2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ආදරයේ අවාසනාවී

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

එමා බෝවාරි 

ඇය එමා.. එමා වෙනුවෙන් බොහෝ කලකට පෙර දවසක මගේ ඇස් කඳුළින් දිලිසුණු බව ඔබ විශ්වාස කරන්න. සිරිල් පී. පෙරේරා පරිවර්ථනය කළ එමා බෝවාරි නවකතාව ලියූ ගුස්ටාව් ප්ලෝබෙයාර් කියන ප්‍රංශ කතුවරයාගෙන් දවසක් කෙනෙක් අහනවා ගුස්ටාව් කවුද.. ඒ එමා.. ඇය ඔබ ආලය කළ තවත් එක් ගැහැනියක්ද කියලා ගුස්ටාව්ගේ උත්තරය.. නැහැ.. එමා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි එමා කියන්නේ මම.. 

ගුස්ටාව්ගේ උත්තරය ඇතුළේ ලොකු කතන්දරයක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ කියන ලිංගිකත්වය පැත්තකින් තියලා මනුෂ්‍ය කියන කුලකය පිරිසිඳ මම ඔයාගෙන් අහන්නේ හොයන ආදරය හමුවෙන තුරු මරණය තෙක් මිනිසා හොයන ආදරය හොයනවා නේද කියලා. ගුස්ටාව් ප්ලේබෙයාර් අකුරුවලින් හුස්මක් දුන් එමා කියන ගැහැනිය විනිවිද ඇය කියවද්දී ඇගේ හද මඬල උපන් සිතුවිලි සංකල්ප, ඇගේ ආධ්‍යාත්මික හා භෞතික අවශ්‍යතාවය, ඈ ඉල්ලා හිඳින ආදරය, ඒ ආදරය හමුවෙන තුරු වරෙක ඉවසිල්ලෙන් තවත් වරෙක වියරුවෙන් ඈ ජීවිතය තුළ ඇවිදින ගමන සොයන සෙවිල්ල වරෙක පිරිමියෙකුටත් ඒ අයුරින්ම සාධාරණයි. ගුස්ටාව්ගේ උත්තරය ඇතුළේ තිබුණේ ඒ කතාව කියලා මට හිතෙනවා.

ආදරය ආදරය විදිහට නොදැනෙන නොහැඟෙන තැනකදි ඇයි ආදරය.. කුමකටද ආදරය.. එහෙම ප්‍රශ්න කිරීමක් කවදා හරි ඔයාගේ ජීවිතය ඇතුළේ තිබිලා තියෙනවද? 
චාල්ස් බෝවාරි කියන වෛද්‍යවරයාගේ බිරිය එමා.. එමා තම ස්වාමියා ඉක්මවා යාම පොදු සම්මුතික ආකල්පයන් තුළ විශාල වැරුද්දක්. ඒත් ඇයි ඇය ඒ වරද කළේ. ඒ වැරුද්දට හේතුව කුමක්ද? ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙනතුරු එමා හරිද වැරදිද කියන තීරණය දෙන්න, වැරදිකාරියට පළමු ගල ගසන්න වරදක් නොකළ පළමු පිරිමියා කැඳවීම කොතෙක් දුරට සාධාරණද? ඒ එමා වෙනුවෙන් එමාලා වෙනුවෙන් කතා කරන ගැහැනුන් හා පිරිමින් විමසන ප්‍රශ්නයක්.
එමා ආදරය ලැබීමේ පරමාර්ථය වෙනුවෙන් තමන්ගේ ස්ත්‍රී අවයව දානයක් බවට පත් කරනවා. ස්ත්‍රී අවයව පිරිමින්ගේ කාමාග්නිය වෙනුවෙන් දන් දීගෙන උන්ගෙ පපු කැනතු හාර හාරා එමා එමාට අවැසි ආදරය හොයනවා. ඒ ආදරය කිසිම තැනකදි හමුනොවුණු තැන එමා ආදරයෙන් සහ ජීවිතයෙන් පරාජිත ගැහැනියක් වෙනවා. ඇය සියදිවි නසා ගන්නේ ජීවිතෙන් පමණක් නොවේ ඇය සෙවූ ආදරයත් සියදිවි නසා ගන්නවා.

ගැහැනුකමින් පූර්ණ, හරසුන් ස්ත්‍රීවාදී ආකල්ප තුළින් හදවත දූෂණය නොවුණු සැබෑ ගැහැනියක් පිරිමියෙක්ගෙන් ජීවිතය පුරා ඉල්ලා හිඳින පළවෙනිම දේ තමයි කාලය. ඒ කාලය කියන හැඳින්වීම වචනාර්ථයෙන් ග්‍රහණය කර ගන්න තරම් ඔයා පටු මානසිකත්වයකට එන්න එපා. කාලය කියන දෙය මම නිර්වචනය කරන්නෙ මේ විදිහට. ඇය සංවේදී ගැහැනියක් පිරිමියෙකුගෙන් ඉල්ලන කාලය කියන්නේ දවසට පැය ගණනක් නෙවෙයි. ඔයාට එයා වෙනුවෙන් දෙන්න පුළුවන් කාලය තත්ත්පර ගණනක් නම් ඒ තත්ත්පර ගණන ඇයටම ඇය වෙනුවෙන්ම ප්‍රදානය කරන්න. ජීවිතය විඳින්න විඳවන්න ඇගේ ජීවිතය වටා එකතුවෙන හිතුවිලි සංසිද්ධීන් වචන බවට හරවන්න ඒ කාලය දෙන්න. දුර හිටියත් ළඟ හිටියත් ඇය හා සහෘදව ඇයට ඇහුම්කන් දෙන්න. කාලය තුළ ඇය ඉල්ලන වටිනාම දේ තමා ආදරය. ඒ ආදරය ස්පර්ශයෙන් වගේම වචනවලිනුත් ඇය ඉල්ලනවා. සංවේදී හැඟීම්බර ස්වරයකින් වචන තුළින් ඇයට ආදරය සන්නිවේදනය කරන්න. ඒ ආදරය ඉල්ලන ගැහැනියකගේ එක බලාපොරොත්තුවක්.
ශාස්ත්‍රීයව සාක්ෂරතාවයෙන් පොහොසත් හුඟාක් ගැහැනු ආධ්‍යාත්මිකව ජීවිතය පිළිබඳ සාක්ෂරතාවයෙන් දුප්පත් කියලා මට හිතෙනවා. ඈත ගම්මානවල සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ ජීවත් වුණු උදේට දවල්ට රූට ඉදෙන මොන දේ හරි ඉස්සරලම පංගුව දානය බෙදනවා වගේ හඟීමකින් තමන්ගේ ස්වාමියාට බෙදලා වෙන්කරන, මොන වරදක් තිබුණත් ඒ දේවල් ලෝකයෙන් සඟවාගෙන ලෝකය ඉදිරියේ තමන්ගේ ස්වාමියාට අවමන් නොකර ස්වාමි භක්තියෙන් ගෞරවය රකින, සසර පේවී හිඳින ස්නේහයකින් ඔහු වෙනුවෙන්ම පතිදම් රකින, ඔහුගේ නෑ පරපුරටම ළෙන්ගතු යෙහෙළියක් වන, මහපොළොවක් වගේ අකම්පාව ශක්තියක් වෙන ගැහැනුන් ආදරය හා ජීවිතය යන සාක්ෂරතාවයෙන් හරි පොහොසත්. පිරිමියෙකුගේ ජීවිත ජයග්‍රහණ පිටුපස මහා මුදුන් මුලක් වෙන්නේ එහෙම ගැහැනියක්.

පිරිමියෙකුගේ පිරිමිකම කියන්නේ ආධිපත්‍ය නෙවෙයි. මම මේක කරනවා.. වා යන්න තුළ තියෙන ආධිපත්‍ය බහුතර ආසියාතික පිරිමින්ගේ පොදු ලක්ෂණයක් විදිහට මම කැමතියි හඳුන්වන්න. ආදරණීය පිරිමියෙකුගේ ආධ්‍යාත්මික වටිනාකම්වලට ආදරයක් ගෞරවයක් ප්‍රසංශාවක් දෙන්න පුළුවන්,වටිනාකම් වටිනාකම් විදිහට තේරුම් ගන්න පුළුවන් ගැහැනියක් එක්ක කරන ජීවිත ගනුදෙනුවෙදි ඔයාට පුළුවන්නම් පුළුවන් හැම තැනකදිම මම මේක කරනවා කියන එකේ වා යන්න වෙනුවට ද යන්න එකතු කරලා කරන්නද කියලා අහන්න ඒ අකුරෙ වෙනස වටිනාකම මහා සාගරයක් තරම්.
ඒ එක අකුර තුළ ඔයා ඇයට දෙන තැන, ගෞරවය ඔයාටම එන ආශිර්වාදයක් වෙයි.

මට හිතෙනවා එමා මේ පිරිමියාව මුළු ජීවිතය තුළම හෙව්වා කියලා. චාල්ස් තුළ ජීවත් වුණු නිහඬ අප්‍රාණික මහා ආදරවන්තයා ළඟ සැනසෙන්න එමාට සංසාර පින්සාර බවක් නොතිබුණු අහේතුවට ජීවිතයේ හසරක් නොදැන සෙවූ පිරිමියා නැවත නැවතත් සෙවූ එමා ඔබේ විනිශ්චය තුළ සාධාරණද අසාධාරණද කියන වග ඔබේ හෘද සාක්ෂිය ළඟ ඔබ තීරණය කරන්න.. එහෙත් බෝසත් පිරිමි හිත් එමා ජීවත්වෙච්ච ප්‍රංශයේ කොතනකදිවත් හමු නොවුණු පාපයට මගේ ඇස් අග එමා වෙනුවෙන් කඳුළක් දිලිසුණා.. 
ඒ කඳුළ ඔබට කියවිය හැකිනම්...

ඒ කඳුළෙහි ගැඹුර ඔබට නිර්වචනය කළ හැකිනම්..
එමා ඔබට දැනේවි...