2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ඒක මහ පුදුම ආදර සිංදුවක්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263

ඇය අදටත් නොවෙනස්ව තම ජනප්‍රියත්වය රැකගත් නිළියක් සහ නර්ථන ශිල්පිනියක්. නමින් ඇය නිලන්ති ඩයස්.

නිලන්ති.. හිතට දැනෙන ගීතයකට නර්තනයේ යෙදෙද්දී ඔබ වරෙක නර්තනයේ යෙදෙන්නේ අඬමින්. ඔබ ගීතයට ඒ තරම් සංවේදීයි කියලා මම අහලා තියෙනවා. ඒක ඇත්තක්ද?
ඔව්.. හුඟාක් ශාස්ත්‍රීය ගීත, හිතට හුඟාක් ගැඹුරින් කතා කරනවා කියලා දැනෙන ගීත අහද්දි මම හුඟාක් සංවේදී වෙනවා. එහෙම ගීතයකට නර්තනයේ යෙදෙන්නෙත් හරිම ශාස්ත්‍රීය සංවේදී සම්ප්‍රදායක් එක්ක. ඒ ගීතය හරිම ගැඹුරින් හිතට කා වැදෙනවා එතකොට. මමත් දන්නෙම නැතුව එතකොට මගේ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා. අම්මාගේ ගුණ ගැන ගීතයකින් කියවෙද්දි අමරදේව මාස්ටර්ගේ සන්නාලියනේ ගීතයට නර්තනයේ යෙදෙද්දි මට වේදිකාවේදි ඇඬෙන්නේ, කඳුළු වැක්කෙරෙන්නේ ඒතරම් ප්‍රබල ආධ්‍යාත්මික කම්පනයක් දැනෙන නිසා නේද?

ඔබ ඇත්තටම සංගීතයට හුඟක් ප්‍රිය කරන කෙනෙක්ද?

සංගීතයට ප්‍රිය නොකරන කෙනෙක් ඉන්නවනම් එයා මනුෂ්‍යයෙක්ද කියලා මම ප්‍රශ්න කරන්නේ. සංගීතය කියන්නෙ ඒ තරම් මනුෂ්‍ය ජීවිතයට ළෙන්ගතු සමීප දෙයක් කියලා මම විශ්වාස කරන්නෙ. මහා කළු ගල් වගේ හිත් තියෙන සංගීතයට කලාවට සමීප නොවන සංවේදී නොවන සහෘද නොවන ගැහැනු මිනිස්සුත් ලෝකයේ නැතුව නෙවේ. ඒත් මම නම් සංගීතයට හරිම කැමතියි සහ එය මට ජීවිතයේ සැනසීම පිණිස අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන කෙනෙක් මම. නර්තනය කියන විෂය එක්කත් සංගීතය හරිම කිට්ටුයි. හිතේ දුකක් වේදනාවක් තියෙන වෙලාවක, හිත සැහැල්ලු කර ගන්න, ඒ වේදනාවෙන් හිත නිදහස් කර ගන්න සංගීතය තරම් ඖෂධයක් තවත් ලෝකේ නෑ කියලා තමා මම විශ්වාස කරන්නෙ.

සංගීතයට මේ තරම් ළැදි නිලන්තිට ඔබේ ප්‍රියතම ගීතයක් නැතිවෙන්න බෑ?
ටී.එම්. ජයරත්න මහතා ගයන, රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ සොඳුරු අතීතයේ නිමල පැතුම වී. ඒ තමා මගේ ප්‍රියතම ගීතය.

ඇයි ඒ ගීතයට ඒ තරම් කැමති?
පද, සංගීතය මට හුඟාක් දැනුණා. දවසක් මම සැලෝන් එකක ඉද්දි මේ සිංදුව ඇහුවා. එතෙන්දී තමා මේ ගීතය මට හුඟාක් හිතට දැනුණේ. 

මේ ගීතයේ ඔබට වඩාත්ම දැනුණු පද පේළියක් තියෙනවද?
සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහේ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී‍

මේ ගීතය ඇතුළෙ සංසාරගත ආදරයක් ලෙස දැනෙන ආදරයක් ගැන කියවෙනවා. කෙනෙක්ට තමන්ට ජීවිතයේ හමුවෙන විඳින ආදරය සංසාර ආදරයක් විදිහට දැනෙනවනම් ඒ ආදරය කෙතරම් උත්තරීතර ආදරයක් වෙන්න ඕනෑද? ඒ හැඟීම මේ ගීතය අහද්දී හරිම හැඟීම්බරව මගේ හිතට දැනෙනවා. 

මේ ගීතයේ අවසානයට කියනවා නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජයගන්න ඇතී.. ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමුවෙන්න ඇතී කියලා.

ආදරය ආදරයක් විදිහට දැනෙන තැනකදී මට හිතෙන්නේ මැවෙන්නේ දිව්‍ය ලෝකයක්. ඊට වඩා සැනසීමක් ලෝකයේ වෙන තියෙනවද කියන හැඟීම මේ පද හිතට දනවනවා.

ආදර ගීත අහන්න නිලන්ති විශේෂ කැමැත්තක් දක්වනවද?
නෑ. මම අහන්නෙම විරහ ගීත.

ඇයි විරහ ගී ඒ තරම් ඔබට දැනෙන්නේ.. අත්දැකීමක් නිසාද?
විරහව කියන අත්දැකීම නොවින්ඳ කෙනෙක් මට හිතෙන්නෙ මේ ලෝකෙ නෑ. ඒක හැමෝම ජීවත්වීම තුළ විඳින හැඟීමක් කියලා මට හිතෙන්නෙ. කලාව කියන මාධ්‍ය ඇතුළෙ විශේෂයෙන් ගීතය ඇතුළෙ මට හි‍තෙන්නෙත් ශෝක රසය කියන්නේ මිනිස්සු ඉල්ලන රසයක්. ඉතින් මමත් ඒ රසය ඉල්ලනවා ඇති.

සොඳුරු අතීතයේ ගීතයට ඔබ එතරම් කැමති ඒක ජීවිතයේ අත්දැකීමක් විදිහට ඔබට දැනෙනවද?
අත්දැකීමක්ද නැද්ද කියලා මම ඇත්තටම හිතුවෙත් නෑ. ඒත් ඒ ගීතයේ සමස්තයටම මම හරි ආසයි. මට හිතෙන්නේ ජීවිතයේ සමහර දේවල්වලට අපි කැමති අකමැති ඇයි කියලා අපිට සමහර වෙලාවට හරියටම නිර්වචනය කරන්න බෑ. 

ඔයාගේ ආදරණීය සැමියා එක්ක ඔයා මේ ගීතය ගැන කතා කරලා තියෙනවද?
නෑ. එයා එක්ක කතා කරලා නෑ.

එහෙනම් කා එක්ක හරි කතා කරලා තියෙනවද?
ඒත් නෑ. හැබැයි සින්දුවකට ආසා වුණාම මම ඒ ගීතය නිතර මුමුණනවා. ගයන්න උත්සාහ කරනවා. මේ ගීතයට මම ආසා නිසාම රූපවාහිනී වැඩසටහනකදීත් ගායනා කළා.

මේ ගීතයේ ගීත රචකයා ඔබට මුණගැසුණොත් ඔබ කොහොම ප්‍රතිචාරයක්ද දක්වන්නෙ?
හරිම ආදරෙන් මට ගීතය ගැන දැනුණු හැම හැඟීමක්ම මම වචන බවට පෙරළයි.

නිලන්ති.. ඔබ නර්තන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් ආවා. අලුත්  පරපුරට කලාව ගැන මේ ක්ෂේත්‍රය ගැන ඔබට කියන්න දෙයක් නැතිවෙන්න බෑ?
අලුත් පරපුරට මේ ක්ෂේත්‍රයට එන්න අද හුඟාක් අවස්ථා උදාවෙලා තියෙනවා. ඈත දුෂ්කර ප්‍රදේශවල ඉන්න අයට පවා තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට එන්න මාර්ග තියෙනවා. මම කියන්නෙ ක්ෂේත්‍රයට ඇවිත් වැදගත්ම දේ තමා හැකියාව තුලින් ඉදිරියට යන්න. කෙටි මාර්ග හොයන්න එපා. තමන්ගේ නම රැකගැනීම හරි වැදගත්. මගේ අම්මා මගේ සෙවණැල්ල වගේ ළඟින් සිටි නිසා මම මගේ නම සහ ගෞරවය රැකගත්තා. ඒ ගෞරවය රැකගනෙ කලාව ගැන අභිමානයක් ඇතුව ඉදිරියට යන්න. එතකොට ඒ ගමන හරි ස්ථාවරයි. ඒ වගේම සුන්දරයි.

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි 
ආදරයෙන් හමුවෙන්න ඇතී...

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇතී..

 

                          සේයාරුව- සුමුදු හේවාපතිරණ