2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ජීවිතය දැනෙන තැන නවතින්න

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සුදු පාට තීන්තෙන් ලෝකය හා මනුස්ස හැඟීම් ගැන ගාථා, ශ්ලෝක ලියමින් ස්වරයෙන් මධුර මනෝහරයැයි සිතන දෙසුම් වපුරන කුහක සුචරිතවාදීන්ගේ අන්ධ කුහකත්වය කලාව තුළින් හෝ සුන්නද්දූලි කර දැමිය හැකිනම්.. නිර්මාණවේදීන්ට, කලා විචාරකයන්ට නිදහසේ පියාපත් විහිදගෙන විශ්වය නිල් අහසක් කියලා හිතලා ඉගිල්ලෙන්න කියලා කියන ගමන් ඒ ප්‍රාර්ථනාව පූජාසනයක තබන්නත් මම හරි ආසයි.. බොහෝ විට මානව සංස්කෘතින් කියන්නේ මානව විකෘතියේ කැඩපතක්! මානව ප්‍රකෘතියට අසාධාරණ හා නින්දිත ලෙස ඇණ ගැසූ මරණයේ කඩඉමක්! මිනිස්සු කෑගහලා ඉල්ලන නිදහස, ආදරය හා ජීවිතය බලහත්කාර සම්මතය සම්ප්‍රදාය යන නිර්ණායක තුළ සිර කර මරා දමන්නට තතනන, ඒ මනෝභව භෂ්මාවශේෂයක්වත් ඉතුරු නොකර මිහිදන් කරන්නට ම්ලේච්ඡ ලෙස උත්සාහ කරන කුහකයන්ගේ පාරාදීසයක්! එහෙම දැනෙන තැන් බොහෝමයි...

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න...

සම්මතය කියන නිර්ණායකය ලෝකය නිර්මාණය කළේ මනුෂ්‍ය හදවත් ජීවත්වීම තුළම මරා දමන්න කියලා මට හිතෙන්නේ.. උල්පතකින් වතුර වෑහෙද්දි ඒ වැක්කෙරෙන වතුරට තහංචි සීමා දාලා ඒ දිය දහරාව නවත්වන්නෙ ඇයි.. මනුෂ්‍ය සන්තානයේ ඉපදෙන සිතුවිලිත් ඒ වගේ. තමන්ගේ හෘද සාක්ෂියට අවනත නම් තව කෙනෙක්ගේ සිතුවිලිවල සාධාරණ අසාධාරණ බව, වලංගු බව, සුදු, කළු, අළු වර්ණය ඔබ කොහොමද තීරණය කරන්නේ... තව කෙනෙක්ගේ හෘද සාක්ෂිය කියන අධිකරණය ඉදිරියේ ඔබ කොහොමද විනිසුරුවරයෙක් වෙන්නේ.. ඔබ කොහොමද තව කෙනෙක්ගේ හැඟීම්, තව කෙනෙක්ගේ නිදහස, තව කෙනෙක්ගේ අයිතිය, තීරණය කරන තීරකයෙක් වෙන්නේ... 
ඒ කුහක සුචරිතවාදය භෂ්මාවශේෂයක්වත් ඉතුරැ නොකර මිහිදන් කරනකම් මට හිතෙන්නේ මනුෂ්‍යා කියන්නේ පරාජිත අපරාජිතයෙක්..
මේ හිතුවිලි ළඟට මාව එක්ක ගියේ බොම්බේ කියන දමිළ චිත්‍රපටයයි.
Arvind Swamy සහ Manisha Koirala අතිශය සංවේදී ලෙස චරිතයන්ට ආත්මගත වන බොම්බේ සිනමා රෑපකාරකය තුළ විමසුමට ලක් කරන්නේ වැඩවසම්වාදී ජරාජීර්ණ සමාජ ආකල්ප විසින් ඉතා රළු ලෙස මරා දමන්නට උත්සාහ කරන මානව ප්‍රේමය පිළිබඳව කතාන්දරයක්. 

අරවින්ද් සහ මනීෂා කියන්නේ ඒ සමාජයීය රළු ආකල්ප තුළ දැවෙන දහසක් මානුෂීය සිත් සතන්හි අනේක අඳෝනාවන් පිළිබඳ සංකේතයක් වගේ.
ඒ ආදරයට එරෙහිව බර අවි එසවෙද්දිත් ඔවුන් ඒ ආධ්‍යාත්මික ගැටය ලිහා දමන්න සූදානම් වෙන්නෙ නැහැ. බඳින තැන නෙවෙයි බැඳීම ඇතිවෙන සැබෑ තැන. දැනෙන තැනයි බැඳීමක් හටගන්න ලියලන නොමැරෙන කේන්ද්‍රස්ථානය. ඔවුන් බැඳෙන්නේ බලහත්කාරයෙන් නොබඳින එහෙම කේන්ද්‍රස්ථානයක. ඒ ආදරයේ නැවතිල්ල හරි ප්‍රබලයි. ඒ නිසා ඒ සියලු සම්මත සිරකාර සම්ප්‍රදායන් මැද වුවත් ඔවුන් ඔවුන්ගේම ජීවිතයක් පටන් ගන්නවා.. එහෙත් අනුන්ගේ ජීවිතවල අයිතියත්, නිදහසත් ඉගිල්ලෙනු පිණිස රිසි අහසක උන් ලද නිදහසේ පියාපත් යුගලයත් කපා දමමින් වදකාර සංස්කෘතික නිර්ණායක ප්‍රවාහයන් තුළ සිරගත කරන්නට වෙව්ලන උන්මාදයෙන් දඟලන සමාජය ඔවුන්ට එරෙහිව පෙළගැසෙන හැටි සහ ඒ සියල්ල මැද අංශුමාත්‍රයක්වත් ආදරය අත්නොහැර ඔවුන් ජීවිතයේ ඒ දුෂ්කර ගමන යන හැටි බොම්බේ සිනමා රෑපකාරකය තුළින් ගෙනහැර දක්වනවා.

ආදරය කියන්නේ ආදරය විදිහට තේරැම්ගත්තු හුස්මක් වැටෙන ලෙයින් උණුසුම් වෙච්ච හදවත් ඇති මිනිස්සුන්ට විතරක් තේරැම් ගත හැකි හැඟීමක් ලෙස නිර්වචනය කරන්න මම ආසයි. ආදරයේ ස්වභාවය නිර්වචනය කළ නොහැකි වුවත් ආදරය දැනෙන්නේ, ආදරයට ගෞරවය වටිනාකම සහ ආදරය නැවත නැවතත් ඔව්.. නැවත නැවතත් පිරිනමන්නේ කොයි විදිහේ හදවත්ද කියන එක ඒ විදිහට නිර්වචනය කරන්න මම කැමතියි.
සිත කියන්නේ හරි පුදුම තැනක්. මොහොතින් මොහොතට සිතුවිලි උත්පාදනය කරන හැම මොහොතකම මැරෙන ඉපදෙන තැනක්...

ඒ හිතේ උපදින හිතුවිලි වරෙක හරි ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය කෙතරම් ප්‍රකම්පනයකට මනුෂ්‍ය සන්තානය ගෙන යනවාද යත් එහි උපදින හැඟීම් කරණ කොටගෙන ඇතිවන බන්ධන අපි සංසාරයේ කෙළවර තෙක්ම අරන් යනවා. අනන්ත ගමනක් අපි එක්ක අපි අත්නොහැර එන්න තරම් හදවතේ ලේ නහර පවා සියුම් ලෙස ඉඹින බැඳීම් සංසාර සෙවණැලි ලෙස අප ඉදිරියේ පෙනී ඉන්නවා... මම හිතන්නේ එහෙම.. බොම්බේ කතා කරන්නෙත් එහෙම සසර සෙවණැලි ගැන.. ජඩ සංස්කෘතික සමාජයීය සම්මතයන්ට නිර්ණායකයන්ට පවා මරා දැමිය නොහැකි සසර සෙවණැලි සෙයින් හැඟෙන දැනෙන ආදර බැඳීම් ගැන..