2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කොරෝනා ලෝකයම ගිලගනිද්දි ගලා ආ ගී..

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:01 1575

ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව රටවල් 199ක් පමණ මේ වනවිට අකර්මණ්‍ය වී ඇති අතර ලොව පුරා සිටින ආසාදිතයන් සංඛ්‍යාව හත් ලක්ෂයකට ආසන්නය. ඔවුන් අතුරින් මරණයට පත් පිරිස 31750ක් පමණ වේ. බොහෝ රටවල ජනතාවට තම නිවෙස් තුළටම වී සිටින්නට සිදුව ඇති අතර ලෝක ආර්ථිකයද අර්බුදයකට ලක්වී තිබේ. එවන් වාතාවරණයක් තුළ විවිධ පුද්ගලයන් වෙතින් කොරෝනා වෛරසය පිළිබඳ කවි සහ ගීත නිර්මාණය වී තිබේ.

ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසය පිළිබඳ පැවසෙන කවි පන්තියක් ඉන්දියානු සුපිරි නළු අමිතාබ් බච්චන් සමාජ මාධ්‍ය මාධ්‍යය එළි දක්වා තිබේ. 

ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳ තම කනස්සල්ල පළ කරන ඔහු කොරෝනා වෛරසයෙන් ගැලවී සිටීමට අවශ්‍ය පූර්වාරක්ෂාවන් පිළිබඳව එම කවි පන්තියෙන් ඉදිරිපත් කරයි. වීඩියෝවක් මගින් ඉදිරිපත් කෙරෙන එම කවි පන්තිය ඔහු අතින්ම ලියැවුණකි. ආවාඩි උපභාෂාවෙන් කියැවෙන එම කවිය මෙපරිදිය. ඉධාර් කොරොන වයිරස් කෝ ලෙකර් බහෝට් චාර්චා හෝ රාහි හයි, බහෝට් නුක්සාන් හෝ රාහා හයි, සබ් ලොග් ගාර් හයින් ඖර් ගබ්රේ හියු හයින්, චින්ටා මේන් හයින් (කොරෝනා වෛරසය පිළිබඳ බොහෝ කතා බහ අප අපට ඇසේ. එම වෛරසයෙන් විශාල හානියක් සිදුවී ඇත. මිනිසුන් නිවස් තුළ රුඳී සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍යය ගැන කනස්සල්ලට පත්ව සිටිති.

තම නිවෙසේ ආරක්ෂිතව රුඳී සිටිමින් යමෙකු ගත යුතු විවිධ පූර්වාරක්ෂාව පිළිබඳව හා විවිධ මිථ්‍යා මතවලින් මිදෙන ලෙස ඔහු එම කවි පන්තියෙන් ඉල්ලා සිටී.
කොවිඩ් 19 වෛරසය පිළිබඳ වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ අප්‍රිකානු රටවලිනි. වෛරසය පරාජය කිරීමේ උත්සාහයක් ලෙස සංගීතය හා නර්තනය භාවිත කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
විනෝදජනක හා ආකර්ෂණීය ගීත මගින් සමාජ දුරස්ථභාවය අවම කිරීමත් නිසි ලෙස දෑත් සේදීම වැනි සෞඛ්‍ය ආරක්ෂක පුරැදු ප්‍රවර්ධනය කිරීමත් මෙහි අරමුණ වී තිබේ. දකුණු අප්‍රිකාවේ එන්ඩ්ලොව් යූත් කොයර් කණ්ඩායම විසින් කොරෝනා වයිරසය වැළැක්වීමේ පියවර පිළිබඳ ගීතයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සැරිසරමින් තිබේ.

දීප්තිමත් වර්ණවලින් යුත් සාම්ප්‍රදායික ඇඳුමින් සැදුණු එම කණ්ඩායම මෙම ගීතය ගායනා කරමින් නටමින් අප්‍රිකානුවන්ට ඉංග්‍රීසි හා සුලූ භාෂාවෙන් උපදෙස් මාලාවක් තම ගීතය මගින් ලබාදෙන්නට උත්සාහ කර තිබේ. තමන් මෙවැනි ගීතයක් නිර්මාණය  කිරීමට පෙළඹුණේ කොවිඩ් 19 වසංගතය පිළිබඳව අප්‍රිකානු සමාජය තුළ පැතිර ඇති මිථ්‍යා විශ්වාස හා වැරදි වැටහීම් සම්බන්ධයෙන් මිනිසුන් දැනුම්වත් කිරීමට සඳහා යැයි ඔවුහු පවසති. ඔබේ අත් සෝදන්න, ඔබේ මුහුණ ස්පර්ශ නොකරන්න. අපි කොරෝනා පරාජය කරන්නෙමු. කලබල නොවන්න. කටකතා පතුරවන්න එපා* එම ගීතයේ පදමාලාවයි. 

චීනයේ ජීවත්වන ඝානා ජාතික වෛද්‍යවරයකු වන පර්සි අකුඑතේ මැන්ඩරින් බසින් හිපොප් ගීතයක් නිර්මාණය කර තිබේ. වෙන්ෂෝ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු තිදෙනෙකුගෙන් සමන්විත අප්‍රිකානු සංගීත කණ්ඩායමක සාමාජිකයෙකි. පෙබරවාරියේදී නිකුත් කරන ලද මෙම ගීතයෙන් අකුඑතේ ලෝකයෙන් ඉල්ලා සිටින්නේ රෝගය නිසා ජීවිතය අත් නොහරින ලෙසත්, රෝගය ජයගන්නා තෙක් දිගටම සටන් කරන ලෙසටත්ය. එමඟින් කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කෙරේ.

දකුණු අප්‍රිකාවේ පැතිර යන කොවිඩ් වසංගතය පිළිබඳව එරට සියොන් ක්‍රිස්තියානි දේවස්ථානයද ගීතයක් නිර්මාණය කර තිබේ. කොරොන වයිරස්, ඊ ෆෙඩිට්සෙ සෙට්ෂබා
(කොරෝනා වෛරසෙන් බොහෝ අය මියයති) නම් එම ගීතයද අප්‍රිකානු රටවල ජනප්‍රිය වී තිබේ. 

කොරෝනා වයිරස් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා සංගීතඥයන් හා ගායකයන් විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබේ.
නයිජීරියානු ගායිකාවක් වන ආසා (බුකෝලා එලිමයිඩ්) කිවිසුම් යාමේදී වැලමිටේ ඇතුළු පැත්ත භාවිත කරන ආකාරය හා අත්සේදිය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ විනෝදජනක වීඩියෝවක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කර තිබේ. 
යුරෝපීය හා ඇමෙරිකානු ගායක ගායිකාවන්ද කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත ඉදිරිපත් කර තිබේ. කාඩි බී, ලේඩි ගගා සහ අරියානා ග්‍රෑන්ඩ් වැනි සුප්‍රකට ගායක ගායිකාවෝ ඒ අතර වෙති. කාඩි බීගේ කොවිඩ්-19 අනතුරු ඇඟවීමේ ට්වීටර් පණිවිඩය අයිමාර්කීස් නම් රුප් ගායකයා විසින් රැප් ගීතයක් බවට පත්කර තිබේ. 

ඉන්දියාවේ අලි සාෆර්, නරේන්ද්‍ර චන්චල් සහ ජයිම් ලිවර් වැනි ගායකයෝ මිනිසුන් තුළ ඇති කොරෝනා බිය තුරන් කිරීමේ අරමුණින් විවිධ ගීත නිර්මාණය කොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ. ධනුෂ්ගේ ඉතා ජනප්‍රිය ගීතයක් වන කොලවරි ඩි නමැති ගීතයේ තනුව ඇසුරින් ජයිම් ලිවර් ඇයි මේ කොරෝනා වසංගතේ (WHY THIS CORONA DESIESE) යනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබේ. ඔහුගේ ගීතය ආරම්භ වන්නේ කැස්සකිනි. මෙම රෝගය චීනයේ වුහාන් සිට ආරම්භ වූ බව, දෑත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවත් එම ගීතයෙන් කියැවේ.

අලි සාෆර්ගේ කෝ කෝ කොරොන වයිරස් ගීතය වීඩියෝව ආරම්භ වන්නේ අලි හින්දි බසින් මෙසේ කියමිනි. මේ වන විට සමස්ත මිනිස් සංහතියම සටන් කරන්නේ අප දරැණු අර්බුදයෙන් මිදෙන්නටයි.
කොරෝනා වෛරසයේ ජන්ම භූමිය වන චීනයේ ජැකි චෑන්, වැන් ලී හොම්, සියාවෝ ෂාන් වැනි ප්‍රකට ගායක ගායිකාවන් හා සිනමා තරුද එක්ව Believe Love Will Triumph නමින් ගීතයක් නිර්මාණය කර තිබේ. එය ලොව ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් කලකට ඉහත නිර්මාණය වූ වී ආ ද වර්ල්ඩ් නම් ගීතයට සමාන ගීතයක් වන අතර ඔවුන් එය නම් කර ඇත්තේ Corona Anthem ලෙසිනි.

වියට්නාමයෙන් Jealous Coronavirus නමින්ද, මෙක්සිකෝවෙන් La Cumbia Del Coronavirus නමින්ද, හොංකොං දේශයෙන් I sterilize, I sanitize නමින්ද සිංගප්පූරැවෙන් Fight the Virus නමින්ද, පිලිපීනයෙන් Stupid Cough නමින්ද ගී රැසක් නිර්මාණය වී තිබේ.

බොනි ඇම් නමැති සංගීත කණ්ඩායම දශක කිහිපයකට ඉහත නිර්මාණය කළ බ්‍රවුන් ගර්ල් නමැති ගීතය ඇසුරින් සුප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඩ්වයින් බ්‍රාවෝද කොරෝනා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ගීතයක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවේද විවිධ පුද්ගලයන් විසින් යූ ටියුබ් හා ෆේස් බුක් ඔස්සේ කොරෝනා ගී, කොරෝනා විරිදු ඉදිරිපත් කර ඇති අතර සමන් ලෙනින්, දයාන් විතාරණ ඇතුළු පිරිසක් එක්ව අපූරු ගීතයක් නිර්මාණය කර තිබේ.

 

► Text - Priyajan   /  Pic – Internet