2021 ජනවාරි 23 වන සෙනසුරාදා

දැන්නම් එයා මගේ යාළුවෙක් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

තරින්දි මේ දවස්වල් මොනවද කරන්නේ?
මේ දවස්වල මම රඟපාන ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. ඒ හොඳ වැඩේ ටෙලිනාට්‍යයත් Interනැසනල් ටෙලිනාට්‍යත් යන නාට්‍ය දෙක. . ඊට අමතරව ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරන ගේම් ටෙලිනාට්‍යයේත් අමායාගේ චරිතයට දායක වෙනවා. ඒකටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද?
මගේ ජීවිතේ පටන් ගත්තේ පවුලේ බාල දරුවා විදිහටයි. මට එක අක්කා කෙනෙක් ඉන්නවා. එයා මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. අපේ පවුලේ හතර දෙනයි. අක්කයි, මමයි, අම්මයි, තාත්තයි. මම ඉපදුනේ මීගමුවේ. බොහොම දුක් මහන්සියෙන් තමයි මගේ අම්මයි තාත්තයි මාවයි අක්කවයි හැදුවේ. ඒ දෙන්න තමන්ගේ දෑතේ මහන්සියෙන් රස්සාවල් කරපු දෙන්නෙක්. අපි ඒ දෙන්නා විඳපු දුක් හොඳට දැක්කා. හැබැයි ඒ අහිංසක අම්මගෙයි තාත්තාගෙයි හිත්වල අක්කටයි මටයි මහ මෙරක් තරම් ආදරයක් තිබුණා.

ජීවිතේ කවුරු වෙන්නද හීන දැක්කේ?
පුංචිකාලේ මම ආසා කළේ නැටුම් ගුරුවරියක් වෙන්නයි. මම පුංචි කාලේ ඉඳන්ම නටන්න හරි ආසයි. හැම නර්තන ශෛලයකින්ම ටික ටික මට පුළුවන්. මම ඉස්කෝල තුනක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පල්ලන්සේන ප්‍රාථමික විදුහලේදීත්, හය වසර සිට අට වසර දක්වා දළුකොටුව ශාන්ත ආනා විදුහලේත් අවසන් වසරවලදී දංකොටුව බාලිකා විද්‍යාලයේත් ඉගෙන ගත්තා. ඒ හැම පාසලකදීම මම නර්තනයට වගේම ක්‍රීඩාවටත් හැමදේකටම ඉදිරිපත් වුණා. පාසලේදී ඒ කාලේ තරින්දි කියද්දී නර්තනයත් ගොඩාක් සමීපයි. ඒ නිසා නැටුම් ගුරුවරියක් වෙන්න ආසා කළා.

ඒ ජීවිතේ හැරවුම වුණේ කොතැනින්ද?
මම අන්තිමට සේවය කළේ පෞද්ගලික බැංකු ආයතනයකයි. එතැනින් ඉවත්වීමම මගේ ජීවිතේ හැරවුම වුණා. බැංකුවෙන් අයින්වෙලා මම ගයාන් ශ්‍රී මාල්ගේ නර්තන පාසලේ ඉගෙන ගත්තා. ගයාන් අයියාගේ ක්ලාස් එකේදී මාව චරිත් අබේසිංහ අයිය දැකලා මාව එයාගේ ෆිල්ම් එකකට තෝරාගත්තා. එතැනින් තමයි මගේ කලා ජීවිතය පටන් ගත්තේ.

නිළියක් කියලා ඇත්තටම දැනුණේ කවදාද?
මම මේ ‌ේත්‍රයට එකට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. පහුගිය අවුරුදු තුනේම මට යම් රසික ප්‍රතිචාරයක් ලැබුණා. මඟතොටේදී මාව දැකලා හඳුනාගෙන කතා කරපු අය හිටියා. හැබැයි මේ අවුරුද්දේදී තමයි මම නිළියක් කියලා මට හරියටම දැනුණේ.

ජීවිතේ කළ ලොකුම දඩබ්බර වැඩක් මතක් කරමුද?
මගේ අක්කා මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. මම ගෙදර බාලයා. ඉතින් මම පවුලේ දඟයා. ඉස්කෝලේ යන කාලේදීත් ඉස්කෝලේදී මම හරි දඟයි. හැබැයි මම කොච්චර දඟ වැඩ කළත් කවදාවත් ටීචර්ලා අකමැති, දඩබ්බර වැඩනම් කරලා නැහැ. මම බාහිර ක්‍රියාකාරකම්, දඟ වැඩ කළත් පාසැලේදී හොඳට අධ්‍යාපන වැඩ ටිකක් කරගත්තා. කොච්චර දඟ වැඩකළත් මම ටීචර්ලාගේ හිත රිදවලා නම් නැහැ. හැබැයි මට ඉස්කෝලේදී දාංගලේ තිබුණා. පාසැලේදී මට යාළුවෝ කිව්වේ &තරී* කියලයි. අදටත් ඒ අය කතා කරන්නේ ඒ නමින්මයි.

තමන්ගේ මහන්සියෙන් හම්බකරපු ජීවිතේ මුල්ම මුදල මතකද?
මම උසස් පෙළ අවසන් කරලා ශ්‍රී ලංකා බැංකු ආයතනයේ පාඨමාලාවක් හදාරණ ගමන් තව පෞද්ගලික මූල්‍ය ආයතනයක වැඩ කළා. ඒකෙන් ලැබුණ මුල්ම වැටුප තමයි මගේ මහන්සියෙන් අතට ගත්තු මුල්ම පඩිය වුණේ. මගේ මතකේ හැටියට ඒ මුල්ම වැටුපෙන් මට රුපියල් දහදාහක් ලැබුණා. මම ඒ සල්ලි ගෙනත් මගේ අම්මාට දුන්නා.

ජීවිතේට ලැබුණු ලොකුම අභියෝගය මොකක්ද?
මගේ අම්මා 2016 අවුරුද්දේ මියගියා. නොහිතපු විදිහට අම්මා මාවයි, තාත්තාවයි, අක්කවයි හැරදාලා ජීවිතෙන් සමුගත්තා. අදටත් අම්මා නැතිව අපිට හරි පාළුයි. අම්මා නැහැ කියලා හිතෙන එක, එයා නැතිව අපි ජීවත්වෙන එක, ඒක තාමත් මට ලොකු අභියෝගයක්. අම්මා නැහැ කියලා හිත හදාගෙන ජීවත්වෙන එක මගේ ජීවිතේ අදටත් ලොකු අභියෝගයක්.

ජීවිතේදී අතහැරුණු මඟහැරුණු දේ මොකක්ද?
ඒ මගේ අම්මා. එයා නැති ජීවිතේ හරි තනිකමක්, හිස්කමක් දැනෙනවා.

ජීවිතේ ලැබුණ වටිනාම දේ මොකක්ද?
මගේ ජීවිතේ ලැබුණ වටිනාම දේ මගේ අම්මාගෙයි තාත්තාගෙයි අක්කගෙයි ආදරය. මගේ අම්මගේ ආදරය අදටත් මට දැනෙනවා. අම්මාට පිළිකාවක් තිබුණා... ඒ සඳහා සැත්කමක් කළා. ඒකෙන් ටිකක් අම්මට අමාරු වුණා. ටික කාලයකින් අම්මා නැතිවුණා. ඉතින් අම්මා මට ජීවිත කාලයටම දීපු ආදරය මට හරි වටිනවා. ඒක අදටත් මට දැනෙනවා. ඒ දුක් මහන්සියෙන් දෑතේ මහන්සියෙන් මාවයි අක්කවයි ආදරයෙන් බලාගත්තු අතීතය මම කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ජීවිතේ වැඩියෙන්ම බයවුණේ කවදාද?
මගේ අම්මව ඉස්පිරිතාලයට ගෙනිච්ච දවසේ මම ගොඩාක් බය වුණා. ඒ ගැන කියන්න අදටත් මට තේරෙන්නේ නැහැ.

මෑත කාලයේදී වැඩියෙන්ම බයවුණේ කවදාද?
අම්මෝ... එහෙම බයක් මෑතකාලයේදී දැණුනා. ඒ මගේ වාහනය ඇක්සිඩන්ට් වුණු දවසේ. මගේ ජීවිතේ මගේ මහන්සියෙන් හම්බ කරලා ඉතිරි කරගෙන ගත්තු මුල්ම වාහනය. පැදපු මුල්ම දවසෙ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකත් සුඛෝපභෝගී වාහනයක් නෙමේ. අට දෙනෙක් විතර පාවිච්චි කරපු, අනුරාධපුරේ ගිහින් ගත්තු පොඩි වාහනයක් ඒක. හැබැයි මට ආඩම්බරයක් තිබුණා ඒකට යටකරපු හැම සතයක්ම මම ගෙව්වේ රඟපාලා මහන්සි වෙලයි. ඉතින් අනුරාධපුරේ ගිහින් ඒක සල්ලි දීලා ගෙනැල්ලා ඒක එළියට ගෙනියනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ.

ඒ වෙද්දී තරින්දිට ලයිසන් තිබුණද?
ඔව්... ඔව්... ඒ වෙද්දි මට ලයිසන් තිබුණා... හැබැයි ඒකට ඉන්ෂුවරන්ස් හදාගෙන තිබුණේ නැහැ. මට ඉවසිල්ලක් තිබුණේ නැහැ ඒක අරගෙන පදින්න. ගෙදර අය &පොඩ්ඩක් පල්ලියට ගෙනිහිල්ලා. ඊටපස්සේ  ඉන්ෂුවරන්ස් හදාගන්න කම් පොඩ්ඩක් ඕක තියන්න.* කියල කිව්වා. හැබැයි මගේ තියෙන ගායට මට ඕනවුණේ එළියට යන්න. ඉන්ෂුවරන්ස් එකත් තාත්තායි මායි ගිහින් අරගෙන නුගේගොඩ කොහුවල අතරේදී මම ට්‍රුෆික් ලයිට් එකට වාහනය නතර කළා. ඒ දවස්වල ඔය ෆෝන් එකෙන් Map බලාගෙන ගිහින් පුරුද්දකුත් නැහැනේ. මමත් පණ්ඩිතයා වගේ ලොකුකමට Map එකත් දාගෙන ගියා. Map එක බලාගෙන වාහනය ඉස්සරහට ගනිද්දීම ඉස්සර තිබුණ බස් එකේ වාහනය හැප්පුණා... ලොකු ඩැමේජ් එකක් වාහනයට වුණා... මොනවා කරන්නද? හැමදේම වෙන්නේ හොඳටනේ කියලා වාහනය ඉන්ෂුවරන්ස් දාලා හදාගත්තා.

තරින්දිගේ ජීවිතේ ප්‍රථම ප්‍රේමය ගැනත් කියමුද?
මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසැල් යන කාලයේදීමයි. ඒක අවුරුදු හයහමාරක් හතක් විතර තිබුණා. අවසානයේදී ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව මුලින්ම මුණගැහුණේ කොහේදිද?
ඉසුරු අය්යාව මට මුලින්ම මුණගැහුනේ පැහැසරා ටෙලිනාට්‍යයේදී.

ඉසුරු ගැන හිතාගෙන හිටියේ කොහොමද?
පැහැසරා කරන්න එද්දී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා නළුවෙක් ඉන්නවද කියලවත් මම දැනන් හිටියේ නැහැ. ඒකට හේතුව වුණේ මම ඒ කාලේදී ඔය ටෙලිනාට්‍ය බලපු කෙනෙක් නෙමේ. ඒ නිසා නළු නිළියන් ගැන, ටෙලිනාට්‍ය ගැන මම කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මගේ අක්කා නම් ඒ හැමදේම බලනවා. මම පැහැසරා එකට එන්න කලින්ම මට අක්කා ඉසුරු අයියා ගැන පොඩි හෝඩුවාවක් දීලා තිබුණා. &නංගී... ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියලා නළුවෙක් රඟපානවා. මාර ලස්සනට රඟපානවා. ඔයාට වුණත් එයත් එක්ක රඟපාන්න ලැබුණොතින් නියම චාන්ස් එක. නියමෙට ඉසුරු රඟපානවා* කියලා තිබුණා.  හැබැයි මට ඒ කාලේ ඒක එච්චර ගාණක් වුණේ නැහැ. දැන් තමයි මම ෆීල්ඩ් එකේ හැමෝවම හඳුනන්නේ.

තරින්දි ඇත්තටම දැන් ඉසුරු ඔයාගේ කවුද?
ඇත්තටම ඉසුරු අයියා මගේ හොඳ හිතවතෙක්. හොඳ යාළුවෙක්. පවුලට ගොඩක් සමීපයි. ඉස්සරහිදී මොනවා වෙයිද කියලා කියන්න නම් බැහැ. 

තරින්දි ලස්සන මනාලියක් වෙන්නේ කවදාද?
බොහෝදුරට ලබන අවුරුද්දේ මුල් මාස හය ඇතුළත මොනවා හරි දෙයක් සිද්ධ වේවි.

තරින්දි කියන්නේ කවුද?
මම හැමදෙයක් ගැනම ගොඩාක් හිතන කෙනෙක්. පුංචි දෙයක් ගැන පවා මම හරියට හිතනවා. මම ගොඩාක් සංවේදී කෙනෙක්. මම මිනිස්සුන්ට වගේම සතුන්ටත් හරි ආදරෙයි.