2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

බඳිනවා දැකලා හීනෙනුත් බය වෙනවා

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139


අද තනිකඩයා ජනප්‍රිය ගායක හා ඡායාරූප ශිල්පී දයාන් විතාරණ.

ඔබ මේ රටේ ජනප්‍රියතම විවාහ මංගල ඡායාරූප ශිල්පියෙක් හැටියට විවාහක ජෝඩු සිය ගණනාවකගේ මංගල ඡායාරෑප අරගෙන ඇති. කවදාවත් හිතුවෙ නැද්ද ඔබේ මංගල ඡායාරූපයකුත් ඒ අතර තියාගන්න ඕනේ කියලා?
ඇයි නැත්තේ. එහෙම හිතිලා තියෙනවා මට. මම මුලින්ම මංගල ඡායාරූප ශිල්පියෙක් හැටියට එන්නේ මට වයස අවුරුදු 23දි. මම අපේ අම්මටත් කියලා තියෙනවා මගේ වෙඩින් ෆොටෝ එක ලස්සනට ගන්න ආසාවක් තියෙනවා කියලා. එතකොට අම්මා මගෙන් ඇහුවා ඔයා අනිත් අයගේ වෙඩිං ෆොටෝ ලස්සනට ගත්තට ඔයාගේ එක ගන්නේ කවුද කියලා. මම එතකොට කියනවා මගේ හොඳම ගෝලයෝ දාලා හරි ලස්සනට ගන්නවා කියලා. මම ඕනතරම් දැකලා තියෙනවා මංගල උත්සවවල සිදුවන මහා පරිමාණ නාස්තිය. කෑම නාස්ති වෙනවා, විශාල ලෙස මල්වලට වියදම් කරනවා, අනෙකුත් දේවල් ගොඩකට අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති වෙනවා. මම හිතාගෙන හිටියේ මගේ වෙඩිං එකේදි ෆොටෝ එක විතරක් ලස්සනට අරගෙන අනිත් අනවශ්‍ය වියදම්වලට යන සල්ලි ඉතුරු කරලා පිළිකා රෝහලට දන් දෙන්න. මම එහෙම කිව්වම අම්මා කියනවා ඔයා එහෙම හිතුවට මනමාලිත් කැමති වෙන්න එපායැ කියලා.

මගේ වෙඩින් ෆා‌ෙටෝ එක ගන්න හැටිත් අම්මා එක්ක ප්ලෑන් කළා

බඳින්නේම නෑ කියලා තීරණය කරද්දි වයස කීයද?
ඒත් මට අවුරුදු 35ක් විතර වෙද්දි මම විවාහ නොවී ඉන්න තීරණය කළා. විවාහ මංගල ඡායාරෑප ශිල්පියෙක් හැටියට මට මුණගැසුණු විවාහක ජෝඩු පසුකාලීනව මුහුණ දෙන ප්‍රශ්න ගැන මට අවබෝධ වුණා. බැඳීම්වලින් මිදෙන්න මට තිබුණා ඕනකමක්. සමහර ජෝඩු ඒගොල්ලන්ගේ ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න නිසා රණ්ඩු වෙනකොට හිත හදාගන්නේ මං දීපු වෙඩිං ඇල්බම් එක දිහා බලලා කියලත් සමහරු මට කියලා තියෙනවා. විවාහක යුවළක් පෝරුවට නගිද්දි සිතුවිලි සපත කරගන්න ඕනේ මම මින් මතුවට දකින ඕනෙම පිරිමියෙක් නැත්නම් ස්ත්‍රියක් මගේ පියා, සොහොයුරෙක් නැත්නම් මවක් හෝ සොහොයුරියක් ලෙස හිතනවා, මම මින් මතුවට ප්‍රේම කරන්නේ, රාගයෙන් බැඳෙන්නේ මෙයා සමඟ විතරයි කියලා. ඒත් කාලයක් ගියාම මේ සිතුවිලි එහෙ මෙහෙ වෙනවනේ. අපි ජීවත් වෙන්න ඕනේ අපේ හදවතට එකඟව, ප්‍රතිපත්තිගරුකව මිසක ලෝකයාට පේන්න නෙවෙයි.

බඳින්නෙම නෑ හිතුවේ 35දී

මගේ තාත්තා නැති වුණේ මට අවුරුදු 13දි. අපේ අම්මට එතකොට 39යි. අපේ අම්මා විශාල කැපකිරීමක් කළා අපිව උස්මහත් කරන්න. අපේ තාත්තා මං වගේම සුන්දර කෙනෙක්. අපේ අම්මා තාත්තට හරිම ආදරෙයි. එයා අපිට ඉස්සර කියනවා මං මේ කෑම හදන්නේ තාත්තා හින්දයි කියලා. තාත්තා නැති කාලෙක අපිට කන්න දෙන්නේ ලුණු මිරිසුයි බතුයිලු. ඒ තරමට තාත්තාට හරිම ආදරෙයි. ඒත් තාත්තා නැතිවුණාට පස්සේ අපිට හොඳටම සැලකුවා තාත්තා හිටිය කාලෙට වැඩිය.

විවාහයකින් කෙළවර නොවුණු පෙම් සබඳතාවක් නිසාද ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ?
එකක් නෙවෙයි, මට පෙම් සබඳතා කීපයක්ම තිබුණා. ඒත් ඒවා බිඳිලා ගියේ සමාජමය හෝ ආගමික නොගැලපීම් නිසා. මම එදා ඉඳන්ම හැමෝම එක්ක සුහදව ගනුදෙනු කළ කෙනෙක්. අදටත් ඒගොල්ලෝ එක්ක මම සුහදව ඇසුරු කරනවා. මට අහිමි වුණා කියලා ඒගොල්ලො ගැන වෛරයකින් බලන්නේ නැහැ මම. ඒ මිහිරි අතීත මතක අපෙන් ගිලිහෙන්නේ නැති බව ඇත්ත. ඒත් ආදරය කියන්නේ හිමි කරගන්නා දේකට නෙවෙයි. මට ලොකු දුකකුත් නැහැ ඒ ගැන හිතද්දි. මම මුලින්ම කෙල්ලෙකුට කැමති වුණා එයා ඒ කාලේ ජනප්‍රිය නිළියක්. නමුත් එයා මට කැමති වුණේ නැහැ. එයා තාමත් මගේ යාළුවෙක්. තව පෙම් පළහිලව්වක් බිඳිලා ගියේ මම පහතරට නිසා. තව එකක් නැති වුණේ ආගම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නිසා. ඒ මිසක් අපේ හිත් නරක් කරගෙන නෙවෙයි. කොහොමත් මම අවුරුදු 35දි තීරණය කළා අවිවාහකව ඉන්න.

නිළියකට හිත ගියා. ඒත් එයා බෑ කීවා

අවිවාහකව තනිකඩව ජීවත් වෙනකොට අනාගතය ගැන බයක් දැනෙන්නේ නැද්ද?
තනිකඩව ජීවත් වෙන එක ගැන මම දුක් වෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැහැ. මම අනාගතය ගැන බය වෙන්නේ නැහැ. මොකද මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක් නිසා. අපි හැමදාම කාටහරි කරන්නේ හොඳ දෙයක්. ඒ නිසා අපට දුකක් කරදරයක් ඇතිවුණු දවසක අපි ඒ කරපු හොඳ දේවල් අපට කිසියම් විදිහකින් ශක්තියක් වෙලා අපිට පිහිට වෙයි. එහෙම වෙන්නනම් අපි කරන හැම හොඳ දෙයක්ම හදවතින්ම කළ යුතු වෙනවා. මට යාළු මිත්‍රයෝ ගොඩදෙනෙක් ඉන්න නිසා මට තනිකම දැනෙන්නෙත් නෑ. මට දිගටම තනියම ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා.

ඇත්තම කියන්න. හීනෙන්වත් ඔබ විවාහ වෙනවා ඔබට පෙනිලම නැද්ද?
අපෝ පෙනිලා තියෙනවා. ඒ වගේ හීන දැකලා මම කොච්චර බයවෙලා නින්දෙන් ඇහැරිලා තියෙනවද?

ඒ දැක්ක හීනවල මනමාලි වෙලා හිටියේ දන්න කියන අයද?
අම්මෝ මාව තවත් බය කරන්නද හදන්නේ? ඇත්තම කියන්න මනමාලිව අඳුරගන්න කලින් මම බයවෙලා ඇහැරෙනවා. පස්සේ දුක හිතෙනවා අපරාදේ මනමාලිගේ පින්තූරයක්වත් ගන්න බැරිවුණ එකට.