2021 ජනවාරි 23 වන සෙනසුරාදා

නොඉල්ලා කිසිවක්ම දන් දිය හැකි නම් සියල්ල ඒ තමා ආදරය...

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

හුස්මක් වැටෙන මේ මොහොත යථාර්ථයක්.. ඒ මොහොතෙන් ඊළඟ මොහොතට ජීවිතය අඩිය තියද්දි පහුවෙච්ච ඒ මොහොත සිහිනයක්.. ජීවත්වෙන මේ මොහොත හැරෙන්න අතීතය හා නූපන් හෙට දවස සිහිනයක් කියලා මට හිතෙන්නෙ.. සම්මුතියට අවසඟව දකින්න.. ඔව් දකින්න පෙනෙන්න තියෙන දෙය විනිවිද නොපෙනෙන දෙය දකින්න හැකිනම් ඔබට මේ යථාර්ථය දකින්න බැරි ඇයි නිසැකවම.

අපි හැම දෙයක්ම කළේත් කරන්නෙත් මේ මොහොත වෙනුවෙන් නේද? මේ මොහොත අපි බලාපොරොත්තු වුණු අපි ඉල්ලපු අපි ප්‍රාර්ථනා කරපු මොහොත බවට පත්කර ගන්න නේද? මට හිතෙනවා සංසාර ගමන කියන්නෙම මේ සිහිනයට සහ යථාර්ථයට.. අතීතය මහ කන්දක් වගේ.. නිස්කාන්සු සුවයෙන් ජීවිතය ගෙවන මොහොතක හිතෙනවා ඒ මහ කන්දෙ ඇති තරම් දුර කැමති කැමති පාරවල් ගානේ ඇවිදින්න.. හිත ඉල්ලන තැනක ඔහේ නැවතිලා ඉන්න... පාර වැරදුණු තැන් ළඟ නැවතිලා ආපහු හැරී බලන්න... ඒ මහ කන්දෙ තුරැ වදුළු මල් පොහොට්ටු අතර සැරිසරන්න... 

සංසාරයේ අපිව ඇවිද්දවන්නේ සිත.. කය අත්හැර අත්හැර සිත මහා දුර ගමනක් මේ සංසාරයේ අපිව අරගෙන යනවා... භවාංග සිත කියන්නේ හුඟාක් දුර අතීත මතක අපි සඟවාගෙන ඉන්න තැන... මට හිතෙනවා මම විශ්වාස කරනවා ජීවිතයේ කිසිදු හමුවීමක් කිසිදා අහම්බයක් නොවන වග. සංසාර කුසලයක් හෝ අකුසලයක් ඒ සියලු හමුවීම්හි තීරකයා වග.. ජීවිතය සුවපත් කරනු පිණිස ආදරණීයන් සේම ජීවිතය අවුලුවාලනු පිණිස අනාදරණීයන් මුණගස්වන්නෙත් ඒ කුසල් අකුසල් මිස අන් කවරක්ද කියා හිතෙන්නෙ නැද්ද ඔබට...

කියන්න මට තාමත් ආදරෙයි නේද ඉස්කෝලෙ ගිය ඈත දවස්වලට.. අනේ ඒ තරම් හිනැහිච්ච කාලයක්... සතුට ආදරය සැහැල්ලුවෙන් විඳගත්ත කාලයක්.. මං අහන්නෙ ඔබගෙන්.. කියන්න ඇත්තටම තිබුණාද තවත්නම් එහෙම කාලයක්. මගේ උත්තරය නැහැ...

ඒ කාලයට ඊයේ පෙරේදා දවසක මාව ආයෙත් එක්ක ගියේ ඇය.. 
මනසින් කොච්චර දුර ඇවිදින්න පුළුවන්ද අපට. අපි කොච්චර ආසද ඇවිදින්න එහෙම... කාලය හමුවීම් සමුගැනීම් බවට පත් කරන දවසක් එනවාමයි... නියත දහමට අවසඟව යන්න බැරි වුණත් අපි කාටවත් මට හිතෙන්නේ මේ සංසාරේ සදාකාලික සමුගැනීම් නැහැ නිර්වාණයේ ද්වාරය පාමුලට එනකම්ම..
කාලය දින කියන නිර්ණායකය තුළ ජීවිතය භෞතිකව වියපත් කළත් මට හිතෙන්නෙ හදවත හැමදාම ඉල්ලන්නෙ හොයන්නේ සැරිසරන්නේ වසන්තයක...
ආයෙ කවදාවත් සුදු ගවුම ඇඳලා, ඒ රතු පාට සුදු පාට ඉරි වැටිච්ච ටයි පටිය දාලා... කොණ්ඩ කරල් දෙක ගොතලා, නිලංකලා, රෝෂිණීලා, කුමුදුනිලා, පවිත්‍රලා, ගයාත්‍රිලා එක්ක ඒ පන්ති කාමරයට යන්න බැරි වුණාට, අදටත් ඒ අතීතයට ආදරය නොකර ඉන්න හිතක් නෑ මට... 

නිලංකා හුඟාක් දුර කාලයකට පස්සේ. අහම්බයෙන් ඇවිත් ඒ මතක දිගේ මාව මහ දුරක් එක්ක ගියාට ඔයාට ස්තූතියි. ඇත්තටම ඒ මතකය දිගේ මම ඇවිදපු දුර දන්නවාද මං නැවතුණේ කොතනකද කියලා දන්නවාද.. 96 දමිළ චිත්‍රපටය ළඟ...
Vijay Sethupathi සහ Trisha Krishnan ගේ අප්‍රකාශිත පාසල් ප්‍රේමය වටා තමයි 96 ගෙතෙන්නේ...ආදරය කියන්නේ මම හැමදාමත් කියනවා වගේ අයිතියට නෙවෙයි.. ආදරය කියන්නෙම ආදරයට... පාසල් වියේ ප්‍රේමයක් ඔබත් අත්විඳ ඇත්නම් එහෙමත් නැත්නම් ගැහැනු ළමයි පිරිමි ළමයි එකට ඉගෙනගන්න ඉස්කෝලෙක ඇතුළෙ ඉපදිච්ච ආදර කතාවක් ඔයාට තියෙනවනම්, සමුගැනීමකින් කෙළවර වුණත් ඒ ආදර කතන්දරයේ සුවඳ හැමදාමත් ඔයාට නොදැනෙන්නනම් විදිහක් නෑ... සමුගැනීමක තියෙන්නෙ අවසානයක් විතරයි.. කෙළවරක් නෑ... කෙළවරක් නැති කිසි දෙයක නිමාවක් නෑ..

නිමාවක් නැති කිසි දෙයක් යළි යළිත් හමු නොවී තියෙන්න විදිහක් නෑ.. සංසාර හැම හමුවීමක් පිටුපසත්, ජීවිතයේ හැම හමුවීමක් පිටුපසත් මේ න්‍යාය තියෙනවා කියලා මම විශ්වාස කරනවා.. 96 දමිළ චිත්‍රපටයේ ඔහු හැමදාමත් ඇයට ආදරය කළා... ඔවුන් ඉගෙන ගත්තේ එකම ඉස්කෝලෙක... ඒත් ඇය අත්හැරෙයි කියන බයට ඒ ආදරය හැමදාම ඒකපාර්ශවීය ආදරයක් විදිහට ඔහු පරෙස්සම් කළා... අප්‍රකාශිත ඒ ආදරයත් එක්ක ඔවුන්ගේ ජීවිත ගලාගෙන ගියා. ඇය තවත් කෙනෙකුට බිරිඳක්ව රට හැර ගියා.. ඔහු හැමදාම තනිකඩයෙක්..

වසර ගණනාවකට පසු පාසල ළඟින් කොහේදෝ යද්දි දවසක් අහම්බයෙන් ඔහුට ඒ අතීතය මතක් වෙනවා...
ඔහු හිතනවා එදා පන්තියේ එකට ඉගෙනගත්තු හැම යාළුවෙක්ම යළි මුණගැහෙන්න.. සුහද හමුවක් වෙනුවෙන් දිනක් වෙන්වෙන්නෙ ඒ අනුව... එදා ඇයත් එනවා.. ඇය ජානු.. වසර ගණනක් හදවතේ මුල්ලක පරිස්සම් කරගෙන හංගාගත්ත ඒ ආදරය එදා රෑ වචනවලට පෙරළන්න ඔහුට අවකාශය ලැබෙනවා... රාගයෙන් විතැන් වෙච්ච ඉසව්වක රුඳෙන්න පුළුවන්ද ආදරයකට.. 
ඔව් පුළුවන්.. නාල්ලා හිස තුඩකින්වත් ආදරය කරන්න පුළුවන්ද කෙනෙකුට.
ඔව් පුළුවන්..

මට හිතෙනවා රාගයෙන් විතැන් වූ තැනක රැඳෙන ඒ ආදරය හරිම අකලංක චමත්කාරයක් කියලා... 
ඔහු සේම ඇයත් ඔහුට ආදරය කරලා... එහෙත් එක්වීමත් ඉරණමක කොහේවත් නොතිබෙන්න ඇති...
ඇය හා යා වුණු මතකවලින් පිරිච්ච සූට්කේසයක් ඔහු සත්තකයේ තියෙනවා.. ඔහු එය පරිස්සම් කරන්නේ මහා වස්තුවක් වගේ. අවසානයේ ඇය ඒ හමුවීමෙත් එක් මතකයක් අහම්බයෙන් ඉතිරි කර යන්නම යනවා.ඒ ඇගේ ෂෝල් එකක්...එය අවසානයේ ඔහුගේ සූට්කේසයේ තවත් ජානු ගැන ආදරණීය නිහඬ මතකයක් ලෙස තැන්පත් වෙනවා..ඔබට දැන් පුළුවන්ද ආදරය නිර්වචනය කරන්න...ආදරයට කොහේවත් කවදාවත් නිශ්චිත නිර්වචනයක් නෑ. නමුත් නොඉල්ලා කිසිවක්ම දන් දිය හැකිනම් සියල්ල මට හිතෙන්නේ ඒ තමා ආදරය.
ඔව් ඒ තමා ආදරය...