2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

වැද්දා වැටුණු වැද්දා පැණි ඇල්ල

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 145

කොළම කොළපාට ගහකොළ සහ මහා ගල්කුළුවලන් ඉන් සමන්විත මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය වැඩිකරන්න වගේ නානා ප‍්‍රකාර කුරුලු රංචු ගී ගයනවා. ඒ අතරේ සීතල සුළං රැළි ගහ කොළ මල් සොලවමින් අපේ ඇඟේ වැදිලා හීගඩු නංවමින් හමාගෙන යනවා. ඒ අතරේ අපිට මහා හඬ දීගෙන ජල පහරක් ගලා යන ආකාරය ඇහෙනවා. මේ සුන්දරත්වය විඳින්න නම් ඔබට වැද්දා පැණි ඇල්ල ගාවට යන්නම වෙනවා.

පහුගිය සතියේ අපි මේ ට‍්‍රැවල් පිටුවෙන් ඔයාලට කිව්වේ පිටවල පතන සහ පුංචි ලෝකාන්තය ගැනයි. ඒ ආසන්නයේම තියෙන තවත් සුන්දර දියඇල්ලක් ගැන තමයි අද ඔබට මේ කියන්න හදන්නේ. මේ ඇල්ලට කියන්නේ වැද්දා පැණි ඇල්ල කියලයි. මුලින්ම මෙතනට යන විදිය ගැන කියලා ඉන්නම්කෝ. පිටවල පතනේ ඉඳන් කිලෝමීටරයක් විතර ගියහම හමුවෙන තුංමන් හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීට‍ර් හතරක් පහක් විතර ගම්මාන පසුකරමින් යන්න වෙනවා. කාර් එකක් වගේ නම් මේ කියන තැනටම යන්න පුළුවන්. නමුත් බස් එකකින් එහෙම ඔබ ගියොත් මීටර් 500ක් 600ක් විතර ඔබට බස් එක නතර කරලා පයින් යන්න වෙනවා. නකල්ස් රක්ෂිතයට තමයි මේකත් අයිති වෙන්නේ. මේ වැද්දා පැණි ඇල්ල ගැන කියද්දී මේ නම හැදුණු විදිය ගැනත් නොකියම බැහැ. දැන් මේ පළාතේ ජනාවාස වැඩිවෙලා තිබුණට ගොඩාක් කාලයකට කලින් මේ ප‍්‍රදේශයේ ජීවත්වෙලා තියෙන්නේ වැදි ජනතාව. එතකොට මේ වැද්දා පැණි ඇල්ල හරහා ගමන් කරන්න තිබිලා තියෙන්නේ ඒදණ්ඩක්. එදා හොඳටම වැහැලා වැහැලා වතුර හොඳටම වැඩිවෙලා තිබිලා තියෙන්නේ.

ඒදණ්ඩෙන් කිහිප දෙනෙක් අනිත් පැත්තට යමින් ඉද්දි පැණි මුට්ටියක් එල්ලගත්ත වැද්දෙකුත් ඒ අතරේ ඉඳලා තියෙනවා. ඒ පැණි මුට්ටිය එල්ලගෙන හිටිය වැද්දා පය ලිස්සලා මේ ඇලට වැටිලා තියෙනවා. ඒ සද්දය ඇහිලා කවුද වැටුණේ කියලා එක් අයෙක් ඇහුවම වැද්දට පස්සෙන් හිටිය කෙනෙක් කියලා තියෙනවා පැණි ගේන වැද්ද වැටුණා කියලා. ඒ හේතුව නිසා වැද්දා පැණි ඇල්ල කියලා මෙය හඳුන්වනවා කියලා ගමේ සැඳෑ සමය ගත කරමින් ඉන්න මාමා කෙනෙක් තමයි අපිට කිව්වේ. මෙතනට ගිහිල්ලා ඔබ නාන්න එහෙම හිතාගෙන ඉන්නවනම් ඔබට කියන්න ඕනම කරණයක් තියෙනවා. ඒ තමයි මේ වැද්දා පැණි ඇල්ල පාලම ගාව මරණ 08 කුත් තෙල්ගමුව පාලම අසළ මරණ 22කුත් ආසන්න කාලයේ සිදුවෙලා තියෙනවා කියලා විශාල පුවරු පවා සවිකරලා තියෙනවා. ඒ වගේම මේ සුන්දර ස්ථානයේ මත්පැන් බීම අනාචාරයේ හැසිරීම සහ කුණුකසළ බැහැර කිරීම සපුරා තහනම් කියලත් පුවරු සවිකර තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙතන ඉතාම රමණීය තැනක්. ඒත් වැසි දිනවල හිටිගමන් ජලකඳ වැඩිවෙන නිසා ප‍්‍රවේශම් වෙන්න කියන එක නැවතත් මතක් කරනවා. ඒ වගේම මේ ස්ථානයේ පොලිතීන් ප්ලාස්ටික් එහෙම දාලා යන්නෙපා කියන්නේ මේ ප‍්‍රදේශයේ වැලි මුවන් සහ ගෝනුන් ජීවත්වෙනවා. ඔවුන් ඒවා ආහාරයට අරන් මියයනවා. ඒ හින්දා කිසිම විටෙක මේ තැන්වල කැළිකසළ අපද්‍රව්‍ය බැහැර නොකර මෙතන තියෙන සුන්දරත්වය විඳලා මතු පරපුර සඳහාත්  ඒ සුන්දරත්වය විඳින්නට අවස්ථාව සලසා දීමට කාරුණික වන ලෙස මතක් කරනවා.

 

► Text- chandana / Pic – Channa kassapa