2021 ජනවාරි 23 වන සෙනසුරාදා

වයස පනස් ගාණන්වලදී අවුරුදු විසිගාණක කෙල්ලෙක්ට ආදරේ කළා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

අද හදසර තනිකඩයා විශේෂාංගයට අප සම්බන්ධ කරගන්නේ ප්‍රවීණ කලාකරුවෙකු වන සැනට් දික්කුඹුර

• කොරෝනාත් එක්ක කොහොමද මේ දවස්වල ගෙවන ජීවිතේ?
එළියට යන්න බැරි නිසා, අවදානම වැඩි නිසා වැඩ නම් මොකුත්ම නැති තරම්. මම අන්තිමට රඟපෑවේ අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ. පසුගිය කාලේ කරපු සමහර වැඩවලට තාම සල්ලි ලැබුණෙත් නැහැ. මේ දවස්වල මගේ අසල්වැසි හිතවතුන් තමයි මගේ කෑම බීම ගැනත් හොයලා බලන්නෙ. අපේ ගෙදරත් දැන් ගරා වැටිලා තියෙන නිසා ඒකත් අලුත්වැඩියා කරගන්න උත්සාහයක් ගන්නවා. දිසාපතිතුමා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සඳහා උදව් කරනවා. ඉතුරැ මුදල් ලැබෙනකම් මේ දවස්වල වැඩ නැවතිලා තියෙන්නෙ. මගේ සහෝදර සහෝදරියො හය දෙනෙකුට මේ ගේ අයිතිය තියෙනවා. මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ ඔහොම තමයි.

• අවිවාහකව, තනිකඩව ජීවත් වෙන නිසාද මේ කරදර, බාධකවලට මූණ දෙන්න වෙලා තියෙන්නෙ. තනිකඩ ජීවිතය ගැන පසුතැවීමක් තියෙනවද?
එහෙම පසුතැවීමක් නැහැ. ඇත්තටම තනිකඩ ජීවිතය මට සන්තෝෂයක්. සමහර අයට තමන්ගෙ පවුල ඇතුළෙන්ම සිද්ධ වෙන දුෂ්ඨ වැඩ දැක්කම හිතෙනවා පිට ගෑනියෙක් මොනවා නොකරයිද කියලා. සමහර පවුල්වල ළමයි, සහෝදර සහෝදරියො කොච්චර එකිනෙකාට හතුරැකම් කරනවද? පත්තරවලත් ඔය වගේ දේවල් කියවද්දි හිතෙනවා තනිකඩ ජීවිතේ කොච්චර හොඳද කියලා.

• ඔබට දැන් අවුරුදු 71ක් වෙනවා. ඔබ තනිකඩව ඉන්න තීරණය කළේ කොයි කාලෙද?
අපේ තාත්තා මහා පරිමාණයෙන් වැඩකරපු වෙසක් සැරසිලි ව්‍යාපාරිකයෙක්. ඔහු 1973දී හදිසි අනතුරකින් නැතිවුණා. අපේ දේපල ගැන ආරවුල් තියෙනවා. එහෙම නොවුණා නම් මම කසාද බැඳලා ඇති. ඒත් ගෑනියෙක් ගෙනැල්ලා එයාවත් මේ ප්‍රශ්නෙට ඇදලා දාන්න මම කැමැති වුණේ නැහැ. පවුල් ඇතුළෙ රණ්ඩු වෙවී ජීවත්වෙන්න ඕනෙම ගෑනියෙක් කැමති වෙන්නෙ නැහැනෙ. මේවා නිරවුල් වෙනකම් මම කසාද බඳින්නෙ නැහැ කියලා තීරණය කළා. කවුරුත් විවාහ වෙන්නෙ සතුටින් ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයිනෙ. කලාකරැවන් හැටියට අපේ පවුල් ජීවිතේ ඇතුළෙ අපට මානසික නිදහස තියෙන්න ඕනෙ. තාත්තා හදිසියේ නැතිවුණාට පස්සෙ තමයි අපට මේ තත්ත්වය උදාවුණේ.

• මේ ගැටලු නිරවුල් කරගත්තොත් ඔබට විවාහ වෙන බලාපොරොත්තුවක් තියෙනවද? වයස විවාහයකට බලපාන්නෙ නැහැනෙ?
මේ ගැටලු නිරවුල් වුණුදාට විවාහ වෙනවා තියා මම ජීවත්වෙලා ඉඳීද දන්නෙ නැහැ.

• ඔබට, ප්‍රේම සම්බන්ධතා තිබුණෙ නැද්ද?
අපෝ ගොඩාක් තිබුණා ඒ කාලෙ. ඉස්කෝලෙ යන කාලෙ තමයි මගේ මුල්ම ප්‍රේම සම්බන්ධය පටන්ගත්තෙ. එයත් අද කලාවට සම්බන්ධ කටයුතු කරගෙන යනවා. එයා අන්තිමේදී බැන්දෙ මගේ යාලුවෙක්. මට අවුරුදු පනස් ගණන්වලදී මගේ සම්බන්ධයක් තිබුණා අවුරැදු විසි ගානක කෙල්ලෙක් එක්ක. ආදරයට වයසක් බලපාන්නෙ නැහැ කියලා විශ්වාස කරන කෙනෙක් මම. ආදරය සෙල්ලමක් නෙවෙයි. ආදරේදී ආත්මාර්ථකාමී වෙන්නත් බැහැ. ඒත් ඉතින් දෛවය අනුව තමයි ජීවිතේ හැමදේම තීරණය වෙන්නෙ. සමහර ගොඩාක් වයසට ගිය අය ආදරයෙන් බැඳිලා ඉන්නවා දැක්කම ඇත්තටම කොච්චර ආස හිතෙනවද?

• වයසට ගිය කාලෙක අවිවාහකව ඉන්න කෙනෙකුට අනාගතය ගැන බයක් දැනෙන්නෙ නැද්ද?
බයක් ඇතිවෙන්නෙ නැහැ. ඒ සේරම සිද්ධ වෙන්නෙ අපි කරන පින් පව් අනුව තමයි. මම බෞද්ධයෙක් හැටියට විශ්වාස කරනවා අපි කරන දේවල් තමයි අපේ පස්සෙන් එන්නේ කියලා. මම සතුන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. කතා කරන්න බැරි සතුන්ට ආදරේ කරන එක ලොකු පිනක්. ඒ සතුන්ට පුදුම ඉවක් තියෙනවා උන්ට ආදරේ කරන අය හඳුනාගන්න. ඒත් ගොඩාක් මිනිස්සුන්ට එහෙම දැනෙන්නෙ නැහැ. මිනිස්සුන්ට පේන්න ජීවත්වෙලා වැඩක් නැහැ.

• කවද හරි ඔබේ ප්‍රශ්න නිරවුල් වුණොත් ඔබ විවාහයට හොයන්නෙ මොන වගේ කාන්තාවක්ද?
මම බඳිනවා නම් බඳින්නෙ හොඳ කටකාර ගැහැනියක්. බලහත්කාරයෙන් අසාධාරණ වැඩ කරනවට විරුද්ධව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඉස්සරහට එහෙම කෙනෙක් හම්බවෙයිද කියන්න බැහැ. හොඳ විවාහයකට සල්ලිත් අත්‍යවශ්‍ය සාධකයක් තමයි. මගේ අක්කාට දැන් වයස අවුරැදු 73යි. එයත් තාම අවිවාහකයි.

• ඒත් ඔබ විවාහය ගැන අදහස අතඇරලා නැහැ?
තාම නැහැ.