2021 ජනවාරි 23 වන සෙනසුරාදා

හොඳටම බැණලා හොඳටම ඇඬුවා....

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

පියුමි.. මොනවද මේ දවස්වල තොරතුරු?
මේ දවස්වල මම නාට්‍ය දෙකක විතර රූගත කිරීම්වල නිරවෙලා ඉන්නවා.ඒ වගේම මම මේ වනතුරු රංගනයෙන් දායකවෙලා තිබුණේ සෙසු චරිතවලට. ඒත් මම ගොඩක් ආසාවෙන් හිටියේ නාට්‍යයක ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන්න. දැන් ඒ හීනය සැබෑ වෙමින් තියෙන්නේ. ඒ නාට්‍ය තමයි සන්දේෂ් බණ්ඩාරගේ පිනෝකියෝ කියන ටෙලිනාට්‍ය. ඒ නාට්‍යයේ රෑගත කිරීම් තව සතියකින් දෙකකින් පටන් ගන්න ඉන්නේ. ඕවා තමයි මේ දවස්වල විතර.

පියුමි.. ඔබට යාළුවෝ කොච්චර විතර ඉන්නවාද?
ඇයි කියන්න දන්නෙ නෑ. මට ඉස්කෝලෙ යන කාලේ ඉඳන් යාළුවෝ සුළු ප්‍රමාණයයි හිටියේ. මම හරි සැරයි. ඒ නිසාද දන්නෙ නෑ මට යාළුවෝ පොඩ්ඩක් ඉන්නෙ.

ඒ යාළුවෝ අතරින් හිතට වැඩියෙන් දැනිච්ච යාළුවා කවුද?
වරුණි කියලා පාසලේ යාළුවෙක්. එයා තමයි පාසල් කාලේ ඉඳලා මට ඉන්න එකම යාළුවා.

වරුණිව කොහොමද ඔබට මුලින්ම හමුවෙන්නෙ?
මුලින්ම අපි දෙන්නගේ යාළුකම පටන් ගත්තේ පාසලේදි. ඒ පාසලේ පටන්ගත්ත යාළුකම තමයි දැනුත් අපි දෙන්නා අතර තියෙන්නේ. හැබැයි පාසල් කාලයටත් වඩා දැන් අපි දෙන්නා එකතුයි. වරුණිත් අපේ ගෙදර යනවා එනවා. මමත් එයාලගෙ ගෙදර යනවා එනවා.

පියුමි.. ඇයි ඔබ වරුණිව විතරක් ඔබගේ හොඳම යාළුවා විදිහට තෝරාගත්තෙ?
ඒක තමයි මටත් තවම තේරෙන්නෙ නැත්තෙ. සමහර වෙලාවට මම තනියම ගෙදර ඉන්නකොටත් කල්පනා කරනවා, ඇයි මම වරුණිවම මගේ හොඳම යාළුවා කර ගත්තේ කියලා. හැබැයි මට හිතෙන්නේ මට යාළුවෝ අඩු මම ඉන්න විදිහ නිසා වෙන්න ඇති. මොකද මම කැමති නෑ එළියේ ඇවිදින්න, වැඩිය විනෝද වෙන්න යන්න එහෙම මම කැමති නෑ. ඉතින් ඒ වගේ කෙනෙකුට යාළුවෝ එකතු වෙන්නෙ නෑනෙ. හැබැයි වරුණි මගේ අදහස්වලට ගැලපෙන අදහස් තියෙන කෙනෙක්. මම බැන්නත් එයා අහගෙන ඉන්නවා. එයා මට බැන්නත් මම අහගෙන ඉන්නවා. තරහ වෙන්නෙ නෑ. ඒ නිසා වෙන්න ඇති මම මගේ හොඳම යාළුවා විදිහට වරුණිව තෝරාගෙන ඉන්නවා ඇත්තෙ.

ඔබ වරුණිගේ දකින විශේෂ ගුණාංග මොනවාද?
යාළුවෙක් ආශ්‍රය කරද්දි එයාට පොඩ්ඩක්වත් තරහ යන්නෙ නෑ. අනිත් සම්බන්ධකම්වලදි කොහොමද දන්නෙ නෑ. වරුණි අනිත් අයට ගොඩක් උදව් කරනවා. මට වුණත් පොඩි කාලේ ඉඳන් උදව් කරනවා. එයාගේ කෑම එක පවා මට දීපු අවස්ථා තියෙනවා. තව දෙයක් තමයි එයා ගොඩක් අහිංසක ළමයෙක්. වරුණිගේ මම දකින ගුණාංග ඔය දේවල් තමයි.

කොච්චර හොඳ යාළුවෙක් වුණත් ඒ යාළුවාගේ දුර්වලකම් නැතිව නෙවෙයි. පියුමි.. ඔබ වරුණිගේ දකින දුර්වලකම් මොනවාද?
එයාගේ තියෙන ලොකුම දුර්වලකම තමයි එයා පොඩි දෙයටත් ලොකුවට දුක්වෙන එක. එයා හරියට ඍණාත්මක සිතුවිලි තියෙන කෙනෙක්. මම එයාට හැමදාම කියනවා ප්‍රශ්නයකට මුහුණදෙන්න ඕනෙ ඒ ප්‍රශ්නය අපිට හොඳ විදිහට විසඳන්න පුළුවන් කියන එක හිතේ තියාගෙන කියලා. හැමදාම කියනවා වගේ මම අදත් කියන්නෙ හැම දෙයක්ම ඍණාත්මකව හිතන්නෙ නැතිව ධනාත්මකව හිතන්න කියලයි.

කවදා හරි ඔබගේ හොඳම යාළුවා.. ඒ කියන්නෙ වරුණි ඔබත් එක්ක තරහ වුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද?
එක දවසක් අපි දෙන්නා ලොකු රණ්ඩුවක් වෙලා තරහ වුණා. මම හිතුවේ අපි ආයේ ජීවිත කාලෙටම කතා නොකර ඉඳීවි කියලා. මම කවදාවත් නැති විදිහට එයාට බැන්නා. එයත් මට හොඳටම බැන්නා. හැබැයි ඒ තරහ එක දවසයි තිබුණෙ. මට වරුණි එක්ක කතා නොකර ඉන්න බැරි වුණා. ඉතින් මම පහුවදාම හොඳටම අඬ අඬා වරුණිට කතා කරලා මට සමාවෙන්න වරුණි.. ආයේ කවදාවත් මගේ අතින් මෙහෙම වැරදි වෙන්නෙ නෑ* කියලා සමාව ගත්තා. ඊට පස්සේ ආයෙත් විශ්වාසය දිනාගෙන ඉස්සරට වඩා හොඳ යාළුවෝ විදිහට දැන් අපි ඉන්නවා. හැබැයි මමනම් ආයේ කවදාවත් වරුණි එක්ක රණ්ඩු කරන්නෙ නෑ කියලා හිතාගත්තා. එයත් ඒක තරහවෙලා ඉන්න මට ගොඩක් අමාරුයි කියලා එදා වුණු ප්‍රශ්නෙත් එක්ක මම තේරුම් ගත්තා.

වරුණිගේ අතින් හෝ ඔබගේ අතින් වැරැද්දක් වෙලා නැද්ද?
එකම එක වැරැද්දයි වෙලා තියෙන්නෙ. මම කලින් කිව්වේ ඒ වැරැද්ද ගැන තමයි. ඒක අපි දෙන්නා විතරක් දන්න පෞද්ගලික දෙයක්. ඒ දේ වුණේ අපි දෙන්නම නොදැනුවත්ම. ඊට අමතරව අපි දෙන්නට දෙන්නා වැරදි කරලා නෑ.

පියුමි.. ඔබට මොනවද ඔබගේ යාළුවාට කියන්න තියෙන්නෙ?
මම වරුණිට දෙන්න තියෙන උපදේශය තමයි, තව අපිට ජීවිතේ ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා. මේ ජීවිතය අපිට ලැබුණේ අපි ගිය භව යන්හි කරපු පින් නිසයි.  ඒ නිසා මේ ලැබුණු ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න. පොඩි පොඩි දේවල්වලට පසුතැවෙන්නෙ නැතිව ජීවිතේ ඉස්සරහ දැකලා ධනාත්මක විදිහට ජීවත් වෙන්න කියනවා වගේම. මේ යාළුකම කවදාවත් නැති නොකරගෙන හොඳින් ජීවත් වෙන්න කියලා තමයි මම මගේ හොඳම යාළුවා වරුණිට කියන්න තියෙන්නෙ.