2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

සමරිසි හින්දද බඳින්නෙ නැත්තේ? එහෙම හිතන අයත් ඉන්නවා

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 290

අද හදසර තනිකඩයා තුළින් ඔබ හමුවන්නේ ජනප්‍රිය ඡායාරුප ශිල්පී හා රංගන ශිල්පී 
උදේනි අල්විස්.

• මේ ගෙවන තනිකඩ ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
ඇත්තට හරිම නිදහස්. හරි සොඳුරුයි. විවාහ ජීවිතයක් ගත කළාම වගකීම් වැඩියිනෙ. මේක වගකීම් නැතුව නෙවෙයි. තමන් විසින් තමන්ට යොදාගත් වගකීම් කොටසක් තියෙනවා. හැබැයි විවාහවෙලා ඉන්නවට වඩා හරි නිදහස්. මේකෙ බැඳිම් නැතුව නෙවෙයි. මූලිකවම තමන්ට තමන් බැඳිලා ඉන්නවානෙ.

• ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ ඇයි?
ඇත්තටම දැනුම් තේරුම් තියෙන කාලෙ මම තිරණය කළා මම අවුරුදු 28දී කසාද බඳිනවා කියලා. 28දී බැරි වුණොත් අවුරුදු 32ට කලින්. ඒත් හරි රස්සාවක් නැති නිසාත්, වෙනත් ප්‍රශ්න ගණනාවක් තිබුණ නිසාත් මට ඒ ඉලක්කයට යන්න බැරිවුණා. මම කැමති වුණේ නැහැ ගෑනියෙක් ගෙනත් එයාට මගේ මව්පියන් ලවා කන්න බොන්න දෙන්න

• ඔබට ඒ කාලෙ ප්‍රේම සම්බන්ධකම් තිබුණෙ නැද්ද?
අපෝ තිබුණා. ඒත් ඒවට විවිධ ප්‍රශ්න මතුවුණා. ගෙදරින් නම් මට කිසිම බලපෑමක් තිබුණෙ නැහැ. කාලයත් එක්ක මම ජනප්‍රිය වුණා. රසිකාවියන්ගෙන් ලියුම් ගොඩාක් එන්න පටන් ගත්තා. මගේ අම්මා ගුරුවරියක්. අම්මා ජීවිතේ ලස්සනට කළමනාකරණය කරගෙන යනවා මම දැක්කා. ඒ නිසාම මම හිතුවා මාත් කවදහරි බඳින්න ඕනෙ ගුරුවරියක් කියලා. දවසක් මම ඒක පත්තරේකට කිව්වා. ඔන්න ඊට පස්සෙ මට ගුරුවරියන්ගෙන් ලියුම් ගොඩක් එන්න පටන් ගත්තා. මම ඒ කිසිම ලියුමකට පිළිතුරු යැව්වෙ නැහැ. බලන්න ගියෙත් නැහැ. මගේ යාළුවොත් හොරෙන් මාව ගෙනිහින් තියෙනවා මට මනමාලියො හොයලා දෙන්න. ඒවත් කොහොම හරි හරිගියේ නැහැ.

• ප්‍රේම සම්බන්ධයක් බිඳුණු නිසා ඔබ මේ තීරණය ගත්තද කියලා මට හිතෙනවා?
සමහර ඒවා නැතිවුණා තමයි. සමහර සම්බන්ධකම්වලින් මම වෙන්වුණේ කතාබහ කරලා. හැබැයි ඉතින් එකක් ඉවරවෙනකොට මට සති දෙක තුනකින් තව කෙල්ලෙක් සෙට්වුණා. ඉතින් එක්කෙනෙක් මත්තෙ දුක්වෙන්න මට සිද්ධ වුණේ නැහැ. සමහර මගේ පරණ පෙම්වතියො තාමත් මා එක්ක හිතවත්. එක්කෙනෙක් දෙන්නෙක් හැර. අපි සුහදව ඇසුරු කරනවා. සමහර අය විවාහවෙලා, දරුවොත් ඉන්නවා.

• තනිකඩව, අවිවාහකව ඉන්න අය ගැන මිනිස්සු කියන කතන්දර?
අපේ රටේ විතරයි ඒ මානසිකත්වය මිනිස්සුන්ට තියෙන්නෙ. පවුල් වෙලාද, තනිකඩව ඉන්වද කියලා හොයන්නෙ අපේ මිනිස්සු තමයි. බැඳලා නැත්නම් බඳින්නෙ නැද්ද? බඳින්නෙ නැද්ද? කියලා අහනවා. බැන්දට පස්සෙ ළමයි නැද්ද? කියලා අහනවා. සමහර අය හිතනවා නොබැඳ ඉන්නෙ සමරිසි සම්බන්ධකම් තියෙන අය කියලා. සාමාන්‍යයෙන් ඒ වගේ අය විවාහ වෙන්නෙ නැති නිසා. ඉතින් අපේ සමාජය අවිවාහක අය දිහා බලන එක වෙනම කතන්දරයක්. හැබැයි ඒවා ලොකුවට ඔළුවට ගන්න ඕන දේවල් නෙවෙයි.

• අවිවාහකව ඉන්න එක ගැන, විශේෂයෙන් වයසට ගියාම ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ගැන ඔබට බයක් දැනෙන්නෙ නැද්ද?
මෙතෙක් එහෙම බයක් නම් ඇතිවෙලා නැහැ.

• ඉතින් තාම වයසට ගිහින් නැහැනෙ?
එහෙම හිතෙන වෙලාවල් නැතුව නෙවෙයි. ඒත් ඉස්සරහට ඒ වගේ බයක් එන එකක් නැහැ කියලා හිතෙනවා.
මම පවුලෙ වැඩිමලා. මට බාල මල්ලිලා 4 දෙනෙයි, බාලම නංගියි විවාහවෙලා දරුවොත් ඉන්නවා. ඒ ගොල්ලො පවුල් ජීවිත ගත කරන විදිහ දැක්කම හිතෙනවා මමත් විවාහවෙලා හිටියා නම් කියලා. ඒ ගොල්ලන්ගෙ දරුවො මගේම නොවුණට මගේ දරුවො හැටියටයි මම සලකන්නෙ.

• පාලුව, තනිකම දැනෙන වෙලාවට මොනවද කරන්නෙ?
 මම මගේ වෘත්තිය පටන්ගත්තෙ වේදිකාවයි කැමරාවයි එක්ක. ඒක දිගටම කරගෙන යනවා. චිත්‍රපටයක, වේදිකා නාට්‍යයක, ටෙලිනාට්‍යයකට දායක වෙනවා කියලා කියන්නෙ තනියම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒත් කැමරාවත් එක්ක එහෙම නැහැ. කැමරාව තියෙන්නෙ මාත් එක්ක මගේ අතේ. මම සින්දු අහනවා. චිත්‍රපට බලනවා. පොත් කියවනවා. තනිකම මකාගන්නම කියලා නෙවෙයි. ඒක මගේ ජීවන රටාවේ කොටසක්.

• ඔබ විවාහක ජෝඩු සිය ගණනකගෙ වෙඩින් පින්තූර අරගෙන තියෙනවනෙ. ඔය ඇල්බම් හදද්දි, දකිද්දි ඔබටත් ඒ වගේ එකක් තිබුණා නම් කියලා හිතිලම නැද්ද?
ඇයි නැත්තෙ. එහෙම හිතිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක ඒ වෙලාවට එන සිතුවිල්ලක් විතරයි. ඇල්බම් එක අදාළ අයට බාර දුන්නම පස්සෙ එහෙම හිතෙන්නෙ නැහැ. එහෙම හිතනවට වඩා මගේ ජීවිතේ අනිත් අරමුණු වලට යන්නයි මම දැන් මහන්සි වෙන්නෙ.

• විවාහයට වයසක් අදාළ වෙන්නෙ නැහැනෙ. 60,70 පැනලත් මිනිස්සු විවාහ වෙනවනෙ. ඔබටත් එහෙම වුණොත්?
දෛවය අපිව මොන පැත්තට කරකවයිද කියලා කියන්න බැහැ තමයි. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. අපි හිතන්නෙ නැති දේවල් කොච්චර වෙනවද?

• විවාහක අපිට වඩා ඕගොල්ලො වගේ අවිවාහකව ඉන්න අයලු ගෑනු ගැන ගොඩක් දේවල් දන්නෙ. එහෙම කතාවක් තියෙනවා නේද?
ඒ නිසානෙ අපි විවාහ නොවී තාම තනිකඩව ඉන්නෙ.