2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

කියන්නට දෙයක් මිස අසන්නට කිසිත් නැත...

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

කන්න යමක් ළඟට ලැබෙන කෙනෙකුට බඩගින්න කියන්නෙ වේදනාවක් නොවුණාට... හම්බකරගෙන කන්න මාර්ගයක් තියෙන කෙනෙකුටත් බඩගින්න කියන්නෙ වේදනාවක් නොවුණාට, බඩගින්න නිවාගන්න යමක් කන්න යමක් උපයාගන්න විදිහක් නැති දුප්පත් අසරණයෙකුට බඩගින්න කියන්නේ මහා වේදනාවක්. ජීවිතයේ එකම එක දවසක් හරි ඒ වේදනාව විඳලා තියෙන කෙනෙක් තව කෙනෙක්ගේ බඩගින්න ළඟ සංවේදී නොවී ඉන්න එකක් නෑ කියලා හිතුවත් මුල් මරලා දාලා ජීවිතය පැළ නොකර පාකර හරින මිනිස්සුන්ට තව කෙනෙක්ගේ බඩගින්නක වේදනාව අඳුරගන්න තරම් මනුස්සකමකට හිතේ ඉඩ ඉතුරු වෙන්නෙත් නෑ.. පුංචි පැටවු දෙන්නෙක් ඉන්නවා. තමන්ගේ ගෙවල් ළඟ තියෙන මහ ගහක කපුටු කූඩුවක කපුටු බිත්තර කඩලා අමුවෙන් බොනවා උන් බඩගින්නට.. කපුටු කූඩුව ඇතුළේ කුපුටු බිත්තර හිස් නොවුණු දවසක් කියන්නේ උන්ට රජ මඟුලක්.. උන්ගේ ජීවිත ඇතුළේ උන් නොකියන කතාන්දර ගොඩක් වෙනුවෙන් එදාට ඒ මූණක පිපෙන හිනාව මහා සාක්ෂියක්. හැබැයි ඉවසන්න බැරි බඩගින්න ළඟ වුණත් ඒ දරු පැටවුන්ගේ හදවත් ඇතුළේ මහා ආදරයක්, මනුෂ්‍යත්වයක් සහ පරාර්ථයක් උන් ඉතුරු කරගෙන තියෙනවා. නැත්නම් හරිහම්බ කරගෙන තියෙනවා. උන් හැමදාම කිරිල්ලිට රකින්න බිත්තරයක් ඉතුරු කරලා තමයි බිත්තර කන්න ගන්නෙ.. ඒ කිරිල්ලිට වේදනාවක් නොදෙන්න.. මොකක් හරි බලාපොරොත්තුවක් කිරිල්ලිගේ අයිතිය හා ජීවිතය වෙනුවෙන් ඉතුරු කරන හිතුවිල්ලෙන් නේද කියලා මට හිතෙනවා...

මම මේ ඔයා එක්ක කතා කරන්නෙ එම්. මනිකන්දන්ගේ Kaaka Muttai කියන දමිළ චිත්‍රපටය ගැන.. ඒ අය දුප්පත් කියන කුලකයේ ඉහළින්ම ඉන්න දුප්පතුන්... මේ දරුවෝ දෙන්නාගේ තාත්තා හිරගෙදර. වයසක ආච්චියි අම්මයි තමයි දෙන්නගේ ජීවිතයට තියෙන එකම හව්හරණ. ආච්චි හදලා දෙන රොටියට වඩා කෑමක් ගැන උන් දන්නෙ නෑ... මේ ලෝකයේ අතිශය නිර්ධන පන්තියේ දරුවන්ගේ ඛේදවාචකයක් ගැන මේ චිත්‍රපටය තුළින් හරි ප්‍රබල හා සානුකම්පිත ලෙස නිරූපණය කරනවා...
උන් කවදාවත් රොටියට වඩා දෙයක් තියා අම්මට දෙන්න බැරිනම් රොටියවත් කන්න ඉල්ලන්නෙ නෑ... එදාට තමා මේ අයියයි මල්ලියි අර කපුටු කූඩුව තියෙන ගහ හොයාගෙන යන්නේ. ඒත් එක දවසක් මේ ප්‍රදේශයේ බලවතකුගේ වුවමනාවට අර ගස කපලා දානවා...

එදා ඒ දරු පැටවුන්ගේ මුළු ලෝකයම කඩා වැටෙනවා. ඒ ගහ උන්ගෙ බඩගින්න නිව්ව තැනක්... මහා දෙයක් දීලා නොවෙයි කපුටු බිත්තරයකින්.. හැබැයි උන්ට ඒ දේ ඒ දුක ඒ ප්‍රශ්නය කියන්න කෙනෙක් නෑ... උන් හූල්ලන බව නොකීවත් අඳුරගන්න කෙනෙකුත් උන්ට නෑ.. ඒ මහ ගහ කඩාවැටෙන වෙලාවේ උන්ට දැනෙන්නේ උන්ගේ හුස්ම ටික නවතිනවා වගේ... මෙච්චර කාලයක් උන්ට කපුටු බිත්තරයක් හරි දෙන්න හිටියේ ඒ ගහ විතරයි... උන්ගේ දුක සැප බෙදාගන්න කෝටි ගණනක් මිනිස්සු ඉන්න මේ ලෝකයේ එකම එක මනුෂ්‍යයෙක් උන්ට හම්බවුණේ නෑ... ඒත් ස්වභාවධර්මය පුළුවන් විදිහකින් උන් ගාව ඉන්නවා වගේ හැඟීමක් ඒ ගහ උන්ට දීලා තිබුණා... ඒ ළෙන්ගතුකමත් හව්හරණත් මිනිස්සු මහා පව්කාර විදිහට උදුරලා දානවා... උන්ට හිතුණෙ දැනුණෙ එහෙම.. 

දවසක් උන් දැනගන්නවා පීසා කියලා කෑමක් මේ ලෝකයේ තියෙන විත්තිය. එදා ඉඳන් උන්ගේ ජීවිතයේ ලොකුම අරමුණ වෙන්නෙ පීසා එකක් කන එක.. මුන් පීසා කන්න සල්ලි එකතු කර ගන්න ගල් ප්‍රවාහනය කරන කෝච්චියකින්  රේල් පාරට වැටෙන ගල් ටික එකතු කරලා විකුණනවා. බර වැඩ කරද්දි අත්උදව් දෙනවා. මේ විදිහට කාලයක් තිස්සෙ පීසා එකක් කන්න එකතු කර ගත්ත සල්ලි ටික අරගෙන මේ පැටවු යනවා පීසා හලකට. ඒත් නාවර පෙරාගත්ත මේ පැටවුන්ට ඒ සුපිරි පීසා අවන්හලේ දොරටුව තහනම්... ඒ විතරක් නෙවෙයි උන්ව එළවලා දාන්නේ බැණ වදිමින් පහර දෙමින්.. මෙය රෑප රාමු සහිත රටේ ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා. අවසානයේ මේ සුපිරි පීසා හලේ කළමනාකාරීත්වය තමන්ගේ කීර්තිනාමයට වෙච්චි හානිය මකාගන්න ලස්සන නාට්‍යයක් නිර්මාණය කරනවා... විශාල පිරිසක් කැඳවලා තමන්ගේ මනුෂ්‍යත්වය පෙන්වන්න පුදුම මහන්සියක් ගන්නවා.

අර පැටවු දෙන්නව ගෙන්වලා ඔවුන්ට ඉස්තරම් ලෙස සැකසූ පීසා පිළිගන්වනවා.. අන්තිමේදි පීසා කන දරුවන්ට හිතෙනවා මේක මේ හිතන තරම් රස කෑමක් නෙවෙයි නේද කියලා... උන් අන්තිමට මොකද්ද දන්නවද කියන්නේ.. අපේ ආච්චිඅම්මා හදන රොටී මීට වඩා රසයි නේද කියලා...

මිනිස්සු ලෝකයේ මොන මොන හීන පස්සෙ ගියත් තමන්ගේ මුල්වලට ආදරය කරන මොහොතක් එනවා.. ඒක හරි ගැඹුරු යථාර්ථයක්. අර දුප්පත් රොටිය ඇතුළේ තිබුණු ආදරය දයාව මේ පොහොසත් පීසා එක ඇතුළේ නෑ කියලා උන්ට හිතෙන සිතුවිල්ල හරි ගැඹුරුයි...

අපි පය ගහලා ඉන්න ලෝකය තුළ ඔයා ටිකක් ඇවිදලා බලන්න, මිනිසා මානවවාදී හැඟීම්වලින් කොච්චර දුරස් වෙච්ච තැනකද අද ඉන්නෙ කියලා... මිනිසාට මිනිසාව හුඟාක් මඟහැරිලා... මානව බන්ධනයන් තාක්ෂණය කියන කාරණයත් එක්ක වුවමනාවටත් වඩා ගැටගැහිලා... ළඟම ඉන්න අය මහා දුරක ඉන්න අය බවට පත්වෙලා.. ගනුදෙනු හරිම සීමාසහිතයි සහ හරිම ලඝුයි.. මිනිසුන් පුදුමාකාර විදිහට මිනිසුන් තුළම හුදෙකලා වෙලා... ඒ හුදෙකලාව තුළ අනෙකාගේ සුසුමක සීතල, බඩගින්නක වේදනාව නොදැනෙන ආත්මාර්ථයක හුඟාක් මිනිස්සු ජීවත් වෙන්නේ... ඒ ඛේදවාචකයේ තිත්ත රස තමා අර පුංචි දරුවන් උන්ගේ ජීවිත තුළදී අනුභව කරන්නෙත්...

ආදරය ඉල්ලන, හව්හරණ ඉල්ලන තැනකදි ඒ ඉල්ලන දේ දෙන්න කෙනෙක් කෙනෙකුට ඉන්න ඕනෑ... ඒක හරිම සියුම් සංවේදී කාරණාවක්... සල්ලිවලින් සැප ලබන්න පුළුවන් ඒත් සල්ලිවලින් සතුට මිලදී ගන්න බෑ... ඒ තමා තිත්ත යථාර්ථය.. ඒත් අපි නොදැනීම එකම ගමනාන්තයක් හොයන ගමනක තරගකරුවන්.. අපිට බැරි ඇයි ඒ තරගයෙන් ඉවත්වෙලා ජීවිතය ගැන වන්දනාවක යෙදෙන වන්දනාකරුවන් අතළොස්සක් අතරට එකතු වෙන්න... Kaaka Muttai මගේ හිත අවසානයේ නතර කළේ ඒ හිතුවිල්ල ළඟ...