2021 ජනවාරි 23 වන සෙනසුරාදා

මෝදිලා ගාන්ධිලා සිනමාවේ..........

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

බොලිවුඩයේ මේ වනවිට චරිතාපදාන සිනමාපට නිර්මාණය කරනවා. චරිතාපදානයක් කියන්නේ ඕනෑම ප‍්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ ජීවිතය පදනම් කරගෙන හදන සිනමාපට කියලා ඔබ දන්නවනේ. ඉන්දියාවේ දේශපාලන කටයුතුවල නිරතවුණු මහත්මා ගාන්ධිතුමා, අම්බේඩ්කර්, සර්දාර් පටෙල්, මෝදි සහ බාලා සාහේබ් ටාකරේගේ චරිතාපදාන සිනමාපටය ලෙසින් අපිට දකින්න හැකියාව මේ වනවිටත් පවතිනවා. මේ ලිපිය තුළින් ඉන්දියාවේ ජනප‍්‍රිය දේශපාලන චරිතයන්ට පණ පොවන්න ගැලපෙන නළු නිළියන් ගැන තමයි ඔබට කියන්න හදන්නේ.

• පරේෂ් රාවල් - නරේන්ද්‍ර මෝදි

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ චරිතාපදානය සිනමාපටයක් ලෙසින් පී.එම්. නරේන්ද්‍ර මෝදි නමින් මේ වනවිටත් නිපදවා තියෙනවා. ඒ සිනමාපටයෙහි විවේක් ඔබරෝයි නරේන්ද්‍ර මෝදි මහතාගේ චරිතයට පණ පෙවූ අතර තවත් සිනමාපටයක් නරේන්ද්‍ර මෝදි ගැන සකසනවා නම් ඊට ගැලපෙන බොලිවුඩයේ ඉන්න හොඳම නළුවා වෙන්නේ පරේෂ් රාවල් බව කිවයුතුමය. ඒ දෙන්නගේ සමහර ශරීර ලක්ෂණද එකිනෙකාට ගැළපෙන අතර පරේෂ් රාවල් අති දක්ෂ නළුවෙකු වන හෙයින් නරේන්ද්‍ර මෝදි මහතාගේ චරිතයට පූර්ණ සාධාරණයක් ඉටු කිරීමට ඔහුට හැකිවනු ඇත.

• සෞරබ් ශුක්ලා - අමිත් ශාහ

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශාහගේ ජීවිත කතාව රැගත් චරිතාපදානයක් බිහිවන්නේ නම් සෞරබ් ශුක්ලා ඒ චරිතය නියමාකාරයෙන් පනපොවනු ඇත. බර්ෆී, සත්‍යා, ජොලි එල්.එල්.බී., පීකේ, වැනි සිනමාපටවල සෞරබ් අති දක්ෂ රංගනයක නිරත වුණු අතර අමිත් ශාහ, සෞරබ්ගේ පෙනුමට සමාන වේ.

• කත‍්‍රිනා කයිෆ් - සෝනියා ගාන්ධි

කත‍්‍රිනා කයිෆ් රාජ්නීති හින්දී සිනමාපටයේ දේශපාලන නායිකාවකගේ චරිතයට පණ දුන් අතර ඒ සිනමාටයේ නිර්මාණකරුවන් නොකිවුවත් ඒ චරිතය සඳහා සෝනියා ගාන්ධිගේ ආභාෂය ලැබීය. කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රධානී සෝනියා ගාන්ධිගේ චරිතාපදානය නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා හොඳින්ම ගැළපෙනුයේ කත‍්‍රිනා කයිෆ්ය. පෙනුම සහ උස අනුව ඇය ඒ චරිතය පණ පොවන්නට පරිපූර්ණය.

• රන්බීර් කපූර් - රාහුල් ගාන්ධි

රන්බීර් කපූර් ද රාජ්නීති සිනමාපටයෙහි දේශපාලකයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර ඉදිරියේදී කිසියම් නිෂ්පාදකයෙක් කොන්ග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධිගේ චරිතාපදානයක් කිරීමට සිතන්නේ නම් රන්බීර් ඒ භූමිකාවට 100ක්ම සුදුසු බව මේ ලිපිය කියවන ඔබද පිළිගන්නවා ඇත.

• කුමුද් මිශ‍්‍රා - අරවින්ද් කෙජ්රිවාල්

දිල්ලිවල මහ ඇමති අර්වින්ද් කෙජ් රිවාල් ගන මේ වනවිටත් වාර්තා සිනමාපටයක් නිපදවා තියෙනවා. ඔහුගේ චරිතාපදානයක් නිර්මාණය කරනවා නම්, ඔහුගේ චරිතය නිරූපණය කිරීමට වඩාත්ම ගැළපෙනුයේ කුමුද් මිශ‍්‍රා බව ඡායාරෑප බලලා කියවන ඔබටම තීරණය කරන්න පුළුවන්. කුමුද් මිශ‍්‍රා අති දක්ෂ රංගන ශිල්පියෙක් වන බව රාංජ්නා, එයාර්ලිෆ්ට්, සුල්තාන්, රුස්තම්, සහ ජොලි එල් එල් බී සිනමාපට වලින් ඔප්පු කරලා තියෙනවා.

• මනෝජ් බාජ්පායි - අරුන් ජෙට්ලි

හිටපු ඇමතිවරයෙක් සහ භාරතීය ජනතා පක්ෂ නායක අරැන් ජෙට්ලි ඉතාම ජනප‍්‍රිය නායකයෙක් වූ අතර ඔහුගේ දේශපාලන ජීවිතය ඉතාම සිත්ගන්නා සුළුය. මේ කියන ආදරණීය නායකයාගේ චරිතාපදානය ඉන්දියාවේ  ප්‍රේක්ෂකයින් අනිවාර් යෙන්ම දැකීමට කැමතිවන අතර ඔහු පිළිබඳව චරිතාපදානයක් නිර්මාණය කරන්නේ නම් මනෝජ් බාජ්පායිට වඩා ඊට ගැළපෙන කිසිවෙක් බොලිවුඩ් සිනමාවෙහි නොමැත. මනෝජ් බාජ්පායි කියන්නේ  ඕනෑම චරිතයකට පණ දිය හැකි නළුවෙක් වන අතර ඔහු අරැන් ජෙට්ලිගේ චරිතයට නියමාකාරයෙන්ම පණ දෙනු ඇත.

• විද්‍යා බාලන් - සුෂ්මා ස්වරාජ්

සුෂ්මා ස්වරාජ්ගේ ට්විටර් වෙබ් අඩවියේ මිලියන 12කට අධික ප‍්‍රමාණයක් සිටීමෙන්ම ඇයගේ ජනප‍්‍රියත්වය එයින්ම මැනිය හැකිය. ඇය අද වනවිට අප අතර නැතිවුවද ඇයගේ චරිතාපදානය නැරඹීමට මිනිසුන් අනිවාර්යෙන්ම කැමතිවනු ඇත. විද්‍යා බාලන්ට වඩා සුෂ්මා ස්වරාජ්ගේ චරිතයට පණ දිය හැකි වෙන කිසිවෙක් නොමැත. සුෂ්මා ස්වරාජ් හෝ ස්මෘති ඉරානි ගැන සිනමාපටයක් නිපදවන්නේ නම් ඒ සඳහා විද්‍යා කියන්නේ පරිපූර්ණ තෝරා ගැනීමක් වනු ඇත.

• අජේ දේව්ගන් - නිතිෂ් කුමාර්

බිහාර් මහ ඇමැති නිතිෂ් කුමාර්ගේ ජීවිතය පිළිබඳව සිනමාපටයක් නිර්මාණය කරන්නේ නම් අජේ දේව්ගන් ඒ සඳහා හොඳින්ම ගැළපේ. අජේට වඩා ඒ චරිතයට පණ පොවන්නට වෙනත් කිසිවෙක් නැත.

• දිල්ජිත් දෝසංජ් - නවජෝන් සිං සිධූ

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වන නවජෝන් සිං සිධූ ගැන සිනමාපටයක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා ගැළපෙනම කෙනා වනුයේ දිල්ජිත්ය.