2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

කුල ප්‍රශ්නයක් හින්දා එයා මට නැතිවුණා...

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 393

- ස්වර්ණා කහවිට

හැට සහ හැත්තෑව දශකවල ශ්‍රී ලාංකික සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ස්වර්ණා කහවිට තමයි අද තනිකඩයා විශේෂාංගය වර්ණවත් කරන්නේ.
බිනරමලි, රන් ඔන්චිල්ලා, අභිරහස, සිරිල් මල්ලි, ඔන්න බබෝ බිල්ලෝ එනවා ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ස්වර්ණා කහවිට මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් සරසවිය හොඳම නිළිය සම්මානයටද පාත්‍ර වූවාය.

ජනප්‍රිය කලා පවුලකින් බිහිවුණු ඔබ කොහොමද අද කලාවෙන් ඈත්වෙලා නිශ්ශබ්දව ජීවත් වෙන්නෙ?
ලේසි නැහැ. බොහොම අමාරැවෙන් තමයි මෙහෙම ඉන්නෙ. ඒක මට හොඳටම දැනෙනවා. රංගනයට නම් මෑත කාලය තුළ ආරාධනා කීපයක් ලැබුණා. ඒත් විවිධ හේතු නිසා බාරගන්න බැරිවුණා. අද වුණත් මට ගැලපෙන චරිතයක් ලැබුණොත් කරනවා.

ජීවිතේ කොහොමද ගෙවෙන්නෙ මේ දවස්වල?
මම ඉතින් නිකං ඉන්නෙ නැහැ. මම පොත් කියවනවා. ටී.වී. බලනවා. මගේ සහෝදර සහෝදරියන්ගෙ දරුවො මාව බලන්න එනවා. තනිකමක්, කාන්සියක් නම් ලොකුවට දැනෙන්නෙ නැහැ.

ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ කොයි කාලෙද?
අවිවාහකව ඉන්න ඕනෙ කියලා හිතිලා නැහැ මට. බිනරමලී ප්‍රධාන චරිතය කරන කාලෙ අපි දන්න කියන තරැණයෙක් මාව විවාහ කරගන්න මගේ දෙමාපියන්ට පෙරුත්ත කළා. ඒත් මම අම්මට කිව්වා මම ප්‍රධාන චරිතයක් කරන්න පටන් ගත්තා විතරයි, ඒ නිසා දැන්ම කසාද බඳින්න බැහැ කියලා. සිනමා ක්ෂේත්‍රය තුළ මගේ තිබුණු ප්‍රේම සම්බන්ධයකුත් පසුකාලෙක බිඳිලා ගියා. ඊටපස්සෙ මම වෛද්‍ය ශිෂ්‍යයෙක් එක්ක යාළු වුණා. එයා ගෙදරටත් ඇවිල්ලා මාත් එක්ක කතාබහ කරනකොට අම්මට මොකක් හරි තියෙනවා කියලා තේරැණා. අම්මා නුවර නිසා එයා මේ සම්බන්ධෙට තදින්ම විරුද්ධ වුණා කුල ප්‍රශ්නයක් නිසා. මම එයාට කැමැති වුණා වගේම එයත් එහෙමයි. බැන්දට පස්සෙ තෝරා බේරාගෙන මට රඟපාන්න පුළුවන් කියලා එයා මගේ ආසාවටත් නිදහස දුන්නා. ඔහු හොඳ වැදගත් පවුලක කෙනෙක්. ඒත් අම්මා කිව්වෙ මේ කසාදෙ කරනවා නම් කරන්න වෙන්නෙ එයාගෙ මිණිය උඩින් කියලා.

මට ඉතින් හරිම කේන්තියි වගේම දුකයි. ඒත් කරන්න දේකුත් නැහැනෙ. හැමෝම මට බනින්න ගත්තා ඔයා අම්මව මරාගෙන පිට කොල්ලෙක් බඳින්නද යන්නෙ කියලා. මම එයාට කිව්වා මේකට අම්මලා විරුද්ධ නිසා මේක අපි නවත්තමු කියලා. අවුරුදු කීපයකට පස්සෙ එයා වෛද්‍යවරයෙක් හැටියට පත්වීමක් ලබලා මාව බලන්න ආවා. ඇවිත් ඇහුවා මාසෙකට සැරයක්වත් ගෙදරට ඇවිත් කතා කළාට කමක් නැද්ද කියලා. මම කිව්වා එහෙම වුණොත් අපේ සම්බන්ධය ආයෙ අලුත් වෙයි ඒ නිසා ඈත්වෙලා හිටපු විදිහට හිටියොත් හිත හදාගන්න පුළුවන් වෙයි කියලා. එයා මාව බලාපොරොත්තුවෙන් විවාහ නොවී අවුරැදු 5ක්ම බලන් හිටියා. මම එයාට කිව්වා මේක කෙරෙන දෙයක් නෙවෙයි, ඒ නිසා ඔයා බඳින්න කියලා. එයා ඊටපස්සෙ කසාද බැන්දා. දැන් ඉන්නෙ ඇමෙරිකාවෙ.

ඔය කාලය තුළ අම්මා අයියට කියලා වැදගත් පවුල්වලින් මට විවාහ යෝජනා ගෙනාවා. ඒත් මම කැමැති දේ, මම ආස දේ මට කරන්න නොදුන්න නිසා මමත් ඒ යෝජනාවලට අකමැති වුණා. ඒ කාලෙ සිනමාවෙ ඉන්නකොටත් මට විවාහ යෝජනා ආවා.

අද අවිවාහකව සිටීම ගැන ඔබ පසුතැවෙනවාද?
අම්මලා නිසා විවාහයක් කරගන්න බැරිවුණු එක ගැන නම් ඇත්තටම මම පසුතැවෙනවා. අවසාන කාලෙදි අම්මා, තාත්තා දෙන්නම බලාගන්න වුණේ මට. මම බැඳලා හිටිය නම් ඒ දේ කෙරෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා. අපේ අම්මා අංශභාගය හැදිලා අවුරුදු 7ක් ඔත්පල වෙලා හිටියෙ. ඊටපස්සෙ තමයි නැතිවුණේ. එයා අසනීප වෙනකොට මම හිටියෙ ජපානෙ. මම එහෙ හොඳ රැකියාවකුත් කරගෙන හිටියෙ. මම හැමදේකින්ම ඈත්වෙලා ජපානෙ අවුරුදු පහක් විතර ඉන්නකොට තමයි අම්මට අසනීපයි කියලා මට පණිවිඩේ ආවෙ. මම රැකියා කරපු ආයතනයේ බලවත් අකමැත්ත පිට මම ලංකාවට ආවෙ අම්මව බලාගන්න කවුරැත් හිටියෙ නැති නිසා. මම පවුලෙ බාලම දරැවා. ඒ වෙනකොට මගේ වැඩිමහල් සහෝදර සහෝදරියො සේරම විවාහ වෙලා හිටියෙ. මම අම්මව හොඳින් බලාගත්තා අවුරැදු හතක්ම. අම්මා නැතිවුණාට පස්සෙ මම ආයෙමත් ජපානෙට යන්න ලෑහැස්ති වුණා. එහෙම යන්න හදනකොට තාත්තා මගෙන් ඇහුවා ඇයි එයාව මෙහෙ තනිකරලා යන්නෙ කියලා. මට දුක හිතුණා. ඒ නිසා මම හිත වෙනස් කරගෙන තාත්තවත් බලාගත්තා. කාලය ගෙවුණෙ ඔහොම තමයි.

කවදහරි දවසක ලෙඩක් දුකක් හැදුණොත් ඔබ ළඟ කෙනෙක් නැතිවෙයි කියන බය ඔබට තිබුණෙ නැද්ද?
එහෙම බයක් නම් නැහැ. මට පොඩි අසනීපයක් හැදුණත් මගේ අක්කලගෙ, අය්යගෙ දරුවො දුවගෙන එනවා මාව බලාගන්න. මමත් ඒ වගේම ඒ ගොල්ලන්ට ආදරෙන් සලකනවා. සමහර දවස්වලට ඒ ගොල්ලො මාත් එක්ක ටික කාලයක් නවතින්නත් එනවා.

අවිවාහකව ගෙවන මේ ජීවිතේ ඔබට වාසියක්ද, අවාසියක්ද?
ඒ දෙකම කියලා කිව්වොත් හරි. හැබැයි සැහැල්ලුව හා සැනසීම අතින් ගත්තොත්, ඒ වාසිය තමයි ජීවිතේට ගොඩාක් වටින්නෙ.

කාන්තාවකට අවිවාහකව, තනිකඩව ජීවත් වෙන්න ලොකු ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ. කොහොමද ඔබ මේ ශක්තිය ලබාගත්තෙ?
අම්මා සහ තාත්තා නැතිවුණාට පස්සෙ මට ජීවිතේ ලොකු පීඩනයක් දැනෙන්න පටන් ගත්තා. නින්ද යන්නෙ නැහැ. හරිම අසහනකාරී කාලයක් මම ගතකළේ. දවසක් මම අපේ පන්සලේ හාමුදුරුවන්ට මේ ගැන කිව්වා. උන්වහන්සේ මට හිත හැදෙන බණක් කියලා ජීවිතේ අනිත්‍ය බව පසක් කරලා දුන්නා. කසාද බැන්දත් නැතත් අපි ජීවිතේ කවදහරි දවසක තනිවෙනවා කියලා මට අවබෝධ කරලා දුන්නා. මගේ සිතුවිලි වෙනස් කරගන්න, ජීවිතේට ධෛර්යයෙන් මූණ දෙන්න මට ලොකු ශක්තියක් ලැබුණෙ ඒ යථාර්ථය අවබෝධ වුණාට පස්සෙ. අදටත් බුදුදහම තමයි මගේ ජීවිතේ ලොකුම ශක්තිය වෙලා තියෙන්නෙ. බැඳීම් කියන්නෙ දුකක් කියලා මම තේරුම් ගත්තා. මගේ මනස දැන් හරි සැහැල්ලුයි. මට වගකීම් නැහැ. හෙට මැරුණත් මට දුකක් නැහැ.

ඔබේ ජීවිතේට ඔබ එකතු කරගත්ත වටිනාම දේ මොනවද?
මගේ ජීවිතේ මට බොහෝ දේවල් ලැබිලා තියෙනවා වගේම සමහර දේවල් නොලැබී ගිහින් තිබෙනවා. ඒත් මම නම් හිතන්නෙ මගේ ජීවිතේ මා ලබපු වටිනාම දේ තමයි මගේ දෙමාපියන්ට සලකන්න ලැබුණු එක. ඒක හැම දරුවෙකුටම ලැබෙන්නෙ නැති අවස්ථාවක්. අද සමාජයේ සමහර දරැවො, අම්මලා තාත්තලා වයසට ගියාම ඒ ගොල්ලන්ව පාරට ඇදලා දානව අපි දැකලා, අහලා තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් මම කරපු කැපකිරීම මම ජීවිතේ කරගත්ත විශාලම පින කියලයි හැමෝම කියන්නෙ.