2021 ජනවාරි 23 වන සෙනසුරාදා

මල් වෙනුවට ගල්.......

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 361

ෆ්‍රොන්තොලට පහුගිය කාලේ සීරියස් කතා අහලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර වීදුවක්. ඔන්න මචෝ කවුරුත් කරන ඒත කතා අඩු Trend එකක් අරගෙන ආවා. තරුණ පරපුර වගේම වැඩිහිටි පරම්පරාවත් මේ සීන් එකේ ඉන්නවා. පැහැදිලි සිංහලෙන් කිව්වොත් අද කතාව ගෙවතු අලංකරණය ගැන. Gardening කියලා කිව්වාම තමා ඉතින් සුදාලාට තේරෙන්නේ. මේක පට්ට Trend එකක් අද වෙනකොට පිස්සුවක්. හැබැයි ඉතින් Trend විදහට දැකලා මේ ගැන කතා පොජ්ජලවල් මන්දෝ කරන්නේ නෑ ලොකු ලොක්කෝ.

කාරි නෑ කාරි නෑ මචෝ කවුරැත් කැමතියි ලස්සනට ඉන්න. තමන්ගේ ගෙදර මිදුල කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය ප්‍රදර්ශනය කරන දෙයක් කියලා තමා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. එක අතකට ඒකේ වරදක් නෑ මචෝ. නමුත් ඉතින් ගෙදර සතුටින් ජීවත්වෙන එක තමා වැදගත් කියලා හැමෝම මතක තියාගන්න ඕනෑ. ඒ කතාව මුලින්ම කිව්වේ මේක කියවලා ණයවෙලා අපේ කස්ටිය ගෙදරට මිදුලට වැඩදාන්න යන්න ඉඩ තියෙන නිසා. එහෙව් රටක් මචෝ මේක. සොරිවේවා!
තමන්ගේ ගෙමිදුල ලස්සනට තියාගෙන ඉන්න පුරුද්දක් අපේ අම්මා තාත්තලාට තිබ්බේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි හරිය. නමුත් මිදුලේත් ගෙදර ඇතුෙළ් වගේ කොන්ක්‍රීට් ගල් අතුරලා චූටි චූටි ලයිට් පොළොවට අල්ලා උස මල් පෝච්චි තියලා. ලොකු ගස් ඔක්කොම කපලා තව තණකොළ පිඩැලි ටිකක් අල්ලලා වැඩදාන්න ගත්තේ මේ ළඟදී. ඉස්සර මේ වගේ කැටයම් තිබුණේ ලොකු ලොකු ආයතනවල ප්‍රභූ නිවාසවල විතරයි. පස්සේ මේක පුදුම විදිහට ව්‍යාප්ත වුණා. අද වෙනකොට හැමෝම මෙහෙම කරන්න ට්‍රයි කරනවා. ඉතින් ඒක පට්ට වැරැද්දක් කියලා නෙවෙයි කියන්නේ. ඒක මරු. ඒත් රැල්ලට නෙවෙයි අවශ්‍යතාව අනුව තමා වැඩේ වෙන්න ඕනෑ.

කොන්ක්‍රීට් ගල් ඇතිරීම කියන්නේ අද වෙනකොට පට්ට Trend එකක්. එකම තමා අපේ කතාවට මූලික වෙන්නේ. මේ ගලක් සැලිය යුතු මුදලක් වෙනවා. එක එකම මාදිලි තියෙනවා. දැක්කම පට්ට ලස්සනයි. කොටින්ම කියනවා නම් පිස්සු කොරයි මා බ්‍රෝ. ඉතින් මේක පට්ට කර්මාන්තයක් වෙලා ගල් අල්ලන ආයතන පවා නිර්මාණය වෙලා තියෙනවා. වැඩේ ලස්සනයි. පහුගිය දවස්වල ගොඩක් අය කෝවිඩ් නිසා මිදුලට බැහැලා හිටියා. ඉතින් දැන් කට්ටිය ඔන්න ගල් අල්ලනවා හරි හරියට.
ඒත් පොඩි අවුලක් තියෙනවා සුන්දරා. මේක අවබෝධයෙන් නොකළොත් වෙන්නේ පට්ට පාඩුවක්. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඉස්සර අපේ මිදුල්වල තිබ්බා උඳුපියලිය, මොණරකුඩුම්බිය, පොල්පලා, තුත්තිරි, නිදිකුම්බා වගේ පොඩි පැලෑටි එතකොට වත්තේ හිටපු තණකොළ පෙත්තෝ, සමනලයෝ , බත් කූරෝ, මී මැස්සෝ. ම්.ම්..ම්... එයාල දැන් හොයාගන්න නෑ පැංචෝ. එදා මේ සත්තු පැලෑටි පරිසරයේ සමතුලිතභාවය තියාගන්න ගොඩක් වැදගත් වුණා. උඳුපියලිය ටිකක් උඩින් ඇවිදගෙන ගියත් සනීපයි නේද සුන්දරා. මතකද ඒ කාලේ තත්ත්පරයක් නැවතිලා කල්පනා කරන්න.

කාලය එක්ක දේවල් වෙනස් වෙන්න ඕනෑ. හොඳ දේවල් රැකගන්නත් ඕනෑ. සමහරැ මුළු මිදුලම කොන්ක්‍රීට් ගල් අතුරලා ලස්සන කරන්න යනවා. ඊටපස්සේ පුදුමාකාර රස්නයක් තමා ගෙදර අවට පරිසරයේ තියෙන්නේ. අපි ස්වභාවිකත්වය යම් වෙනසකට ලක්කරනවා නම් එහි හොඳ හෝ නරක බලපෑමට අපි ලක්වෙන එක නතර කරන්න බෑ. කොන්ක්‍රීට් ගල් ඇතිරීම රැල්ලක් වෙන නිසා අපේ අය වැඩේට පිස්සු වැටිලා. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ මගේ මචෝ.
ගෙවතු අලංකරණය ගැන කතාකරන්න යනකොට අපේ මේ Trend එක ඇතුෙළ් අවුල් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වැඩේ වෘත්තීය විදිහට කරන ආයතන පුද්ගලයෝ ගොඩක් රටේ හිටියත් රැල්ලට හිතූ හිතූ දේවල් කරන්න තමා අපේ ෆොන්තෝලා යන්නේ. ඉතින් විශේෂයෙන් අවධානය යොමුකරන්න පුළුවන් දේවල් ටිකක් කියන්නම්. සුදාලට උදව්වක් වෙයිනේ.

ගෙවත්තට හිරුඑළිය වැටෙන ආකාරය සුළං හමන ආකාරය වර්ෂා කාලවලට ගෙවත්තෙ ඇතිවෙන බලපෑම හොඳට බලන්න. කොළපාට වැඩිවෙන තරමට තමයි ලස්සන. කුඩා දරැවෝ ඉන්නවා නම් ආරක්ෂා ගැනත් ගොඩක් හිතන්න ඕනෑ සහෝ. එතකොට ඔංචිල්ලාවක් පොකුණක් වගේ තියෙනවා නම් පට්ට. තව ටිකක් සීරියස් විදිහට කිව්වොත් මේක ගොඩාක් හිතන්න ඕනෑ වැඩක්.

ගෙවත්ත කියන්නෙ අපි දැනටමත් ජීවත්වන වටාපිටාවටනි සහෝ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අමුතුවෙන්ම සැලසුම් කරන්න යන එක නම් ප්‍රායෝගික නැහැ. ඒක එකෙන්ම මතක තියා ගන්න ඕනෑ. අපි හැමෝගෙම ගෙවත්ත එක වගේ නැහැනෙ. හැබැයි මේ Trend එක ඇතුෙළ් ගොඩක් අය උත්සාහ කරන්නේ අරයාගේ මෙයාගේ මිදුල වගේ අපේ මිදුලත් හදාගන්න ඕනෑ කියන මානසිකත්වයෙන්. ඒක තමා වැඩ වරද්ද ගන්න ප්‍රධාන හේතුව. අපිට ඉඩකඩ, හිරුඑළිය, ජලය, යෙදවිය හැකි කාලය, මුදල් හා අනෙකුත් සම්පත් ලැබිලා තියෙන්නේ විවිධ ප්‍රමාණවලින් මචෝ.

පහුගිය දවස්වල සීරියස් කතා කියපු නිසා ඔන්න අද සරල කතාවක් කිව්වා. අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි පැංචෝ. ගෙවත්ත කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ගෙදර සතුටු නැත්නම්. අපි මේ හැමදේම කරන්න ඕනෑ පවුලේ සතුට වෙනුවෙන්ම විතරයි. ඊළඟ සතියෙත් අපි කියන්නේ මේ වගේම සරල කතාවක්. අපි මිදුලෙන් ගෙට යමු එදාට. ආදරෙයි පැංචෝ පැංචියොන්ට... ලබන සතියේ හම්බවෙමු.