2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කෙල්ලෙකුට හිත ගියේ හතර වසරේදී ....

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 378

යෂ්.. මේ දවස්වල මොනවද කරන්නේ?
පහුගිය දවස් ටිකේම ගෙදරමයි හිටියේ. මුකුත් වැඩ ආවේ නැහැ. Bro ටෙලිනාට්‍ය නිසා වෙනත් වැඩ හතරක් විතර මට miss වුණා. මම Bro ටෙලිනාට්‍යයේ රඟපාන්නේ වෙනස්ම චරිතයක්. මගේ පෙනුම පවා වෙනස්. ඒ පෙනුම සැරෙන් සැරේට වෙනස් කරන්න මම කැමති වුණේ නැහැ. කොහොමටත් මම එකපාර උපරිම වැඩ දෙකයි බාරගන්නෙ. ඒ මගේ හැටි. Bro ටෙලිනාට්‍ය දැන් විකාශනය වෙනවා. ඒකෙ කේෂර කියන ප්‍රධාන චරිතය තමයි මම කරන්නෙ. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ ඩිලාන් වික්‍රමකීර්ති. නිෂ්පාදනය කරන්නේ ගයාන් දිනේෂ් පෙරේරා. මම මෙතෙක් කරපු චරිතත් එක්ක මේක වෙනස්ම චරිතයක්. මෙච්චර කාලයක් මම හොඳ ළමයාගේ චරිත, අහිංසක පෙම්වතා, සෙල්ලක්කාර චරිත තමයි කළේ. Bro ටෙලිනාට්‍යයේ කේෂර කියන්නෙ වෙනස්ම චරිතයක්. එක තැනකදීවත් මගේ හිනාවක් නැහැ. කතා කරන්නෙත් වචනයක් හෝ දෙකක් විතරයි. මේක මම සෑහෙන කැපවීමක් කරපු චරිතයක්. Bro කොටස් සීයක් විකාශනය වේවි.  

ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද?

මගේ ජීවිතේ පටන් ගත්තේ පවුලේ දෙවැනියා විදිහටයි. මම පවුලේ දෙවැනියා. මට අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ නමින් 1992.04.27 වැනිදා මගේ ජීවිතේ ආරම්භ වුණා.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පොඩි කාලේ, දන්නා කාලේ ඉඳන්ම රඟපාන හීනය මට තිබුණා. ටීවී එකෙන් දැකපු දේවල් වගේම පවුලේ වටපිටාවත් ඒකට බලපාන්න ඇති. ලොකුඅම්මාගේ (ගීතා කාන්ති ජයකොඩි), අක්කාගේ (පබෝදා සංදීපනී) රඟපෑම් දැකලා ඒ ආසාව වැඩි වුණා. ඒ ආසාව ඇඟෙත් තිබුණා. ඔය අතරේ පොඩි කාලෙදී ඔයා කවුරු වෙන්නද ආසා කියලා කවුරු හරි අහද්දී &මම ඉංජිනේරුවෙක් වෙනවා කියලා ඒ කාලෙදී කිව්වා. ඒ නිසා ඒකටත් ආසාව තිබුණා. නළුවෙක් වෙන ආසාවත් තිබුණා.

ඒ හීනවල හැරවුම වුණේ කොතැනද?
නළුවෙක් වෙන්න මම සෑහෙන කට්ටක් කෑවා. පොඩි පොඩි චරිත කළා. ලොකුඅම්මා එක තැනකට මාව එක්කගෙන ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකකට දැම්මා. හැබැයි අවස්ථාවක් නැතිව මම බලාගෙන හිටපු කාලයක් තිබුණා. 2015 දී තමයි ලොකුඅම්මා මුලින්ම මාව ස්ක්‍රීන් ටෙස්ට් එකකට දැම්මේ. මම හිතන විදිහට මගේ කලා ජීවිතේ හැරවුම වුණේ ධනුෂ්ක අයියගේ (ධනුෂ්ක රත්නායක) වෙස් ටෙලිනාට්‍යයයි. ඒකෙ මාධවගේ චරිතයෙන් තමයි ටිකෙන් ටික මාව මිනිස්සු අතරට ගියේ. ඊටපස්සේ රාවණ ටෙලිනාට්‍යයෙන් මාව සෑහෙන්න පත්තුවීමක් වුණා.

පාසල් ජීවිතේ මොනවගේ චරිතයක්ද?
මම පාසල් දෙකක ඉගෙන ගත්තා. මුලින්ම බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලයටත් පසුව බෝමිරිය ජාතික පාසලටත් ඇතුළත් වුණා. එක වසර සිට හතර වසර දක්වා මම පන්ති නායකයා වුණා. හත වසර සිට නවය වසර දක්වා ශිෂ්‍ය නායකයෙක් වුණා. දහය වසරේදී උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා. 11 වසරේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. ඒ නිසා දැඟලිල්ල තිබ්බත් බොහොම අමාරුවෙන් ඒ දඟ වැඩ පාලනය කරගෙන හොඳ ළමයෙක් විදිහට පාසලේ හිටියා.

පාසලේදී දඟ වැඩ කරපු යෂ්ට පාසල් ජීවිතේ අමතක නොවුණු සිදුවීම් ඇති?
අම්මෝ ගොඩක් තියෙනවා. එක දවසක් බුද්ධ ධර්මය උගන්වන පීරියඩ් එක කට් කරලා අපි පිට්ටනියේ ක්‍රිකට් ගැහුවා. අපිට පන්තියට එන්න කියලා පණිවිඩ දෙකක් එව්වත් අපි ගියේ නැහැ. ටික වෙලාවකින් හාමුදුරුවෝ අපි ඉන්න තැනට වැඩියා. හාමුදුරුවෝ මගේ ළඟින්ම හිටියත් මාව දැක්කෙ නැතිව වගේ හිටියද මන්දා.. මට මුකුත් කිව්වේ නැහැ. මම හෙමිහිට එතන මඟහැරලා පන්තියට ගිහින් වාඩි වුණා. පිට්ටනියේ හිටිය යාළුවෝ ඔක්කොටම හාමුදුරුවෝ ගැහුවා. පන්තියට ආපු හාමුදුරුවෝ... ආ.. උඹ කොහෙන්ද මෙතනට ආවේ* කියලා ගුටි කාපු අනිත් උන්ට වඩා මට ගහලා ඔෆිස් එක ඉස්සරහ දණ ගැස්සුවා. පැය තුනක් විතර මම එදා දණ ගහගෙන හිටියා. එදා අපේ අම්මා ඉස්කෝලෙට ඇවිත් හිටියා. මගේ යාළුවන්ගේ හොඳකම කියන්නේ අම්මව එක්කගෙන ඇවිත් මාව පෙන්නුවා. ගෙදර ගියාම අම්මත් හොඳට දෙසුවා.

ජීවිතේ මුල්ම වතාවට මධුවිතක් පානය කළේ කවදාද?
ඇත්තම කියන්නම්. ජීවිතේ මුල්ම වතාවට මම මත්පැන් බිව්වේ මේ කොරෝනා නිසාම තමයි. කොවිඩ් නිසා අපේ කලාකරුවන් කිහිප දෙනෙකුටත් නිරෝධායනය වෙන්න සිද්ධ වුණානෙ. ඉතින් දවසක් මට ඒ එක කලාකරුවෙකුත් එක්තරා වැඩසටහනකදී මුණගැහිලා තිබුණා. ඒ නිසා අපිට නිරෝධායනය වෙන්න කියලා නොකිව්වත් මාත් ටික දවසක් ගෙදරටම වෙලා හිටියා. දවසක් පොඩි උගුර කැසිල්ලක් ආවාම මම බය වුණා. එදා තාත්තා විස්කි එකක් ගෙදර ගෙනත් තිබුණා. මම ඒවායෙන් මූඩියෙන් එකක් බිව්වා. ඒක තමයි මම මත්පැන් බීපු මුල්ම දවස වුණේ. අම්මෝ.. එදා නම් මට ඒක එපාම වුණා. මුළු උගුරම පිච්චිලා ගියා වගෙයි දැනුණෙ. ආයෙත් නම් බොන්නෙ නැහැ.

ප්‍රථම ප්‍රේමය ගැනත් කියමු?
මට හතර වසරේ ඉගෙන ගනිද්දී කෙල්ලෙක්ට මගේ හිත ගියා. හැබැයි ඒක ආදරයක්ද මොකක්ද කියලානම් මම දන්නෙ නැහැ. එයා ඉන්න තැනට යන්න හරි ආසයි. එයාව දකින්න හරි ආසයි. ඒක එහෙම්ම නැතිවෙලා ගියා. මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේනම් නවය වසරේ ඉගෙන ගනිද්දී. ඒක දහය වසර වෙද්දී ඉවර වුණා. ඒ ගැහැනු ළමයගේ තාත්තාට අපේ වැඩේ මාට්ටුවෙලා පන්තිභාර ගුරුතුමියට ඇවිත් කිව්වා. ඉතින් නතර කළා.

අද වෙද්දී පෙම්වතෙක්.. එහෙමද?
නැහැ. මම දැන් පෙම්වතෙක් නෙමේ. මම ගැහැනු ළමයි තුන් දෙනෙකුට ආදරේ කරලා තියෙනවා. ඒකෙන් තුන්වෙනි ආදරය මගේ හිතට තදින්ම දැනුණා. දැන්නම් මම පෙම්වතෙක් නෙමේ.

යෂ්.. ජීවිතේදී නළුවෙක් කියලා හිතුණේ කවදාද?
පොඩි කාලෙදීම මම නළුවා කියලා හිතුණා. අපේ සීයලා වුණත් මූ හෙන නළුවා කියලා තමයි කිව්වේ. හැබැයි රංගනයට එකතු වුණාට පස්සේ මම මුලින්ම රඟපෑවේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ පාරා වළලු කියන නාට්‍යයෙයි. ඒකෙ සහාය අධ්‍යක්ෂක ධනුෂ්ක එන්. පෙරේරාට තමයි ලොකුඅම්මා මාව මුලින්ම ගිහින් පෙන්නුවේ. ඒ සහාය අධ්‍යක්ෂකවරයාම තමයි මම මේ ප්‍රධාන චරිතයක් රඟපාන Bro ටෙලිනාට්‍යයෙත් සහාය අධ්‍යක්ෂකවරයා වෙන්නෙ. ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීමත් මට හරි සතුටක්. පාරා වළලු ටෙලිනාට්‍යයේ බොහොම පොඩි චරිතයක් තමයි මම  රඟපෑවේ. හැබැයි ඒක විකාශනය වෙද්දී මිනිස්සු වැඩිපුර ඉන්න තැන්වලින් මම වැඩිපුර එහාට මෙහාට ගියා මාව අඳුරගනීවිද කියලා බලන්න. හැබැයි එහෙම අඳුරගත්තෙ නැහැ. මාව හඳුනාගෙන මාත් එක්ක මිනිස්සු වැඩිපුර කතා කළේ ධනුෂ්ක රත්නායකගේ වෙස් නාට්‍යයෙන් තමයි.

ජීවිතේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු මුල්ම මුදල මතකද?
උසස් පෙළ කරලා ඉවර වුණු ගමන්ම මට රස්සාවක් කරන්න ඕනෙ කියලා හිතුණා. මම එක අයියා කෙනෙක්ට කියලා ජංගම දුරකථන සේවා ආයතනයකට එකතුවෙලා ඒකෙ සිම් වික්කා. දවස් පහළොවකින් විතර මට මගේ මුල්ම පඩිය ලැබුණා. ඒ රුපියල් හයදහස් පන්සීයක්. ඒකෙන් මම ගෙදරට ලොකු කේක් එකක් ගෙනිච්චා. ඉතුරු සල්ලි ඔක්කොම මම මගේ අම්මට දුන්නා. හැබැයි අම්මා ඒ සල්ලි ගත්තෙ නැහැ. ඔයාම තියාගන්න කියලා කිව්වා.

අද හම්බකරන සල්ලිවලින් වැඩිපුර කරන්නෙ මොනවද?
මම මගේ ගෙදරට වියදම් කරනවා. ඒ වගේම මම ගෙයක් ගැනීම වෙනුවෙන් යම්කිසි මුදලක් ඉතිරි කරනවා. වාහනයට වියදම් කරනවා.

ජීවිතේ තමන්ගේම කියලා සොයාගත්තු මුදලින් මිලදී ගත් වටිනාම දේ මොකක්ද?
මගේ වාහනය තමයි. මම පළවෙනි වාහනය ගත්තේ මීට අවුරුදු දෙකකට කලිනුයි. මගේ ඒ මුල්ම වාහනය ගනිද්දී මට ඩ්‍රයිවින් කරන්නවත් බැහැ. එක්තරා නාට්‍යයක නිෂ්පාදකවරයෙක් මට පන්නිපිටියේ ඉඳන් කඩුවෙලට ට්‍රාන්ස්පෝට් දෙන්න බැහැ කියලා මාව දවසක් තලවතුගොඩදී බැස්සුවා. ඒක මට හිතට දැනුණා. ඒ වගේම මම තව ඩ්‍රාමා එකකට ගියාම මට ඩ්‍රයිවින් බැහැ කියලා මාව මානසිකව වැට්ටුවා. ඒ නිසාම &මම කොහොම හරි වාහනයක් ගන්නවා* කියලා හිතාගත්තා. මම මුලින්ම ෆිනෑන්ස් කරලා වාහනයක් ගත්තා. මම තව අයියා කෙනෙක් එක්ක ඒ වාහනය කොට්ටාවෙන් බලලා ගෙනත් මගේ යාළුවෙක්ගේ හොටෙල් එකක නතර කළා. මම රූ තාත්තා වැඩ ඇරිලා එනකම් ඉඳලා තාත්තව හෝටලයට එක්කගෙන ඇවිත් තාත්තා.. මම වාහනයක් ගත්තා කියලා යතුර තාත්තට දුන්නා. එදා තාත්තා හරියට සතුටු වුණා. තාත්තම තමයි මගේ ඒ වාහනය මුලින්ම ගෙදරට අරගෙන ගියේ. 

ඊළඟට තියෙන බලාපොරොත්තුව මොකක්ද?
මට මගේම කියන ගෙදර හදන්න ඕනෙ. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා. ඒ වගේම මම Audio, Video කරන හැම දෙයක්ම තියෙන ලොකු ස්ටූඩියෝ එකක් දාන්න ආසයි. මම ඒකත් කවදා හරි දවසක කරනවා.

 

                      සේයාරූ I සුමුදු හේවාපතිරණ