2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

සීරියස්ම ලව් එක සති දෙකයි

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

- මනෝජ් පීරිස්

මනෝජ් පීරිස් කියන්නේ මේ රටේ සුරෑපී යුවතියන්, විශේෂයෙන්ම කලා ලොවේ තරුණ රංගන ශිල්පිණියන් බොහෝදෙනකුගේ ආදරයට පාත්‍ර වන කෙනෙක්. එවැනි කෙනකුට තනිකඩ ජීවිතයක් ගත කරන්නට සිදුවීම ගැන ඔබට දුකක් දැනෙන්නේ නැද්ද?
ඇයි නැත්තේ. දුකක් හිතෙනවා. ඒත් තනිකඩව ඉන්න එක සතුටක්. කලා ලෝකයේ ඉන්න ලස්සන අයගේ ආදරයට පාත්‍ර වීම සතුටක් වුණත් ගෙදර ආවට පස්සේ තනි වුණාම දුක හිතෙන වෙලාවල් තියෙනවා. මම ගොඩක් වෙලාවට දවසේ වැඩිපුර කාලයක් ගත කරන්නේ කලා ලෝකෙ ශිල්පීන් ශිල්පිනියන් සමඟ නිසා තනිකම දැනෙනවා අඩුයි. කොරෝනා ලොක්ඩවුන් කාලේ නම් තනිකම ගොඩක් දැනුණා. දැන් නැවතත් කාර්යබහුල නිසා තනිකම දැනෙන්නේ අඩුවෙන්.

පාලුව, තනිකම, කාන්සිය දැනෙන වෙලාවට මොනවද කරන්නේ?
අනිවාර්යයෙන්ම ගීතයක් එක්ක තමයි ඒ කාන්සිය නැති කරගන්නේ. මම ජීවත් කරවන්නේ ගීතය තමයි. හැමදාම නින්දට යන්නෙත් ගීතය එක්ක තමයි.

ඔබ තනිකඩව ඉන්න තීරණය කරන්නේ ඔබට ආදරේ කරන බොහෝ අයගෙන් එක්කෙනෙක් තෝරගන්න බැරිකම නිසාද?
එහෙම එකකටනම් නෙවෙයි. ඒත් මගේ යාළුවොනම් හිතන්නේ එහෙමයි. කාලෙන් කාලෙට මාව කා එක්ක හරි ජෝඩු කරනවා. මට මගේ ජීවිතේ සමීපතම යෙහෙළියෝ කීප දෙනෙක්ම ඉන්නවා මං වෙනුවෙන්, 
මගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානමින් ඉන්න. මම මේ දක්වා හම්බකරලා තියෙන්නේ ආදරණීය මිනිස්සු විතරයි. ඒ ආදරය තමයි මාව ජීවත් කරවන්නේ. ඒ තමයි මගේ සතුට. පසුගියදා මට ලැබුණු රයිගම් සුවිශේෂී සම්මානයත් ඒ වගේ. ආදරයක් හා ගෞරවයක් එක්ක මුසුවුණු දෙයක්. සමහරු හිතනවා මම කොච්චර වාසනාවන්ත මිනිහෙක්ද කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ මම ඒ වෙනුවෙන් කරලා තියෙන කැපවීම් ටික.

ඔබ තනිකඩව, අවිවාහකව ඉන්න තීරණය කළේ බිඳුණු ප්‍රේම සම්බන්ධයක් නිසාද? ඇත්තටම ඔබට ප්‍රේම සම්බන්ධතා කොච්චර විතර තිබුණද?
මුල්ම ප්‍රශ්නෙට උත්තරේ නැහැ. මට ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබුණා. හැබැයි ඒවා කෙටිකාලීන ඒවා. ඒ අතර දවසේ දෙකේ පෙම් කතන්දරත් තිබුණා. මට ඒ කාලේ ලස්සන මෝටර් සයිකලයක් තිබුණා. ගෑනු ළමයි හරිම ආසා වුණා මාත් එක්ක යාළු වෙන්න. ඉතින් කෙල්ලො එක්ක යාළු වෙනවා. ඉක්මනින් අයින් වෙනවා. නැත්නම් තරහා වෙනවා. ආදරේ ගැන මට ඒ කාලේ ලොකු තේරුමක් තිබුණෙත් නැහැ. මගේ දිගම පෙම් සබඳතාවය සති දෙකක් විතර ඇදුණා. අනිත් ඒවා ඉක්මනින් කල් ඉකුත් වුණා. ගොඩක් ළමයි මාත් එක්ක යාළු වෙන්න පෝලිමේ කැමැත්තෙන් හිටිය නිසා එහෙම වෙලා ඇති.

ඔබව තනිකඩ ජීවිතයට තල්ලු කළේ ඔබේ කාර්යබහුලත්වයද?
විවාහය කියන්නේ වෙනම එකක්. ඒකට ගොඩක් දේවල් බලපාන කාරණයක්. ගොඩක් දේවල් ගැලපෙන්න ඕනේ. මට දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේට අවශ්‍ය හැමදේම තියෙන කෙනෙක්. ඒත් විවාහයට ඒවා විතරක් සුදුසුකම් හැටියට මම පිළිගන්නේ නැහැ. අවිවාහකව ඉන්න හේතුව මගේ කාර්යබහුලත්වය නෙවෙයි.

ඒත් විවාහ ජීවිතයට එළඹෙන්න ඔබ තාමත් ප්‍රමාද නැති බව මතක තියාගන්න...
ආදරයට වයස් බේදයක් නැහැ කියනවා වගේමයි විවාහයටත් වයසක් නැහැ. ඒ බව මම දන්නවා. මට වඩා වයසින් ගොඩක් අඩු අයත් මට ආදරේ කරනවා. ඒත් විවාහය ගැන මම ගොඩක් දුරදිග හිතන කෙනෙක්. ඒ නිසා මම මේ තනිකඩ ජීවිතය ගැන සෑහීමකට පත්වෙනවා. තනිකඩයෙක් හැටියට ජීවිතෙන් කවදාහරි සමුගන්නයි මගේ බලාපොරොත්තුව. මේක මම අදහන දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නැති.

ඔබට තනිකඩ ජීවිතේ ඉදිරි අනාගතය ගැන බයක් හිතෙන්නේ නැද්ද?
මම ගොඩක් අසනීප වෙලා 2006දී මැරෙන්න ගිහින් ජීවිතේ බේරුණු කෙනෙක්. මම ඒ නිසා බය විඳපු කෙනෙක්. ආයේ අමුතුවෙන් මට බයවෙන්න දෙයක් නැහැ. තනිකඩ මට අවශ්‍ය ආර්ථික ස්ථාවරය මට තියෙනවා. මට වඩා මම වියදම් කරන්නේ අනුන්ට. විශේෂයෙන් අහිංසක සතුන්ට. අපි යනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැනේ. ඉතින් ජීවත් වෙන්න ආදරය තිබුණොත් මට ඒක හොඳටම ප්‍රමාණවත්. මාව ජීවත් කරවන්නේ සංගීතය සහ ආදරය විතරයි.