2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

Perfum සිහිනයේ ප්‍රංශ නරුමයා

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ඔයා දෙවියන් විශ්වාස කරනවද? ඔයාගේ උත්තරය? මගේ උත්තරය ඔව්.. ඔයා දෙවියන් දැකලා තියෙනවද? මගේ උත්තරය... ඒත් ඔව්... මම දකින, මම කතා කරන, මම විශ්වාස කරන, මම ආදරය කරන දෙවියන් වහන්සේ තමයි ස්වභාවධර්මය. ඒ දෙවියන් ළඟ මහ පුදුමාකාර ආදරයක් තියෙනවා. විශ්වාස කරන්න බැරි තරම් ඉවසීමක් තියෙනවා. ඒ ඉවසීම බිඳිලා ගිය මොහොතක එයා දඬුවම් දෙනවා අපට. ඒත් ඒ දඬුවම් ඇතුළෙ තියෙන්නෙත් වෛරයක් නපුරුකමක් නෙවෙයි.

තවත් වෙලාවකට එයා මහා දාර්ශනිකයෙක් ඍෂිවරයෙක් වගේ. ඒ වගේමයි එයා අපි හැමෝගෙම ජීවිත සනහන නිවන අම්මා කෙනෙක්. ස්වභාවධර්මය මේ ලෝකයට හරි අපූරු මිනිසුන් නිර්මාණය කරනවා. සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් මිනිස්සු නිර්මාණය කරනවා. ආදරණීය වගේම අනාදරණීය මිනිස්සුත් නිර්මාණය කරනවා.

Tom Tykwer ගේ Perfume කියන ඉංග්‍රීසි චිත්‍රපටයේදී හමුවෙන්නෙත් ස්වභාවධර්මය නිර්මාණය කළ වෙනස්ම විදිහේ මනුස්සයෙක්.
ඔහුගේ උප්පත්තිය සිදුවෙන්නෙත් සාමාන්‍ය දරු උප්පත්තියක් සිදුවන පරිසරයක නෙවෙයි. ඔහුගේ මව මාළු වෙළෙන්ඳියක්. මාළු ලෑල්ලේ මාළු කපන ගමන් තමයි ඇයට විලිරුදා හැදෙන්නේ. මාළු බොකු බඩවැල් බිම ඉහිරුණු අපිරිසුදු පරිසරයක තමා ඒ දරුවා ඉපදෙන්නේ. ඒ චිත්‍රපටයේ හරිම ඉසියුම් සහ සංකේතාත්මක දර්ශනයක් තියෙනවා. ඒ දරුවට අම්මා ඇඟිල්ල අල්ලාගන්න ළං කළාම ඒ දරුවා ඒ ඇඟිල්ල අල්ලගෙන හෙමින් නහය ළඟට අරගෙන සුවඳ බලනවා. ගඳ සුවඳ දෙකට අතිශය සංවේදී අනාගත මිනිසෙක් තමා ඒ දරුවා තුළ ජීවත් වෙන්නේ. ඒ සංවේදීත්වය භයංකාර මිනිසකු ඔහු තුළ නිර්මාණය කරනවා. ඔහු අමුතුම විදිහේ ඝාතකයෙක් බවට පත් කරන්නෙත් ඒ සංවේදීත්වයමයි. ලෝකයේ තියෙන සුවඳවත්ම Perfume එක හදන්න ඔහු යොවුන් වියේ සුන්දරියන්ගේ ඝාතකයා බවට පත්වෙනවා. 

18 වැනි සියවසේ ප්‍රංශයේ සිදුවීමක් පාදකව නිර්මාණය වී ඇති මේ චිත්‍රපටයේ එන දරුවා කුඩා වියේ සිටම ජීවිතය අවිඥානිකව හෝ සවිඥානිකව ගොඩනගා ගන්නේ ගඳ සුවඳ එක්ක. ඔහු හැම තැනකදීම හැම දේකදීම හොයන්නේ ගඳ සුවඳ.
වරක් ඔහු පළතුරු කූඩයක් අතින් ගත් සුන්දර යුවතියන් පිටුපස යනවා. ඔහු ඇගේ සිරුරින් එන සුවඳට වශීකෘතව ඇය පසුපස යනවා. 

ඔහු කිසිම විටෙක ස්ත්‍රී දූෂකයෙක් වෙන්නේ නෑ. ඔහු කරන්නේ උන්මන්තක විලාසයෙන් සිරුරු හිසකෙස් සිඹ බලමින් ඒ සුවඳ ආඝ්‍රාණය කිරීම පමණයි. ඔහුගේ ජීවිතයේ හැම සතුටක්ම, ඔහු ජීවිතය පුරා හොයන හැම දෙයක්ම කේන්ද්‍රගත වෙන්නේ ගඳ සුවඳ මත. යොවුන් කෙල්ලන්ගේ දහදිය, ලේ සුවඳට ඉව අල්ලමින් ඒ සුවඳ උන්මන්තකයෙක් සේ දෝතට එක් කරමින් විඳින ඔහු සුවඳවත්ම Perfume එක හදන්න ඔහුගේ මුළු ජීවිතයම දිය කරනවා.

දඬුවම වෙනුවට දහස් සංඛ්‍යාත මිනිසුන්ගෙන් පෙරළා ඔහුට ආදරය ලැබෙන්නේ මහා පුදුමාකාර විදිහට. ඔහු හැදූ Perfume එකක බිඳුවක් රෙදිකඩක තවරා ඔහු ඒ රෙදිකඩ මිනිසුන් වෙතට සුළඟේ පා කරනවා. ඒ සුවඳට මිනිසුන් වශීකෘත වී ආදරයෙන් රාගයෙන් වෙළෙනවා. ඔහුගේ ඝාතක වේෂය ඒ සුවඳ ළඟ මිනිසුන්ට අමතක වෙනවා.

Perfume චිත්‍රපටයේ එන ඉතා සියුම් මනෝභාවාත්මක විග්‍රහය හුදු ෆැන්ටසියක් ලෙස බැහැර කරන්න බැහැ. මක් නිසාද යත් මිනිසා තුළ එවන් මනෝභාවයන් නිර්මාණය වීම සහ අනපේක්ෂිත අපේක්ෂාවන් තුළම මිනිසා කේන්ද්‍රගත වීම සිදුවිය නොහැක්කක් නොවන නිසා.

යමක් තම ජීවිතයම කරගත් පසු එයට මානවයා දක්වන ආශක්ත බව, ඇලීම, තෘෂ්ණාව මානව ස්වභාවයක්. පොදු සමාජයේ පවතින සදාචාරය, භීතිය, සම්ප්‍රදාය එතැනදී ඔහුට අමතක වීම හෝ තම අභිප්‍රායන්ට හා කැමැත්තට සාපේක්ෂව නොවැදගත් වීම සිදුවිය හැක්කක් සහ එය පොදු සමාජය තුළ අපි අත්විඳින යථාර්ථයක්. ඒ සියල්ල ඉතා තාත්වික ලෙස Perfume සිනමා රූපකාරකය තුළ හරි අපූරුවට දර්ශනයෙන් දර්ශනය දිග හරිනවා.
සෑම මිනිසෙකු තුළම මිනිසුන් දෙදෙනෙක් ජීවත් වෙනවා. මම හිතන්නේ එහෙම. මා සහ මම යන දෙදෙනාම එකම පුද්ගලයෙකු තුළ හුස්ම ගන්න බව මම විශ්වාස කරනවා. මා කියන්නේ පොදු සමාජයට අනුරෑපී ලෙස ඒ සමාජයේ නීති සම්ප්‍රදායන්ට සරිලන ලෙස සකස් කරන ලද විකෘතියයි. මම යනු ඒ විකෘතියෙන් උත්ථාන වූ ප්‍රකෘතියයි.

මා යටපත් කරගෙන මම ඉස්මතු වන සෑම තැනකදීම මිනිසා පොදු සමාජය ප්‍රතික්ෂේප කරන්නෙකු, සම්ප්‍රදාය නීතිය නොඉවසන්නෙකු සහ ඊට එරෙහි හිතුවක්කාරයෙකු විය හැකියි.
සංස්කරණය කරන ලද මා වෙනුවට මම යන ප්‍රකෘතිය තුළ සැබෑ මානවයා ජීවත්වෙන බව මගේ විනිශ්චයයි. ඒ විනිශ්චය Perfume තුළ නවමු දෘෂ්ටියකින් කියවන්න පුළුවන්.