2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

මේ ගීතය ලෝකයේ හැම භාෂාවකටම පරිවර්තනය වෙන්න ඕනෑ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 735

මේ විශ්වයේ පවතින සියලු ධර්මතාවයන් සේම ආදරය අනුරාගය ආදී අනේකවිධ මනෝභාවයන්ද ඔහුගේ සුගායනීය හඬින් ගැයූ ගීතය නම් සමාජයීය මානවීය කලාත්මක ප්‍රකාශනයන්හි අන්තර්ගතය. එහෙයින් ඔහු අප්‍රමාණ යුග මෙහෙවරක් නූපන් පරම්පරා වෙනුවෙන් පවා ඉටුකළ අද්විතීය ගායකයෙක් ලෙස හැඳින්වීම අතිශය සාධාරණයැයි මට හැඟේ.

ඔහු ගී හඬ නෑසුවෙකු සිංහල ගීතයට ප්‍රිය කරන සුවහසක් දනන් අතර නැති තරමට ඔහු රසික ශ්‍රාවක මන බන්ධනය කළ ගායකයෙකි. හේ 
සුනිල් එදිරිසිංහය.

මගේ නොවන මගේම ගීතය ගැන අද කතා කරන්නට එන්න යැයි අප කීවේ ඒ ප්‍රවීණ ගායකයාටය.
ඔබ බුදුගුණ ගීයක් ගැයුවොත් ඒ කටහඬ අපට දනවන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය.. මානවවාදී ගීයක් ඔබ ගැයුවොත් ඔබ අප තුළ ඇතිකරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ සුන්දර හැඟීම්.. ආදරය ගැන ගීතයක් ගැයුවොත් ඔබ අප තුළ ඇතිකරන්නේ ආදරය පිළිබඳ ආදරණීය හැඟීම්.. ඇත්තටම කොහොමද මේ තරම් භාවපූර්ණ විදිහට ඔබ මිනිස්සුන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරන්නේ..
ඒක මම සවිඥානිකව කරන දෙයක් නෙවෙයි. ඉබේම සිදුවන දෙයක්. ප්‍රතිභාවක් ඇතුව උත්පත්තිය ලබන මනුෂ්‍යයෙක් ව්‍යුත්පත්තියත් ප්‍රගුණ කළ යුතුයි. අපේ රටේ සහ ලෝකයේ නිර්මාණකරුවන් දෙස බලද්දි මට දැනෙන හැඟීමක් තමා මම මේ ප්‍රකාශ කළේ.

සවිඥානිකව ගන්න අත්විඳීම් අත්දැකීම් බවට පත්වෙලා ඒවා ආත්මගත වී කාලයත් සමඟ ඔහු සතතාභ්‍යාසයේ යෙදෙන විට නිරායාසයෙන්ම ඒ ගුණ ඔහු තුළින් දිස්වෙනවා කියන එක තමා මම විශ්වාස කරන්නේ. මගේ කටහඬෙත් ඔබ ඔය කියන ගුණ දැනෙනවනම් ඒ දැනෙන්නේ ඔය හේතුව මත. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය තමයි සැමවිටම නිර්මාණකරුවෙකු තුළින් සාර්ථකත්වය විදිහට කලඑළි බහින්නේ. නිර්මාණකරුවා පංචේන්ද්‍රියන් වෙතින් ලබාගන්නා අත්විඳීම් අත්දැකීම් නිර්මාණ ලෙස ලෝකයට විවෘත වෙනවා.

ඔබගේ ගීත අහන සුවහසක් මිනිසුන් ඒ ගීතයේ හඬ, අර්ථ රසය, ශබ්ද රසය විඳිමින් සිත් නිවාගන්නවා. හැබැයි සුනිල් එදිරිසිංහ කියන ප්‍රවීණ ගායකයත් තමන්ගේ නොවන ගීතයක් තුළින් වඩාත් ප්‍රබලව එහෙම රසයක් විඳින හැටි දැනගන්න ඔබට ආදරය කරන ඒ සුවහසක් ශ්‍රාවකයන් කැමති ඇති.

අපොයි ඔව්.. ව්‍යුත්පත්ති ඥානය තුළ එක්රුස් කරගන්නා තැන්වල අපි නතර වෙනවා. ඒ නතරවෙන තැන් තදින් අල්ලා ගන්නවා. ඒ තදින් අල්ලාගන්න තැන් සමහරවිට තමන්ගේ ජීවිතයට බද්ධ කර ගන්නවා. එය තමන්ගේ අත්දැකීමක් වෙන්නම අවශ්‍ය නැහැ. එහෙම අයිති කරගත් නිර්මාණ මටත් තියෙනවා. මගේ වයස හා ජීවිතය පිළිබඳ අවබෝධයත් එක්ක මම දැන් ජීවිතයේ සහ ස්වභාවධර්මයේ යථාර්ථය තමා සැමවිටම ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ. එහෙම ගීත තමයි මට ගෝචර වෙන්නේ. ඒත් හොඳ ආකෘතියක් තුළ සෞන්දර්යාත්මක පසුබිමක නිර්මාණය වී ඇත්නම් ආදර ගීතයක් වුණත් මම කියන්න පෙළඹෙනවා. ඒත් වැඩිපුර මගේ සිත් ගන්නේ ජීවිත යථාර්ථය හා සොබාදහම ලියැවුණු නිර්මාණයන්. මම බොහෝම කැමති ගීය තමා මහගම සේකර ලියූ අපේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව සංගීතවත් කර ගැයූ සන්නාලියනේ කියන ගීතය.

සන්නාලියනේ ගීතය ගැන එතරම් ගැඹුරු බැඳීමක් ඔබ තුළ පවතින්නේ ඇයි?
පාසල් කාලයේ ඒ ගීතයේ තනුවට සහ ගායනයට ප්‍රිය කළා. එහෙත් ඒ ගීතය නැවත නැවතත් අහන්න අහන්න ඒ ගීතයේ යථාර්ථය ගැන නැවුම් හැඟීමක් දැනෙනවා. මනුෂ්‍ය ජීවිතයේ උපත, විවාහය, මරණය යන සිද්ධාන්ත තුළ තමා හුඟාක් වෙලාවට ගලාගෙන යන්නේ. ඔය අතරේ ජීවිතයේ සිදුවන සංසිද්ධි රැසක් තියෙනවා. මේ ගීතය තුළින් කියන්නේ ජීවිතයේ උපත, විවාහය හා මරණය ගැන. මේ ගීතය ඉන්දියානු කිවිඳියක් වන සරෝජිනී නායිදුගේ සංකල්පනාවක්. ඒ සංකල්පනාවේ ප්‍රබලත්වය කොච්චරද කියනවනම් එහි පොදු ලක්ෂණය කෙතරම් උසස්ද කියනවනම් ඒ කවි සංකල්පනය ගීතයකට ප්‍රස්තුතය වෙන්න තරම් ප්‍රබල වුණා. මේ ලෝකයේ හැම භාෂාවකටම පරිවර්තනය වෙන්න තරම් විශ්ව සාධාරණ ධර්මතාවයක් මේ ගීතයේ අන්තර්ගතයි. ඒ නිසා මේ ගීතය මගේ වඩාත්ම සිත්ගත් ගීතය බවට පත්වුණා.

කෙනෙක් ගීතයක අර්ථයට, කටහඬට, තනුවට සංවේදී වෙන්න පුළුවන්. ඒ අතරින් එක් අංගයක් රසවිඳින්නාට ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඔබ ඒ ගීතයේ වඩාත් සංවේදී වෙන්නේ කොතැනටද? 
මේ ගීතය මුලින්ම රසවිඳි පාසල් කාලයේදී මට මේ ගීතයේ සාහිත්‍ය රසය ගැන තේරුණේ නැහැ. මට තේරුණේ තනුවේ හා ගායනයේ තිබුණු මිහිරි බව. මගේ සිත ඇද බැඳගත්තේ, මගේ සිත ග්‍රහණය කර ගත්තේ ඒ ලක්ෂණ. මට හිතෙන්නේ ස්වර මධුරත්වය තමා මුලින්ම රසවිඳින්නා වෙනම ලෝකයකට ගෙනියන්නේ. ඉන්පසුව මම වියපත් වෙද්දී, මේ ගීතය පිළිබඳ සාහිත්‍ය රසයත් මට දැනුණා. මුළු මනුෂ්‍ය ජීවිතයම විනාඩි පහකට කැටි කරගත් මහා යථාර්ථවාදී දර්ශනයක් ඇති මේ ගීතයේ අර්ථයට කටහඬට තනුවට හැමදේටම මම ආසයි. මේ ලෝකයේ සියල්ල කෙළවර වෙන්නෙ අචේතනික සචේතනික හැමදෙයක්ම වෙනස් වීමෙන්. මේ සදාතනික ධර්මතාවයෙන් පිටස්තර කිසි දෙයක් මේ ලෝකයේ නැහැ.

මේ ගීතය වේදිකාවක ගයන්න ලැබුණොත් ඔබ එය ගයන්න කැමතිද?
දරුවන්ට රසවින්දනය පිළිබඳව කතා කරන තැනකදි ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්න මේ ගීතය කොටසින් කොටස ගයන්න ලැබුණොත් මම එය ඉතා කැමැත්තෙන් ගායනා කරනවා. ඒත් කවදාවත් වාණිජ පරමාර්ථ වෙනුවෙන් නම් මේ ගීය ගයන්න මම පෙළෙඹෙන්නෙ නැහැ. මෙවන් ගීත ඒ විදිහට රසිකයාගේ රසවින්දනය උසස් තලයකට ගෙන ඒම සඳහා ගයමින් ආධාර උපකාර කිරීම අපේ යුතුකමක්. මෙවැනි සුභාවිත යථාර්ථවාදී දාර්ශනික ගීත ජනමනස ස්පර්ශ කළ යුතුයි. ඔබ වෛද්‍යවරයෙක් විදිහට කරන්නෙත් මා ඒ අදහස් කරන මෙහෙවරමයි. අපි කලාකරුවන් ලෙස ඔබට ස්තූති කළ යුතුයි ඒ වෙනුවෙන්. ඔබ ගීත විචාර රසවින්දන වැඩසටහන් නොමිලේ කිසිදු ජනප්‍රියත්වයක් හෝ වාණිජ පරමාර්ථයකින් තොරව කරන්නේ එය සමාජ මෙහෙවරත් ලෙස සලකා බව ඔබේ මිත්‍රයෙක් ලෙස මම දකින අගයන දෙයක්.

ඔබේ බිරිඳ ඔබේ ජීවිතයේ සෑම තැනකදිම ඔබ හා ආදරයෙන් ගෞරවයෙන් රැඳුණු කෙනෙක්. මේ ගීතය ගැනත් ඔබ ඇය සමඟ කතා කර තිබෙනවද?
ඔව්. මේ ගීතය අහද්දි මම හැමදාම ඇය එක්ක කියනවා බලන්න මේ ගීතය මොන තරම් අපූරු ගීතයක්ද? මුළු ජීවිතයම මේ ගීතය තුළ කැටිකර තියෙනවාද නේද කියලා.

ප්‍රවීණ කලාකරුවෙක් ලෙස මේ සමාජයට කලාව හා රසවින්දනය ගැන ඔබ දෙන ඔවදන කුමක්ද?
ස්වාමිනී, මේ ලෝකය කුමක් මත පිහිටියේද? ඒ බුදුන් වහන්සේගෙන් ලෝකය වරින් වර විමසූ ප්‍රශ්නයක්. මේ ලෝකය දුක මත පිහිටියේය. ඒ තමා බුදුන් වහන්සේගේ උත්තරය. අපට පේන්න තියෙන දුකක් සහ පේන්න නැති දුකක් තියෙනවා. මිනිස්සු නිරන්තරයෙන්ම අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ලක්වීම අපට පෙනෙන්න තියෙන දෙයක්. එහෙම ජීවිත ගත කරන අයට ආගමට පසුව තියෙන එකම සැනසිලිදායක දේ තමා කලාව කියන්නේ. සමහර අය ආගමකටත් වඩා කලාවට තැන දෙන ස්වභාවයක් මම දැකලා තියෙනවා. කලා රසඥතාවයෙන් නිවීමට පත්වූ අය මට අනන්ත අප්‍රමාණව හමුවී තියෙනවා. කලාව යනු මිනිසාට සැනසිල්ල ලබාදෙන මේ ලෝකයේ ඇතිවූ නිර්මාණාත්මක ක්‍රියාවලියක්. කලාවෙන් මිනිසා සුවපත් කළ හැකි නම් ඒ තමා යහපත් සුභාවිත කලාව. එය හඳුනාගෙන කෙනෙක් ඒ කලාව පරිහරණය කරනවනම් මිනිස්සු අප්‍රමාණව සැනසෙයි. එය මහා මෙහෙවරක්. භාව ප්‍රකෝපනය නොව භාව සන්තර්පණයයි කලාකරුවාගේ අරමුණ විය යුත්තේ. එය හඳුනාගත් නිර්මාණකරුවන් බිහිවෙනවානම් එය තමා කලාවේ උත්තරීතර පරමාර්ථය විය යුත්තේ.