2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

Live විකාරේ කුණුහරුප ලෝකයක්!

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

මචෝ අපි හැමෝම ලෝකේ සජීවී අයනේ. හැබැයි අජීවී වගේ ජීවත්වෙන අයත් ලෝකේ නැතුවම නෙවෙයි. ඒ කොහොම වුණත් අද කතාව සජීවී අජීවී වෙනස ගැන නම් නෙවෙයි. ඒත් ඒ කතාවත් මේ කතාවට අදාළයි මචෝ. මේ කතාව පට්ට Y Trend එකක් වෙච්ච Social Media LIVE පිස්සුව ගැන.

හරි එකපාරට Set නෑ වගේ හිතුණා නේද? අවුලක් නෑ පැහැදිලි කරන්නම් කෝ. මගේ බොක්කලා දන්නවානේ ඔය Facebook එකේ එහෙම LIVE එන අය ගැන. ඒ වගේම Instagram, YouTube වගේ ගොඩක් තැන්වලත් LIVE එන ගැන සුදාලා දන්නවා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එකම පිරිසක් නේද LIVE එන්නේ වැඩිපුර. එතකොට එයාලා LIVE ඇවිල්ලා කියන්නේ අමුතු කතා නේද? එතකොට වෘත්තීමය විදහට LIVE එන අයත් ඉන්නවා නේද? මේ දවස්වල Gaming LIVE ගොඩක් තියෙනවා නේද? අන්න හරි මේ සීන් එක ටිකක් ගැඹුර හොයලා බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගැඹුර කිව්වට අපි පතුලට යන්නේ හරිය.

අපේ පැංචලා Social Media ඇතුළේ කරක් ගහනවා නම් පහුගිය කාලේ දකින්න ඇති මේ සීන් එක. LIVE ඇවිල්ලා කුණුහරැපෙන් කාට හරි බනින කන්තාවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය Video බුකියේ හරි ප්‍රසිද්ධයි. මේ අය කරන්නේ Selfie Cam එක On කරගෙන Facebook LIVE ඇවිල්ලා තමන්ට මොනවා හරි වරදක් කරා කියලා කියන කෙනෙක්ට ඉතාම අසභ්‍ය විදිහට බනින එක. ඇත්තටම මේ අයට පිස්සුද කියලා මේවා දැකපු සුදාලට හිතෙන්න ඇති. ඒත් මෙයාලා කියන වචන නිසා ඒ Social Media වීඩියෝ බලන අයට මාර ආතල් එකක් ඇවිල්ලා තියෙනවා පැංචෝ. එකෙන්ම ඒක බොහොම පැහැදිලියි. මොකද මචෝ ඔය ජාතියේ Video ගොඩක් පහුගිය කාලේ Viral වුණා. ඒ විතරක් නෙවෙයි මුලින් එක්කෙනෙක් දෙන්නෙක් තමා සීන් එකේ හිටියේ. අද වෙනකොට LIVE කුණුහරැප ඔස්තාර්වරියන් වගේම ඔස්තාර්වරැ සැලකියයුතු ප්‍රමාණය ඉන්නවා.

මෙතැනදී පෙනෙන එක දෙයක් තමා සමහරුන්ට ඇත්තටම යම් මානසික ව්‍යාකූලභාවයක් තිබෙනවා. සමහරුන්ට එහෙම නෑ. ඒත් මේ සීන් එක පටන් ගත්තේ මේ සාමාන්‍ය පන්තියේ අද ප්‍රසිද්ධ වෙලා ඉන්න අය නම් නෙවෙයි. රටේ ජනප්‍රිය නිළියෝ සහ නිරූපිකාවන් කියන අය. මේ අය අවුරුදු තුන හතරකට කලින් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න Social Media එකට ගෙනත් LIVE එකිනෙකාට බැන ගත්තා. ඒක ඒ කාලේ කට්ටියට වෙනම ආතල් එකක් වුණා මතක ඇති. දැන් ඔන්න සීන් එකේ හිටපු අපේ පැංචලාට පැංචිලාට එයාලගේ නම් මතක් වෙයි. කොහොම හරි මේ සීන් එක ඒ කාලේම ගොඩක් දෙනෙක්ට අමතක වුණා. නමුත් ඒ පූර්වාදර්ශ එක්ක තමා මේ කුණුහරැප ඔස්තාර්වරියන් පොදු සමාජේ නිර්මාණය වුණේ.

මචෝ මේක ආතල් වගේ පෙණුනට ඛේදවාචකයක්. ඒක හේතුව මේ සීන් නිසා එක දිගට වීඩියෝ දාලා ඒක පුරුද්දක් වෙලා විශාල මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්වුණු තරුණියක් ගැන පහුගිය කාලේ වර්තා වුණා. ඒත් මේක සමාජේට විනෝදයක්. ඒක නවත්වන්න අමාරුයි සුන්දරා. මොකද මේක බහතෝරන පොඩි දරුවනට අසභ්‍ය වචන උගන්වලා ඒ දරුවෝ ඒව කියන කොට දෙමව්පියෝ අත්පුඩි ගගහා විනෝද වෙන රටක් මචෝ. හැබැයි මේ Trend එකක් තවත් පැතිරුණොත් තත්ත්වය භයානක වෙනවා. අනික් අතට අසභ්‍ය රූප රාමු පාලනය කරන Social Media Company වලට පුළුවන් වුණාට අසභ්‍ය වචන භාවිතය පාලනය කරන්න ඒ අයට තාම බෑ. අන්න ඒ නිසා සුදාලා අපි මේ Y Trend එකේ කතා කරන සීන් කෝන් එක රටේ බලධාරීන් සිරා ගත්තට කමක් නෑ. එහෙම නොවුණොත් අපේ දරැවන්ට හෙටක් නෑ. අඩේ සිරාවට කියන්නේ හොඳේ.

ඔන්න මේ අතරේ LIVE සීන් එකේ තව Trend එකක් තමා වෘත්තීය භාවිතය. ඒක මෙහෙමයි මචෝ. අද සමහරැ TV Programs, Radio Programs වගේ Facebook LIVE කරන්න Try කරනවා. Page හදාගෙන ප්‍රසිද්ධ වෙලා තමා මේ දේවල් කරන්නේ. ඉල්ලන සින්දු දෙනවා. සාකච්ඡා කරනවා. ආතල් දෙනවා. එක එක වැඩකරන අය ඉන්නවා. හැබැයි මේක Professional විදිහට කරන්න උත්සහා කරන වැඩක්. මේකේ ඉතින් වරදක් නම් කියන්න බෑ මචෝ. මේකෙන් සාර්ථක වුණු අය ආදායම් උපයන අය වගේ තෘප්තිමත් වෙන අය ඉන්නවා. පුංචි ගැටලුවකට තියෙන්නේ TV, Radio ආකෘතිය සම්පූර්ණන්ම Social Media ඇතුළට බස්සන්න බෑ කියලා සමහරු තේරුම් නොගැනීම. ඉතින් ඒක තේරැම් අරගෙන නිර්මාණාත්මක මේ වැඩේ කරන අය තමා ගොඩයන්නේ පැංචෝ.

මේ අතර ඉන්නවා LIVE සීන් තවත් පිරිසක්. ගිටාර් එකක් අරගෙන LIVE ඇවිල්ලා සින්දුවක් කියලා. යාළුවෝ ඉල්ලන සින්දුව දීලා අතල් එකක් ගන්න අය. මේක ඉතින් අහිංසක විනෝදයක් මචෝ. අනික මෙක Professional දෙයකුත් නෙවෙයි හරිය. ඒ වගේම තමන්ගේ පාළු කාන්සිය නිවාගන්න කරන මේ වැඩේ වරදක් නෑ. එතකොට විදේශ ගතවෙලා ඉන්න අයත් මෙහෙම LIVE එනවා. ඒ එයාලගේ කාන්සිය නිවාගන්න. හැබැයි ඒක බුද්ධිමත් විදිහට කරන අය වගේම ගොන් විදිහට කරන අයත් ඉන්නවා. මොනවා වුණත් ඒක එයාලගේ කැමැත්ත. ඒක එයාලගේ බුද්ධි මට්ටම. ෆ්‍රොන්තොලට කියන්න තව කට්ටියක් ඉන්නවා එයාලාට Smart Phone එක හම්බවුණා කියන්නේ වඳුරාට දැලි පිහිය හම්බවුණා වගේ. Social Media LIVE ඇවිල්ලා ගෙවල් පෙන්නලා දුකායි දුකායි ගාන්නේ අන්න ඒ වගේ අය. ඇත්තටම එයාලා පව් මචෝ. අපහාස කරන්න හොඳ නෑ.

මේ වෙද්දී ලෝකෙම වැඩි Social Media LIVE භාවිත කරන්නේ Gamers ලා. ඒ වෙනුවෙන් YouTube වගේම Facebook ඇතුළේ වෙනම පහසුකම් පවා සම්පාදනය කරලා තියෙනවා අපේ සුදාලා දකින්න ඇති. මේ සීන් එක ගැන දවසක වෙනම අරගෙන Y Trend එකෙන් කතා කරනවා මචෝ. දැනට සරලව කියන්නම්. නොදන්න අයට කියන්නම් සරලව මෙතැනදී වෙනදේ. එකෙක් නැත්නම් පිරිසක් පරිගණක ක්‍රීඩා කරනවා. ඒක සමාජ මාධ්‍යයේ සජීවීව විකාශය වෙනවා. ක්‍රීඩා කරන්න වගේම ඒක බලන්න ඉන්නත් කට්ටිය එකතු වෙනවා.

මේක මාර Y Trend එකක් පැංචෝ. මේ මොහොතේ ලෝකය ආක්‍රමණය කරපු පට්ටම Trend එක. ලංකාවේත් මේ වෙනකොට Facebook වගේම YouTube ඉතා ජනප්‍රිය Streamers ලා ඉන්නවා. Facebook පැත්තේ නම් T Hik Gaming - Hashano, Napura Gaming වගේ අය ප්‍රසිද්ධයි. Youtube පැත්තේ ගොඩක් යට ඉන්නවා. ඔය මනියාලා වගේ අයත් දැන් සීන් එකේ ඉන්නවා. ආයෙත් කියනවා ඇත්‍තටම මචෝ මේක වෙනම කතාකරන්න ඕනා මාතෘකාවක්. Pro සීන්කෝන් එක, ආර්ථික වාසි සමාජ බලපෑම වගේ ගොඩක් දේවල් මේ සීන් එකේ තියනවා. ආ ඒ පස්සට වස්තුවේ. කොහොම වුණත් මේක ජත්‍යන්තර පිළිගත් වැඩක්. ඒ නිසා මේ LIVE සීන් එක අපි විවේචන කරන්න යන්නේ නෑ හරිය. හැබැයි ඇබ්බැහි වෙනවා නම් වෘත්තීමය විදිහට කරන්න කාලය නාස්ති කරලා ජිවිතය විනාශ වෙන විදිහට නම් නොකර ඉන්න කියලා අපි එකෙන්ම කියනව සුන්දරා.

ඔන්න මචෝ LIVE සීන් කතාව අදට ඉවරයි. ලෝකය රඟහලක් අපි එහි නළුවෝ කියලා කතාවක් තියෙනවානේ මචෝ. ඉතින් ඔය කවුරුත් Social Media LIVE ඇවිල්ලා රඟපාන්නේ ජවනිකාවක් කියලා මතක තියාගන්න කෝ. එතකොට අපි ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා කියලා සුදාලට හිතෙයි. අනේ නෑ මගේ වස්තුවේ අපිත් ඉන්නේ වේදිකාවේ.

ආදරේයි ගිහින් එන්නම් ..  !