2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

රැකවරණෙට පිරිමියෙක් මොකටද?

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 175

අද හදසර තනිකඩයා විශේෂාංගය වර්ණවත් කරන්නේ ප්‍රවීණ වේදිකා, රූපවාහිනී හා සිනමා චරිතාංග රංගන ශිල්පිනී දීපානි සිල්වා.

• ඔබ මේ දවස්වල හුදෙකලා වෙලාද ඉන්නෙ?
අපිව ලේසියෙන් හුදෙකලා කරන්න බැහැ. හැබැයි ඉතින් මේ දවස්වල පවතින වසංගත තත්ත්වය නිසා මම කළුතර මහ ගෙදරට වෙලා ඉන්නවා. මේ වගේ කාලෙක හරි ප්‍රවේසමෙන් හා වගකීමෙන් ජීවත් වෙන්න ඕනෙ. හදිසියේ මට වෛරසය වැළඳුණොත් අපේ ගෙදර හැමෝම, අවට ඉන්න හැමෝම, මම ආශ්‍රය කරපු හැමෝම විඳවන්න වෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම අපහසුතාවය. ඒ ගැන හිතලා මම හුඟාක් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා.

• හුදෙකලාවත් එක්කම එන තනිකම, තනිකඩ කෙනෙකුට දැනෙන්න කොහොමද?
මම කවදාවත් තනිකඩත් නැහැ, මට තනිකම දැනිලත් නැහැ. මම කවදාවත් තනිකඩව ඉඳලත් නැහැ. මම ජීවත් වෙන්නෙ මං විසින්ම උපයන දේවල්වලින්. මම ජීවිතේ හැම දෙයක්ම තනියෙන් භුක්ති විඳින කෙනෙක්. මම ජීවත් වෙන්නෙ හැමෝමත් එක්ක. පිරිසක් එක්ක. ගෙදර හිටියත් සහෝදර සහෝදරියො එක්ක. රූපගත කිරීම්වලට ගියත් එහෙමයි. මට තනිකම ඇත්තටම විඳින්න ඉඩ ලැබෙන්නෙම නැති තරම්. 
තනිකම කියන්නෙ මානසිකව අපි හිතෙන් හදාගත්ත දෙයක්. මනුස්සයො හැටියට අපි නොයෙකුත් ආකාරයට මේක විඳිනවා.

• විවාහය කියන සංකල්පය ගැන ඔබ මොනවද හිතන්නෙ?
දෙන්නෙක් එකට ජීවත් විය යුතුයි කියලා සම්මතයක් තියෙනවනෙ. ඉතින් රට තුළ ලියාපදිංචි කරලා අත්සන් කරලා කොළයක් දෙනවා දැන් ඔය දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් කියලා.
අපි මේ ලෝකෙට බිහිවුණාට පස්සෙ රට තුළ අපිව ලියාපදිංචි කරලා අපට උප්පැන්න සහතිකයක් දෙනවා. එතකොට අපිට මේ රටේ ජීවත් වෙන්න සම්පූර්ණ අයිතිය ලැබිලා ඉවරයි. ඒ නිසා තව කෙනෙක් එක්ක ජීවත් වෙන්න කොළයක් අවශ්‍ය දෝ කියලා මට හිතෙනවා. කාටත් කරදරයක් නැතුව යුක්ති සහගතව අපි ජීවත් වෙනව නම් අමුතුවෙන් නීති රීති අවශ්‍ය වෙන්නෙ නැහැ ජීවත්වීමේ අයිතියට. එක් කෙනෙක් එක්ක ජීවත් වෙන්න වුණත් තුන් දෙනෙක් එක්ක ජීවත් වෙන්න වුණත්.

• තනිකඩව ඉන්න එක ඔබේ තෝරාගැනීමක්ද, නැත්නම් ඔබට එහෙම ඉන්න සිද්ධ වුණාද?
මේක මගේ නිදහස. රටේ සම්මතයට අපි ගරු කරන්න ඕනෙ. විවාහය කියන එකටත් ගරු කරනවා. විවාහය කියන්නෙ එක් කෙනෙකුට එක්කෙනෙක් කැපවෙලා, විශ්වාසවන්තව, ආදරෙන් දෙන්නෙක් එකට ජීවත් වෙන එකටනෙ. එහෙම වෙනවා නම් හොඳයි ඉතින්. නමුත් අපි දකිනවා විවාහ සංස්ථාවෙ සමහරු මූණ දෙන පුශ්න, මත ගැටුම් වගේ දේවල්. එදා ඉඳන්ම මට නිදහසේ ජීවත් වෙන්න අඩිතාලමක් තිබුණා. ගෙදරින් මට විවාහ වෙන්න කියලා බලපෑම් ආවෙත් නැහැ. ඒ වගේම මට එදා ඉඳන් ලොකු බලාපොරොත්තු, හීන තිබ්බෙත් නැහැ.

මම සමාජයට ආවෙ නාට්‍ය හරහා. සමාජයට මම විවර වුණෙත් නාට්‍ය තුළින්. සමාජෙ ගොඩාක් දේවල්, විවිධ ප්‍රශ්න දකින්න, අහන්න, විඳින්න ලැබුණා. දෙන්නෙක් එකතුවෙලා ජීවත් වෙන්න ඕන නැහැ කියන එක මට දැනුණෙ ඒ කාලෙ. මගේ නිදහස් සිතුවිලිත් එක්ක ආපු එකක් වෙන්න ඇති ඒක. විවාහයක් ඇත්තටම ලියාපදිංචි කරන්නෙ අයිතියක් ප්‍රකාශ කරන්නනෙ.

• විවාහයක් කියන්නෙ දෙන්නෙක් එකතුවෙලා ජීවිතේ දුක සැප බෙදාගන්න එකට නම්, අවිවාහකව ඉන්නවා කියන්නෙ තමන්ගෙ දුක තමන් විතරක් විඳ දරාගෙන ඉන්න එකටද?
විවාහ නොවුණා කියලා තනියම ජීවිතේ විඳවන්න අවශ්‍යතාවයක් එන්නෙ නැහැ මිනිස්සුත් එක්ක හොඳින් ජීවත් වෙනවා නම්. අවිවාහකව හිටියත් අපි ගෙදර සාමාජිකයින් එක්ක දුක සැප බෙදාගන්නවා. කලා ක්ෂේත්‍රයෙත් අපි එහෙමයි ඉන්නෙ. මේ කාලෙ වුණත් කතා කර කර අපේ දුක සැප හොයාබලන අය ඉන්නවා.

• අනාගතේ ගැන, ආරක්ෂාව ගැන හිතෙද්දි බයක් දැනෙන්නෙ නැද්ද?
මිනිස්සු සමහරවිට හිතනවා ගෑනියෙක් කසාද බඳින්න ඕනෙ ආරක්ෂාව වෙනුවෙන් කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇයි පිරිමියෙක් බැඳගෙන පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්නෙ? මගේ ආරක්ෂාව ගැන මට කිසිම බයක් නැහැ. මම ජීවත් වෙන රටාව ගැන, මම වැඩකරන රටාව ගැන මට විශ්වාසයි. නමුත් කාන්තාවක් හැටියට මම මේ ක්ෂේත්‍රයට ආපු කාලෙ ක්ෂේත්‍රයෙ අයගෙන් නෙවෙයි, පිට අයගෙන් මට විශාල වශයෙන් යම් යම් පීඩාවන්ට, හිංසනයන්ට පත්වෙලා තියෙනවා. ඒ සිද්ධි ගැන මම මේ තාක්කල් කාටත් කියලත් නැහැ.

• කැමරාව ඉදිරයේ බිරියක්, මවක් හැටියට රඟපාන කොට හැබෑ ජීවිතේ එහෙම වෙන්න හිතිලම නැද්ද?
රඟපාන්න ගියාම අපිට අයිති නැති දේවල්නෙ කරන්න සිද්ධ වෙන්නෙ. මම හැබෑ ජීවිතේ මේ හැමදෙයක්ම විඳලා තියෙනවා කිව්වොත් වැරදිත් නැහැ. විශේෂයෙන් මවකගෙ චරිතයක් රඟපාන කොට දරු සෙනෙහස කියන දේ ගෑනියෙකුට ඉබේම එන දෙයක්. මගේ සහෝදර සහෝදරියන්ගෙ දරුවො, මම බොරලැස්ගමුවෙ නැවතිලා ඉන්න ගෙදර යාළුවගෙ දරුවො, එසේම මට මගේ දරුවො වගේ තමයි. ඒ අයත් මාත් එක්ක එහෙමයි. ඒ ගොල්ලන්ගෙ දුක, සැප මට දැනෙනවා. වෙලාවකට මට හිතෙනවා දරුවෙක් වදාපු නැති මට මෙහෙම දැනෙනවා නම්, මගේ යාළුවාට කොච්චර දැනෙනවා ඇතිද කියලා.

රඟපාන්න ගියාම එහෙම හිතෙන්නෙ නැහැ කියන්න බැහැ. ගැහැනියක් හැටියට ආසම දේ තමයි මාතෘත්වය ලබන්න. ඒත් අපේ රටේ නම් රෙජිස්ටර් වුණේ නැත්නම් මාතෘත්වය ලබන්න අයිතියක් නැහැ. 
බිරිඳගෙ චරිතයක් රඟපානකොට හිතෙනවා මගේ සැමියෙක් හිටියා නම් මම මෙහෙමයි කරන්නෙ කියලා. එහෙම සැමියෙකුගෙන්, පිරිමියෙකුගෙන් ආදරයක් මට හැබෑ ලෝකෙ නොලැබුණත් පිරිමි පක්ෂයෙන් මට ගොඩාක් ආදරය ලැබෙනවා. ඒ අතර ඉන්නවා මගේ හොඳම යාළුවො, මට දැනෙන මාව දැනෙන විශ්වාසවන්ත අය. හැබැයි එහෙම සමීපව යාළුවො ඇසුරු කළාම සමාජෙන් කතන්දරත් අහන්න වනෙවා. මට නම් එහෙම කතන්දර හැදිලා නැහැ. නමුත් මම ආදරය කරලා තියෙනවා හිතවත් වෙලා තියෙනවා.

• අවිවාහකව ඉන්න අදහස් කරන අයට ඔබ යම් උපදෙසක් දෙන්න කැමතිද?
උපදෙසක් කියලා දෙන්න විදිහක් නැහැ. ඒක තමන් දැනගන්න ඕනෙ. සමාජෙ අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් තනියම නැගී සිටින්න. අවිවාහකව ඉන්නවා නම් ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත් සාධකයක්. අපි වුණත් අද බය නැතුව ඉන්නෙ ඒ නිසා.