2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

මම කැමතිම ගීතය මගේ තාත්තා පාලියෙන් ගායනා කළා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 702

තබ්ලාවට, වයලීනයට, ගීතයට සේම සියල්ලෙන් සුසැඳි සංගීතයට නිර්මල ආදරයකින් බැඳුණු ප්‍රශස්තම ගායකයෙකි ඔහු. නමින් හේ අමරසිරි පීරිස් නම් වන්නේය. ඒ ගී මහැ ඳුරුගේ එකම පුතු මාධව ඉතාලියේ ජීවත් වුවත් දක්ෂ වයලීන වාදකයෙකු ලෙසත් ගායකයෙකු ලෙසත් ජන්මලාභයෙන් ලද උරුමයක් ඔහු ද සතු වන්නේය. එසේම අමරසිරි පීරිස් සේම සොඳුරු මනුදම් පිරුණු හදවතක් ද ඔහු සන්තක වන්නේය. අද ගීතය ගැන කතා කරන්නට ඇරියුම් ලද්දේ ඒ ප්‍රියමනාප නිහඬ කලාකරැවාය. මාධව පීරිස්ය.

මාධව.. ඔබට ඔබේම නොවන ඔබේම ගීතයක් තියෙනවද කියලා තමයි මම ඉස්සරලම අහන්නෙ?
පණ්ඩිත් අමරදේවයන් ගයන ගිලෙම් ඔබේ ගුණ මූදේ කියන ගීතය තමා මගේ ප්‍රියතම ගීතය.

අප්‍රමාණ භක්ත්‍යාදරයෙන් ගයන මේ බුදු ගීය ඔබේ ප්‍රියතම ගීතය වෙන්න විශේෂම හේතුවක් නොතිබෙන්න විදිහක් නෑ?
මේ ගීයේ සංගීතයට මම හුඟාක්ම ප්‍රිය කරන කෙනෙක්. ඒ ගීතයේ තනුව හදවතට හුඟාක් දැනෙනවා. මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ භිම්පලාසි කියන රාගයෙන්. ඒ රාගයේ තියෙන හැඟීම්බර ස්වභාවය නිසා මේ ගීතය මට නැවත නැවතත් අහන්න හිතෙනවා. බොහෝ ගීත නිර්මාණය වී තියෙන්නේ රාගධාරී සංගීතය පසුබිම් කරගෙන. ඉන් සමහර ගීත තියෙනවා රාග කිහිපයක් සම්මිශ්‍රණය වී නිර්මිත වූ ගීත. රාග සම්මිශ්‍රණය වූ ගීයක මාධූර්යය ගුණය වැඩියි. මේ ගීතයේත් ඉතා අනගි මාධූර්යයක් මම දකිනවා සහ විඳිනවා. භිම්පලාසි රාගය හා තව රාග කිහිපයක් මේ ගීතයේ තනුව නිර්මාණයේදී මුහු වී තියෙනවා. එය මහා අලංකාර සංධ්වනියක්. ගීතයක් නිර්මාණයේදී එක් රාගයක් පමණක් යොදාගත්තොත් ඒ ගීතයේ ශාස්ත්‍රීය ගුණයක් විතරයි තියෙන්නේ. ඒත් රාග කිහිපයක් මිශ්‍ර කර ඒ ගීතය නිර්මාණය කළ විට එය සරල ගීයක් වෙනවා. 

සංගීතඥයා එහෙම කරන්නේ අසන්නා තුළ ස්වර මාධූර්යය හා රස භාව වැඩි කරන්නයි. ස්වර මාධූර්යය හා රස භාව කියන ගුණ වැඩි වූ විට ගායකයාට හැඟීම්බර ආත්මගත සබැඳියාවකින් ඒ ගීතය ගයන්න නිරායාස ආවේශයක් ඔහු ලබනවා. ඒ ආවේශයට රසිකයා සහෘද වීම නිතැතින්ම සිදුවන දෙයක් බවයි මගේ විශ්වාසය.

ගීතයේ තනුව ගැන මෙතරම් ගැඹුරැ හා සොඳුරැ විමසුමක යෙදුණු මාධවට මේ ගීතයේ පද ගැඹුරෙහි සැඟවුණු අර්ථය හා රසය දැනුණෙ කොහොමද? වින්ඳෙ කොහොමද?
ඇත්තෙන්ම මේ ගීතය තනුව සේම ගී පද සහ කටහඬ යන සියල්ලෙන් හුඟාක් පොහොසත් ගීතයක්. අරිසෙන් අහුබුදු ශූරීන් කියන්නේ හෙළ බස හෙළ ගුණය රුකගෙන ඉතා ආදරයෙන් හා පරිස්සමින් පරිහරණය කළ අග්‍රගණ්‍ය විද්වතෙක්. හෙළ හවුලේ සාමාජිකයෙක් ලෙස අරිසෙන් අහුබුදු කුමාරතුංග මුනිදාස භාෂා ප්‍රතිපත්තියේ ආභාෂය දැඩිව ලද අයෙක්. ඒ වගේම අරිසෙන් අහුබුදු කියන්නේ සංස්කෘත භාෂාව පිළිබඳවත් මැනවින් දත් අයෙක්.
මේ ගීතයට ඒ භාෂා රස මැනවින් කැලතී මුහු වී තිබෙනවා. ගීත හා කාව්‍ය රචනයේදී නිර්මාණවේදියාට ලැබෙන නිදහස් අවකාශය හරි සුන්දරයි. අලුතින් වචන නිර්මාණය කරන්න වගේම ඉසියුම් ලෙස කාව්‍යයට හා ගීතයට උචිත ලෙස වචන වෙනස් කරන්නත් ඒ අවකාශය තුළ ඔහු හෝ ඇය නිදහස ලද්දෙක්. ගිලෙමි, වඳිමි කියන වචන ගිලෙම්, වඳිම් ලෙස ගීතමය ආකෘතියට යොදාගැනීම ගායනයට හරිම උචිතයි. බලන්න එය ප්‍රාණවත්ව වර නගන හැටි.. එමෙන්ම උත්ප්‍රාස රසයත් මේ ගීතය තුළින් දනවනවා... අප්‍රමාණ භක්ත්‍යාදරයක් දනවන ගීතයක් ලෙස මේ ගීතය මට දැනෙනවා...

මේ ගීතය ගයන්නත් ඔබ කැමති ඇති ඒ වගේම?
ඔව්.. ආගමික උත්සවයක් වගේ දේකදී ගීයක් ගයන්න ලැබුණොත් මම නොවැරදීම තෝරාගන්නේ මේ ගීතය.. නිස්කාංසු සුවයෙන් ඉන්න වෙලාවක වුණත් මම මුමුණන ගීයක් මේක.. 

අපි හුඟාක් ප්‍රිය කරන දේවල් ගැන හදවතට සමීප අය සමඟ අපි කතා කරනවා. මේ ගීතය ගැන ජීවිතයට හුඟක් ළඟ ළෙන්ගතු කෙනෙක් එක්ක ඔබ කතා කරලා තියෙනවද? 
මගේ තාත්තා එක්ක මම කොහොමත් ගීත සහ සංගීතය ගැන කතා කරනවා. මුළු රටක්ම ලෝකයක්ම ආදරය කරන අමරසිරි පීරිස් කියන්නේ මට මගේ තාත්තා වගේම හොඳ ගුරැවරයෙක්. ආරාධනාවකට අනුව තාත්තා මේ ගීතය මෑතකදී පාලි භාෂාවෙන් ගායනා කර තියෙනවා. 

මාධව.. ඔබටත් තාත්තාට වගේ මේ ගීතය පාලි භාෂාවෙන් ගයන්න කීවොත් ගයන්න පුළුවන්ද?
බැරිවෙන එකක් නෑ කියලා හිතනවා. 

විශේෂයෙන්ම මේ ගීතයේ තනුව ගැන මාධව කතා කළේ හරිම රසඥතාවයකින්. මෙවැනි තනුවක් අනුව නිමැවුණු ඔබේම ගීයක් ගයන්න හිතුවෙ නැත්තෙ ඇයි?
එහෙම ගීයක් ගයන්න මට ලැබෙනවනම් ඒක මම හරිම ගෞරවයෙන් බාරගන්න දෙයක්. ඇත්තටම මගේ හිතේ ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා හොඳ බොදු ගීතයක් නිර්මාණය කරන්න. පණ්ඩිත් අමරදේවයන් ඉතා ප්‍රබල ලෙස බොදු බැතිය දනවන ආකාරයට තමා මේ තනුව නිර්මාණය කර තියෙන්නේ. අමරදේවයන්ගේ ගායන කෞශල්‍යයත් මේ ගීතය නැවත නැවත අහන්න පොළඹවනවා. ඇත්තටම මම අමරදේවයන්ගේ දැඩි රසිකයෙක්.

ඔබේ පියා අමරසිරි පීරිස් කියන්නේ ප්‍රබුද්ධ ගායකයෙක් වගේම අතිදක්ෂ වයලීන වාදකයෙක්. ඔබත් දක්ෂ වයලීන වාදකයෙක්. මේ ගීතයේ සංගීතය තුළ ඔබට වයලීනයක ස්වර වැයුමක් ඇහෙනවද?
මම හිතනවා වයලීනයේ ස්වර මුහු වී ඇති කියා. ඒත් ඒක මම හරියටම කියන්න දන්නෙ නැහැ. සිතාරය නම් මට මේ ගීතය තුළ ඇහෙනවා. 

කවියට ගීතයට සාහිත්‍යයට වඩා පරිගණකයට තාක්ෂණයට ආදරය කරන පරපුරක් අද අපි අබිමුව ඉන්නේ... මම හිතන්නේ අද්‍යතනයේ ඔබ මම දකින යථාර්ථය ඒක. ඒ පරපුරට රසවින්දනය ගැන ඔබ කියා දෙන්නේ කොහොමද? සාහිත්‍යයට කවියට ගීතයට ආදරය කරන්න කියන ඉල්ලීම ඔබ ඔවුන්ගෙන් කරන්නෙ කොහොමද?
මෙවැනි ප්‍රබල සංධ්වනියක් දනවන ගීත වර්තමානයේ නිර්මාණය වෙන්නෙම නැති තරම්.. නිර්මාණය වුණත් හරි කලාතුරකින්. ඒකට මූලිකම හේතුවක් තමා සාහිත්‍යයට ඇල්මක් බැල්මක් නැතිකම. අනිත් කාරණය සතතාභ්‍යාසය හා ව්‍යුත්පත්තිය කියන ගුණයන්ගේ හීනකම.

මේ ගීතයේ සිඳ බිඳ මොහදර පාප.. දැල් වූ දහම් ප්‍රදීප.. කියලා ගයද්දී ඒ ගායනය තුළ උච්චතම ඉසව්වකට අමරදේවයන් අපි කැටුව යනවා.. රාග සම්මිශ්‍රණය මේ තැන්වලදී යොදාගන්න හැටි වෙනම නිමැවුමක්... කෝ දැන් මෙහෙම ගීත. ශාස්ත්‍රීය කියන රාමුවෙනුත් එහා ගිය මානයක නැවතුණු ගීත... මම විශ්වාස කරනවා ලෝකයට ආදරය පරාර්ථය පරිත්‍යාගය කෘතවේදීත්වය ගැන කියා දෙන්න ඉස්සර ඔවුන්ට කලාව සහ කලාවේ අරමුණු පරමාදර්ශ ගැන කියා දිය යුතුයි. කලාව හා හදවතින් බැඳුණු, සංවේදී වුණු සොබාදහම කෙරේ හිතවත් වුණු මිනිසුන් මේ ලෝකයට ආදරය කරන මිනිස්සු ලෙසයි මම දකින්නේ.