්සේ මම වාර්තා වැඩසටහන් තිරරචකයකු විදියට කලාවට සම්බන්ධ වුණා.

හරිත්ට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්... මම සිනමා තිරරචකයෙක් විදිහටත් සිනමා නළුවෙක් විදිහටත් සම්බන්ධ වුණා. සුනිල් ප්‍රේමරත්න මහතා වගේම සුසන්ත ධර්මප්‍රිය මහතාගේත් නිර්මාණ ඔස්සේ මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම මුලින්ම කලාවට ආවේ පරාවර්තන චිත්‍රපටයෙන්. ඒක තමයි මුලින්ම මම රඟපාපු සිනමා නිර්මාණය වන්නේ. ඊටපසුව රීලෝඩ්, වැලිපහුරු, නිහඬ සෙවණැලි චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. වැලිපහුරු ඔස්සේ මිනිස්සු මට ඉතා හොඳ ප්‍රතිචාර ලබාදුන්නා. රීලෝඩ් චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ නිහඬ සෙවණැලි ඔස්සේ වෙනස්ම චරිතයක් නිරෑපණය කරන්න හරිත් ට අවස්ථාව ලැබුණා නේද?
ඔව්... සුනිල් ප්‍රේමරත්න මහතාගේ නිහඬ සෙවණැලි චිත්‍රපටය ඉතා අපූරු නිර්මාණයක්.  ඒකේ රොෂාන් රණවන, පුබුදු චතුරංග සහ මම තමයි ප්‍රධාන තරුණයින් තිදෙනාට රඟපෑවේ. ඒ වගේම තාරුකා ධනංජි, මාෂි ඒකේ රඟපානවා. ඒකේ සම තිර රචකයා සහ ගීත රචකයා විදිහටත් මම දායක වුණා. ඒ නිර්මාණය මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්න සිනමා පටයක්. ඒකේදී මට ආවේශ වෙන අවස්ථාවේදී තනිකරම මුහුණ වෙනස් කරන වෙනස්ම වේශ නිරෑපණයක් මගේ මුහුණට දානවා. ඒ චිත්‍රපටයේදී ආවේශ වෙන අවස්ථාවේදී මම හැසිරෙන අවස්ථාව සහ ඒ සිනමා පටයේ තාරුණ්‍ය නියෝජනය කරන සැබෑ ජීවිතය නිරූපණය කරන අවස්ථාවේ අතර ලොකු වෙනසක් වෙනවා.

සිනමා තිර රචකයා බිහිවෙන්නේ කොතැනින්ද?
ඒකට ශෂික රුවන් මාරසිංහ කියන අයියාට ස්තූතිය පුදන්නට ඕනේ. ශෂික අයියා තමයි මල්ලී අපි චිත්‍රපටයක් කරනවා. උඹ ඒක ලියපං කියලා මට ඒ අවස්ථාව ලබලා දුන්නේ. ඒ වෙද්දී මම වාර්තා වැඩසටහන් කිහිපයක්ම තිර රචනා කරලා තිබුණා. ඒවා දැකලා තමයි මාව විශ්වාස කරලා ශෂික අයියා මුලින්ම් මට සිනමා තිර රචනයක් කරන්න මුල්ම අවස්ථාව ලබලා දුන්නේ. මම ඒ චිත්‍රපටයේ තිර රචනාව ලියලා ශෂික අයියාට දුන්නට පස්සේ බොහෝ දෙනෙක්ට මගේ තිර රචනාව පිළිබඳව ආරංචිය ලැබිලා තිබුණා. හැබැයි අවුරුදු ගාණක් ගතවුණත් තාමත් ශෂික අයියාට ඒ චිත්‍රපටය කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම ඒ පිටපත තාමත් වෙන කෙනෙක්ට දුන්නෙත් නැහැ. කවදාහරි ශෂික අයියම ඒක කරන තුරු මම බලාගෙන ඉන්නවා. ඊට පසුව මට තිර රචකයකු ලෙස කිහිප දෙනෙක්ම කතා කළා. සුනිල් ප්‍රේමරත්න මහතා, සුසන්ත ධර්මප්‍රිය මහතා එක්ක මට තිර රචකයකු විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විශ්ව බාලසූරිය එක්ක ලස්සන වැඩක් කරන්න හිටියා. කොවිඩ් ප්‍රශ්නේ නිසා ඒක ටිකක් කල් ගියා. ජහුටා කියන චිත්‍රපටයේ තිර රචකයා විදිහට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක නිෂ්පාදනය කරන්නේ රේණුකා බාලසූරිය මහත්මියයි. හැබැයි මාව සිනමා තිරරචකයකු විදිහට කලඑළි බහින්නේ ශෂික අයියාට මා ලියූ තිර පිටපතයි.

දෙදහස් විසි එක අවුරුද්දේ හරිත් ලියපු විසි එක ටෙලිනාට්‍යයත් මේ දවස්වල රූගත කිරීම් කෙරෙනවා?
ඔව්... විසි එක ටෙලි නාට්‍යය මේ දවස්වල රූගත කිරීම් කෙරෙනවා. ඒකත් මම විසින් ලියපු තිර පිටපතක්. මම සිනමා පිටපත් කිහිපයක් කළත් විසි එක තමයි මම ටෙලිනාට්‍යයකට ලියූ මුල්ම පිටපත වන්නේ. ඒ වගේම තමයි මෙහි අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා සිනමා නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය කරලා තිබුණත් ඔහු විසින් මුලින්ම අධ්‍යක්ෂණය කරන මුලුම ටෙලිනාට්‍යය වෙන්නෙත් මේ තිර පිටපතයි. ඒකේදී මටත් චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පුබුදු චතුරංග, දිනක්ෂි ප්‍රියසාද්, නයෝමි තක්ෂිලා, ධනංජි තාරුකා වැනි තරුණ රංගන ශිල්ප ශිල්පිනියන් වගේම සුසිලා කෝට්ගේ, කුමාර තිරිමාදුර වැනි ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් එක්ක කරන හරි අපූරු ටෙලිනාට්‍යයක් ඒක. මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්න. සුනිල් අය්යා කියන්නේ හරි සුන්දර මනුස්සයෙක්. කුමාර තිරිමාදුර, සුසිලා කෝට්ටගේ වැනි ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් එක්ක වැඩකරන්න ලැබීමත් මගේ වාසනාවක්. විසි එක ටෙලිනාට්‍යයේ ගීතයක් රචනා කරන්නත් සුනිල් අයියා මට බාර කළා.

කලාකරුවෙක් වගේම මේ වදේදී හරිත් ගුරුවරයෙක්?
ඔව්. මේ වනවිට මම මතුගම පාන්තිය මහ විදුහලේ දරුවන්ට නාට්‍ය හා රංග කලාව උගන්වනවා. ගුරු වෘත්තියට මම හරිම ආදරෙයි. ඒ පාසැලේ විදුහල්පති වික්‍රමනායක සර් වගේම පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනි දෙපලට මම ගොඩක් ස්තූති කරනවා. වික්‍රමනායක සර් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලබලා දෙනවා. ගුරු වෘත්තියේ නියැලෙමින්ම කලාකටයුතුවලට දායක වෙන කලාකරුවන් කලාකාරියන් බොහෝමයක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මටත් මේ දරුවන්ට උගන්වන ගමන් ඊට බාධාවක් නොවන අයුරින් කලා කටයුතුවලට දායක වෙන්නයි ඕනේ.

හරිත් ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
මම නිර්මාණ කරන්න ලොකු පිපාසයකින් ඉන්න කෙනෙක්. මම ලියපු පිටපත් කිහිපයක්ම මේ කොරෝනා වංසගතයත් එක්ක එක තැන නතර වෙලා තියෙනවා. හොඳ නිර්මාණ ටිකක් මේ සමාජයට දායක කරන්න මම හරි ආසයි. නිර්මාණ කිරීම තුළින් මම ලොකු සතුටක් ලබනවා. ඒ සතුට ගැන කියන්න මට තේරෙන්නේ නැහැ. තිර පිටපත් රචකයාට ජීවිතය මාර විදිහට විඳින්න අවස්ථාව ලැබෙනවා. මම තනියම ඉඳිද්දී ඒ විවිධ චරිත එක්ක මම කතා කරනවා. විඳිනවා. ඒවා තමයි මගේ අතින් ලියැවෙන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක්. මම ඒ වෙනසට ආසයි.

 

                     සේයාරූ I සුමුදු හේවාපතිරණ