2021 ජනවාරි 23 වන සෙනසුරාදා

මගේ හදවතට දැනෙන්නේ මිහිරි සාංකාවක්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මං ඔබ ළඟ නතර වුණේ...

සහෘද සිතින් මෙසේ කියනු සිත් වෙයි. ආදරණීය බන්දුල අයියේ.. නෙක ගී අතර සැරිසරද්දී නිරායාසයෙන්ම ඔබේ ගී පබැඳුම් අස මා නතර වෙයි. ඒ ගී එතරම්ම මනරම්ය. ස්ව අනන්‍යතාවක් ලාංකික ගීත සාහිත්‍ය තුළ සිය අනන්‍යතාව ළකුණු කළ ඒ ගී පද රචකයා බන්දුල නානායක්කාරවසම්ය. ගීතයේ නව මං සොයා ගිය ඒ ගී පද රචකයා අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරයි.

අප වෛද්‍යවරුන් ලෙස මිනිසුන් කායිකව සුවපත් කරද්දී ඔබ ඔබේ ගී සමුදාය ඔස්සේ කොයි තරම් නම් මිනිස් හිත් සුවපත් කළාද කියන එක ගැන ඔබ හිතලා තියෙනවද?
නැහැ.. ඇත්තටම ඔබ මේ මොහොතේ එහෙම දෙයක් කියනකම් මට කවදාවත් එහෙම හිතුවිල්ලක් හිතිලා තිබුණෙ නෑ.

එතරම් රසවත් ගී ගොන්නක් ලියූ ඔබ ඔබේම කරගත් ඒත් ඔබේ නොවන ගීතයක් ඔබට තියෙනවද?
මේ ලෝකයේ හොඳම රසිකයා වෙන්න පුළුවන්නම් මම කැමති මේ ලෝකයේ හොඳම ගීත රචකයා වෙන්න නෙවෙයි හොඳම රසිකයා වෙන්න. රසිකත්වය කියන්නේ කවදාවත් කාටවත් හොරකම් කරන්න බැරි දෙයක්. රසිකත්වය කියන්නේ අවුරුදු පහේ හයේ ළමයෙක්ගේ කාලයේ පටන් මට උරුම වූ දෙයක්.
මම කැමතිම එක ගීතයක් තෝරනවා කියන්නෙම ඇත්තටම මම මහා වංචනිකයෙක් වීම. ඔබේ ඉහවහා ගිය රසිකත්වය සහ නිර්මාණශීලීත්වය ළඟ මට අද මගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා මම කැමතිම එක ගීතයක් තෝරන්න වෙනවා. මහගම සේකර විසින් රචිත පණ්ඩිත් අමරදේව විසින් තනු සහ සංගීත නිර්මාණය කළ අමරදේවගේම දිව්‍යමය කටහඬින් ගැයූ වසන්තයේ මල් පොකුරු නෙලා තමයි මම තෝරන ගීතය.

දහස් ගණනක් ඔබ කැමති ගී අතර ඇයි ඒ ගීතයට එච්චර විශේෂ කැමැත්තක්?
අතිශය සියුම් ලෙස සිය දහස් වරක් මා ප්‍රකම්පනයට පත් කළ ගීයක් එය. එච්.එම්. ගුණසේකරගේ කටහඬින් %මධුවන්ති^ වැඩසටහනේදි මේ ගීතය ගැන අහද්දි මම එදා පුංචි ළමයෙක්. එදා එච්.එම්. කතා කළේ පමාවෙලා ලැබුණු මිහිරක් ගැන. අද අපි අහන වසන්තයේ මල් පොකුරු නෙලා නෙවෙයි මුලින්ම මම ඇහුවේ. තැටියේ චර චර සද්දෙත් එක්ක එදා මම ඇහුවේ වසන්තයේ මල් පොකුරක් සේ.. හිනැහි හිනැහි ඔබ සිටියා කියලා ඒ පළමු ගීය පටන් ගත්තේ. සංගීතය නැතුව තමා ඒ ටික මුලින් කීවේ. පසුව අන්තර් සංගීත ඛණ්ඩයක් වාදනය වීමෙන් පසුව තමා වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා කියලා කීවේ. ඒ පළමු ගීතයේ පුදුම ලස්සනක් තිබුණේ. මම ආදරය කරන්නේ අන්න ඒ පරණ සින්දුවට.

මේ ගීතය අහද්දි ඔබේ හදවතට දැනෙන්නේ කොහොම හැඟීමක්ද?
මේ ගීතය ඇහෙද්දි මට දැනෙන්නේ සතුටක්ද? දුකක්ද? උදාසීන හැඟීමක්ද? උපේක්ෂා සහගත භාවයක්ද? කියන්න මට තේරෙන්නෙ නැහැ. එහෙත් දුකක් කියන්න හිත නොනැමෙන තරමට ගීතයෙන් කියන දේ සුන්දරයි. හැබැයි ඒ ගීය ඇතුළේ සැඟවිච්ච පුදුමාකාර ශෝකයක් තියෙනවා. 

සේකරගේ ඇති අති දක්ෂ සියුම් නිර්මාණශීලීත්වය තුළ හරිම සංවේදී විදිහට ඒ විරාගී බව ඉස්මතු කර තියෙනවා. මේ ගීතය තුළින් මට දැනෙන්නේ මිහිරි සාංකාවක්. අතීතය සිහිපත් වී ඇතිවන දොම්නස් සහගත බව තැවරිච්ච රසයක් තමා මම මේ ගීතය තුළ විඳින්නේ. ගීතයක් දැනෙන්නේ පද රචනය, සංගීත සංයෝජනය, කටහඬ මේ ත්‍රිත්වයම පූර්ණ ලෙස පරිපූර්ණ වුණාම.

වර්තමාන ගීතය තුළ ඔබ මේ කියන පරිපූර්ණත්වය දකින්න අවකාශයක් තියෙනවද?
අද සමහර ගීත තියෙනවා යටිගිරියෙන් කෑ මොරදීලා තමා කියන්නෙ. එතන කෑමොර දීමක් මිස කෝ ගායනයක්. එහෙම සමහර ගීත අහද්දි මනසට හරි කම්පාවක් දැනෙනවා. ගීතයකින් කරන්න ඕනෑ හදවත සුවපත් කරන එක මිස ගිනි තියා අවුළුවන එක නෙවෙයි. කාලකණ්නි මූසල හැඟීම් උපද්දවන එක නෙවෙයි. මේවා ගැඹුරින් කතා කරන්න ගියොත් ගුටිබැට ඇනගන්න තමයි වෙන්නේ. මෙන්න මේ වගේ ඛේදජනක පසුබිමක තමා වසන්තයේ මල් පොකුරු නෙලා ගීතය මම මේ තරම් අගය කරන්නේ.

ගීතයක් අහද්දී ඒ ගීතයේ ඇතැම් තැනකදි අපි ප්‍රකම්පනයට පත්වෙන්න පුළුවන්. ආත්මීයව ඒ තැන නතර වෙන්න පුළුවන්. මේ ගීතයේත් ඔබ එහෙම නතරවෙන තැනක් තියෙනවද?
අවසානේ ඔබ ආවා.. කියද්දී මම හරිම ආසයි. සේකරගේ රුඩිකල් ලියවිල්ල ඇත්තටම මම පුදුම කරන තරම්.

ඔබගේ ජීවිතයේ ඔබ ආදරය කරන කෙනෙක් එක්ක ඔබ මේ ගීතය ගැන කතා කර තියෙනවද?
ඊයේ පෙරේදා දවසක මම මගේ හිතවතෙක් එක්ක මේ ගීතය ගැන කතා කරද්දි එයා මට කියනවා මාත් අමරදේවගේ කැමතිම ගීතය මේ ගීතය කියලා. මේ ගීතයට තවත් කවුරුත් ආසා වෙනවට ආසා නැති තරමට මම මේ ගීතයට කැමතියි. මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය නවකතාවේ අරවින්දගේ චරිතය තුළින් මට ප්‍රදානය කළ රසය මට තවත් යම් තැනකදි මුණගැසුණානම් ඒ මේ ගීතය තුළ විතරයි.

නිර්මාණය තුළින් නිර්මාණකරුවා දැකීමට යමෙක් ප්‍රයත්න දරයි නම් එය යථාර්ථවාදී වෑයමක්ද කියලා මම ඇහුවොත්?
ඒ ප්‍රශ්නය සහ ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය මතභේදයට තුඩු දෙන්න පුළුවන් කාරණයක්. අපි ඇතැම් කලාකරුවන්ට දෙවිවරු වගේ සලකලා ඔවුන්ගේ සැබෑ චරිත වහගෙන ඉන්නවා. ඒත් ඔය දෙවිවරු වගේ ඉන්න සමහර කලාකරුවන් ආශ්‍රය කරන්න ගත්තම බුදු අම්මෝ හුරේ රන් කියලා හිතෙනවා. නිර්මාණය තුළ දැකිය හැකි සෞම්‍ය සුන්දර සංවේදීකම් හුඟක් නිර්මාණකරුවන් සහ කලාකරුවන් තුළ ගෑවිලාවත් නෑ.
සමහර නිර්මාණවල ඒ ලේඛකයා මූර්තිමත් වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලියූ ගම්පෙරළියේ තිස්ස, විරාගයේ අරවින්ද චරිත ඇතුළේ හුස්ම ගන්නේ මාර්ටින් වික්‍රමසිංහ. නවකතාවක, චිත්‍රපටයක, නාට්‍යයක නිර්මාණකරුවාගේ චරිත ලක්ෂණ යම් ප්‍රමාණයක් මුහු වී තියෙන්න පුළුවන්. විශ්ව සාහිත්‍ය පරිශීලනයේදිත් එවැනි තැන් බොහොමයක් හමුවෙනවා.

ඔබ වැනි ප්‍රවීණ ගීත රචකයන් බොහෝ දෙනෙක් නිර්මාණ උසස් ගණයේ සහ අවර ගණයේ ලෙස වර්ග කරනවා. ඔබත් ඒ වර්ගීකරණය පිළිගන්නවාද?
නෑ. මම එහෙම බෙදන්නෙ නෑ. අපේ ගුරුතුමා අපට බයිලා අහන එක තහනම් කළා. මිල්ටන් පෙරේරා, ජෝතිපාල, එම්.එස්. පෙරේරාගේ ගීත අහන්න තහනම් කළා. නමුත් සර් කියන එක අහන්නෙ නැතුව මම ඒ ගීත ඇහුවා.
මම මේක හොඳයි නරකයි කියලා බෙදන්නෙ නෑ. හැබැයි ලෝකයේ සම්භාව්‍ය නිර්මාණ සහ සාමාන්‍ය නිර්මාණ කියලා ජාතියක් තියෙනවා.

නූතන පරම්පරාවේ රසවින්දනය ගැන ඔබට කියන්න තියෙන්නෙ කුමක්ද?
තෝරාගත්ත රසවින්දන වැඩසටහන්වලට මම යනවා. එහෙම ගියාම හරි දුකක් හිතෙනවා. හුඟාක් දරුවන්ට නිර්මාණ ගැන දැනුමක් නෑ. 
මට කේන්ති යන්නෙ නෑ. රහක් නැති නිර්මාණ දැක්කම මට ඇතිවෙන්නෙ සංවේගයක්. ඒ සංවේගය අතරේ හොඳ නිර්මාණයක් දැක්කම අපි මලට ඇදෙන බඹරෙක් වගේ ඇදෙනවා. රුචිර පරණගම ලියූ බොරලු ඇනෙන පය රිදවන ගීතයට මම පුදුම විදිහට ආසා වුණා. මේ යුගයේ නිර්මාණ බිහි නොවනවා කියන්න බෑ. ප්‍රශස්ත නිර්මාණ බිහිවෙනවා. හැබැයි කලාතුරකින්. ඒ වගේම ඒවාට නිසි ඇගයීමක් ප්‍රචාරණයක් ලැබෙන්නෙ නෑ. තේමාව වශයෙන් රළු, ගායනය වශයෙන් රළු, සංගීතය වශයෙන් රළු හිස් දේවල් තමා මාධ්‍ය මගින් බොහෝ විට ජනප්‍රිය කරන්නේ. ශාස්ත්‍රීය වටිනාකම් බවට පත් විය යුතු හුඟාක් දේවල් අද සිල්ලරට විකිණෙනවා.