2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ජෝජෝ හින්දා සල්ලි පසුම්බියක් හම්බවුණා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ තමයි 
මංජුලා කුමාරි.

මංජුලා කියමුකො අපිට ඔබේ සුරතලා කවුද කියලා?
එයා පොඩි බලු පැටියෙක්.

ඇයි ඔබ සුරතලයට බල්ලෙක් ඇති කරන්න තෝරාගත්තේ?
එහෙම දෙයක් නෑ. මම ළඟ කලින් හිටියේ පර්සියන් වර්ගයෙන් පූසෝ හතර දෙනෙක්. දැන් එයාලා නෑ. මම හැම සතෙකුටම එක වගේ ආදරය කරනවා.

මේ සුරතලා කොහොමද ඔබේ පවුලට එකතු වුණේ?
පූසෝ මට හම්බවුණේ මගේ මහත්තයාගෙන් තෑග්ගක් විදිහට. බලු පැටියත් මට හම්බවුණේ තෑග්ගක් විදිහට එයාගෙන්ම තමයි.

අපි ආසයි දැනගන්න ඔබේ හුරතලාගේ වතගොත?
මෙයාගේ නම තමයි ජෝජෝ. ජෝජෝ ටෙරියර් වර්ගයේ බලු පැටියෙක්. දැන් මෙයාට වයස අවුරුදු 8යි. ටෙරියර් කියන වර්ගය පුංචි බූල් ගොඩක් තියෙන වර්ගයක්. හරියට බූල් ගොඩක් තියෙන ටෙඩි බෙයාර් කෙනෙක් වගේ. ජෝජෝ හරි හුරතලයට හැදෙන බල්ලෙක්.

මෙයා අපේ පවුලට එකතු වෙන්නේ මාස දෙකේදී. එදා ඉඳන් අපිත් එක්කමයි ඉන්නේ. අපි පවුලේ කට්ටිය කොහේ හරි ගියොත් ජෝජෝවත් එක්කගෙනයි යන්නේ. ඒ තරම් මෙයාට අපි ආදරෙයි. ජෝජෝගේ දින චර්යාව ගැන කිව්වොත් මෙයාට උදේ නැගිට්ට ගමන් යෝගට් එකක් දෙන්න ඕනේ. ඒ යෝගට් එක කාලා තමයි මෙයා දවස පටන්ගන්ෙන්. ඔය වගේ සුන්දර දේවල් තමයි මෙයාගේ වතගොත.

මංජුලා ඔබගේ සුරතලාට ජෝජෝ කියන නම දාන්න විශේෂ හේතුවක් තිබුණාද?
මම නෙවෙයි මෙයාට නම දැම්මේ. මගේ මහත්තයයි. මහත්තයා බලු පැටියා ගේන වෙලාවේ එයාට එක එක නම් කියලා කතා කළා. එතකොට ඇහෙන්නේ නෑ වගේ ඉඳලා ජෝජ් කියලා කතා කරලා. එතකොට ඔලුව උස්සලා බලලා. ඊටපස්සේ තමයි ජෝජ් කියලා නම දැම්මේ. හැබැයි දැන් මම සුරතලයට කතා කරන්නේ ජෝජෝ කියලයි.

මංජුලා ඔබ දැන් අම්මා කෙනෙක්. ඒ වගේම ඔබ රංගන කටයුතුවල නිරත වෙනවා. මේ සියලු වැඩ රාජකාරිත් සමඟ කොහොමද ඔබ සුරතලා ගැන සොයා බලන්න වෙලාවක් සාදා ගත්තේ?
ජෝජෝ ගැන සොයාබලන්නම වෙලාවක් වෙනම මම වෙන්කරගෙන නැහැ. මගේ බබාලාගේ වැඩයි ගෙදර වැඩයි සේරම කරන ගමන් තමයි ජෝජෝ ගැනත් හොයලා බලන්නේ. මට මොන රාජකාරිය තිබුණත් මම උදේට ජෝජෝට යෝගට් එක කවනවා. මුල් දවස්වල නම් ජෝජෝව නාවන එකත් කළේ මම. දැන් මගේ වැඩවලට උදව්වට කෙනෙක් ඉන්නවා. එයා තමයි ජෝජෝව නාවන කරන වැඩ කරන්නේ. ඒ නිසා මම කොච්චර කාර්යබහුල වුණත් ජෝජෝ ගැන සොයාබලන එක කරදරයක් නෙවෙයි.

ඔබගේ සුරතලා කර ඇති අමතක නොවන සිදුවීම් එහෙම ඇති. කියමුකෝ අපිට ඒ සිදුවීම් දෙක තුනක්?
එක දවසක් ජෝජෝ කාමරේ ඇඳ යට අපිරිසිදු කරලා තිබුණා. ඊටපස්සේ අපි ඇඳ අයින් කරලා එතැන පිරිසිදු කරද්දී ඇඳ යට තිබිලා අපේ නැතිවෙලා තිබුණු සල්ලි පසුම්බියක් හම්බවුණා. ඒ දවස්වල අපි ගෙදර තීන්ත ගාන ගමන් හිටියේ. කොහොම හරි මුදල් තිබුණ පසුම්බිය ඇඳ යටට වැටිලා. අපි හැමතැනම හෙව්වා. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි එදා ජෝජෝ ඇඳ යට අපිරිසිදු කරපු නිසා තමයි අපිට ඒ මුදල් පසුම්බිය හමුවුණේ. ඔන්න ඔය දේ නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්.

මංජුලා ඔබ දැකලා ඇති පාරවල්වල කෑම බීමක් නැතිව අසරණ වෙලා ඉන්න සතුන්ව. ඔබ ඒ සතුන්ට පිහිට වෙනවාද?
බබාලාගේ වැඩයි ගෙදර වැඩයි එක්ක ලොකුවට අසරණ සතුන් ගැන සොයාබලන්න වෙලාවක් මට දැන්නම් නැහැ. මම කොහේ හරි යනකොට එහෙම අසරණ සතුන් හිටියොත් කන්න බොන්න එහෙම දෙනවා. හැබැයි මම පුංචි කාලේ නම් කාක්කෝ කොටලා ඇස් පේන්නේ නැතිව පාරවල්වල හිටපු පූසෝ එහෙම ගෙදර අරගෙන ඇවිල්ලා කන්න බොන්න දීලා හොඳට බලාගෙන නම් තියෙනවා.

ඔබගේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ මහත්තයා නම් සතුන් හදනවාට කැමැත්තක් නෑ. හැබැයි අකමැත්තකුත් නෑ. එයා ජෝජෝටත් ආදරෙයි.

ඔබ වගේ සුරතලුන් හදන්න ආසාවෙන් ඉන්න අයට මොනව වගේ පණිවුඩයක්ද ඔබ දෙන්නේ?
සතෙක් ඇති කරනවා නම් එයාව හරි ආදරෙන් ඇති කරන්න කියලා තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට බල්ලෙක් ගත්තොත් එයාලා කැමැති නිදහසේ දුවලා පැනලා ඇවිදලා ඉන්න. එයාලා කැමැති නෑ කූඩුවල දමලා හිරකරලා තියෙනවාට. මම දැකලා තියෙනවා සමහර අය බොරැවට සල්ලි දීලා බල්ලෝ ගෙනැල්ලා එයාලාව 365 දවසෙම කූඩු කරලා හදනවා. ඉතින් ඒ බල්ලාගේ කකුල්වල තුවාල පවා හැදෙනවා. අන්න ඒ විදිහට නම් කිසිම සතෙක් හදන්න ගන්න එපා. සුරතලෙක් හදනවා නම් ලොකු කැපකිරීමක් කරන්නම වෙනවා. එහෙම කැප කිරීමක් කරන්න පුළුවන් නම් විතරක් සුරතලෙක් හදන්න කියලා තමයි මම ඔබට දෙන පණිවිඩය. ඒක ලොකු පිනක්.