2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මම සැබෑ කළේ තාත්තාගේ හීනයයි...

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 474

සශිකා... මුලින්ම අලුත් සම්මානයට හදසර අපේ සුභපැතුම්.
ගොඩක් ස්තූතියි. කොහොමටත් දේශය පත්තරය මගේ හැම ජයග්‍රහණයකදීම මට සුභපැතුම් එකතු කරපු පුවත්පතක්.

මේ කීවෙනි සම්මානයද?
ජනප්‍රිය ගායිකාවට හිමිවන Peples Award ලබපු මේ පස්වෙනි අවස්ථාවයි. එක දිගටම වසර පහක් මට මේ සම්මානය හිමිවුණා. මේක ජනතාවගේ කැමැත්ත අනුව ලබපු සම්මානයයි. 2016 වසරේ සිට ඒ සම්මානය මට ලැබුණා. නමුත් ඊට පෙර වසර වලදීත් කිහිප වතාවක්ම මට ඒ සම්මානයට නිර්දේශ වෙන්න අවස්ථාව ලැබුණා. මම නිතරම මගේ ආදරණීය ජනතාව එක්ක ඉන්න කෙනෙක්. අවුරුදු විස්සක් තිස්සේ ප්‍රසංගවලට සහභාගී වුණා. ඒ හැම එකකදීම රසිකයන්ගේ ආදරය මම සජීවීව අත්වින්දා. ඒ හැම වෙලාවෙම ළඟට ඇවිත් ඔවුන් කතා කරනවා. ෆොටෝ ගන්නවා. ඒ ආදරය මම නිතරම ලබන කෙනෙක්. ඒ ආදරය සම්මානයක් විදිහට මෙහෙම අතට ලැබීම ගැන ඇත්තටම දැනෙන්නේ ලොකු සතුටක්. මේ සම්මාන පහත් සමඟ මේ වෙද්දී මම සම්මාන විස්සක් ලබලා තියෙනවා. මේ හැමදේම පිටිපස්සේ හිටපු පිරිස වැඩියි.

ගායිකාවක් වීමේ හීනය සශිකාට තිබුණාද?
මුලින්ම මේ හීනය මගේ තාත්තාටයි තිබුණේ. මට නොතේරෙන කාලේදී, මට වචන හසුරවල කතාකරන්න පුළුවන් කාලේ ඉඳන්ම මම සින්දු කිව්වා. ඒ නිසා සින්දු කියන්න පුළුවන් කියලා මුලින්ම දැනගත්තේ මගේ තාත්තායි. මගේ තාත්තා යූ.ජී. ජයසුමන. තාත්තාගේ පරම්පරාවේ අයට තාත්තා වගේම ගායනා කිරීමේ හැකියාව තිබුණා. මගේ අම්මගේ නම පී. ජයසුමන. අම්මටත් සිංදු කීමේ හැකියාව තිබෙනවා. හැබැයි තාත්තාට ඉදිරියට එන්න බැරිවුණ දේ මා හරහා ඉදිරියට ගෙනයන්න තාත්තාට ඕන වුණා.

ගමේදීත් සශිකා ගායිකාවද?
ඔව්... මගේ ගම උඩුපන දැරැණියගලයි. ගමේ ඉඳන් නගරයට අපිව එක්කගෙන තාත්තා ආවෙත් මේ අධ්‍යාපන කටයුතු වගේම සංගීත කටයුතු නිසාමයි. ඒ කාලේ අපිට විදුලියවත් තිබුණේ නැහැ. ඒ තරම් ඒ කාලේ ඒ ගම දුෂ්කරයි. හැබැයි අද නම් එහෙම නැහැ. පුංචි කාලේ ඉඳන් තාත්තා මාව රූපවාහිනිය උදාර වැඩසටහනට ගුවන්විදුලියේ හඳමාමා වැනි වැඩසටහන්වලට මට නොතේරෙන කාලයේදීත් එක්කගෙන ආවා. ඇත්තම කිව්වොත් සංගීතයේ මගේ මුල්ම ගුරුවරයා වන්නේ මගේ තාත්තායි. මට තාම මතකයි ගමේ විදුලිය නැතිවුණත් තාත්තා බැටරි දාපු ගුවන්විදුලියෙන් අපිට ගීත අහන්න සැලැස්සුවා. අපේ ගෙදර පොඩි කී බොඩ් එකක් තිබුණා. තාත්තා ඒකෙන් මට පොඩි සින්දු කියලා දුන්නා. මේ තාත්තාගේ හීනය. ඒ හීනය හැබෑ කරන්න ලැබීම ගැන තිබෙන්නේ ලොකු සතුටක්.

සශිකා පාසැල් කිහිපයකින්ම අධ්‍යාපනය හැදෑරුවා නේද?
ඔව්... මම පාසැල් හතරකින් අධ්‍යාපනය හැදෑරුවා. මූලික අධ්‍යාපනය ලැබුවේ දැරණියගල උඩුපල කණිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසුව අපේ පදිංචිය වෙනස් වීමත් සමඟ තාත්තා මාව අවිස්සාවේල්ල නව කණිෂ්ඨ (ජනාධිපති) විද්‍යාලයට අධ්‍යාපනය හැදෑරීමට දැම්මා. ඉන්පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයෙනුත් උසස්පෙළ විභාගය සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. ධර්මපාල විද්‍යාලයේ ධනවර්ධන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මට සංගීතයට ගොඩක් උදව් කළා. හතර වසරේ ඉඳන් මම ඉන්දියානු රාගධාරී සංගීතය හැදෑරැවා. උසස් පෙළ පන්තියේදී මම සංගීතය හැදෑරැවේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මිස්ගෙන්. උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලයේදී තුරුණු ශක්ති ගී තරගාවලියට මම සම්බන්ධ වෙලා ජයග්‍රහණය දිනාගත්තා. කැලණි විශ්වවිද්‍යාලයේදීත් මම ඉගෙන ගත්තේ සංගීතයයි.

අද වෙද්දී සශිකා සම්මාන විස්සක හිමිකාරියක්. මතකද මේ සම්මාන අතරේ මුල්ම සම්මානය ලබපු දවස...?
ඔව්... මම ලබපු තුරුණු ශක්ති සම්මානය ජාතික මට්ටමේ සම්මානයක්. ඒක තමයි මට මුල්වරට ලැබුණේ. ලොකු බරක් දැනුණු සම්මානය වුණේ. ඒක මගේ ජීවිතේ ලොකු සම්මානයක් කියල මුලින්ම දැනුණු සම්මානය වුණා. ඒ වෙද්දී මම ක්ෂේත්‍රයේ යම් යම් වැඩකටයුතුවලට සම්බන්දව හිටියට ලොකු අත්දැකීම් තිබුණේ නැහැ. නමුත් තුරුණු ශක්ති සම්මානය අතේ තියාගෙන තමයි ක්ෂේත්‍රත් මට ඉදිරි ගමන යන්න පුළුවන් වුණේ. ඒක මගේ ජීවිතේ ලොකු සංධිස්ථානයක් වුණා. ඒ සම්මානය ලබපු රාත්‍රිය මගේ ජීවිතයේ හරි අපූරු රැසක් වුණා. මට තාම මතකයි ඒ අවසන් තරගයේදී තාත්තා මට කිව්වේ. පුතේ ඔයා ඔයාගේ ගායනය සාර්ථකව කරන්න. දිනුමට ඕනේ නැහැ කියලා... ඒක තමයි මටත් ඕනේ වුණේ. මගේ අංකය වුණේ දහතුන. බොහෝ දෙනා දහතුන කියන අංකයට එච්චර කැමැති නැහැ. නමුත් අදටත් මම ඒ දහතුන අංකයට හරි කැමතියි. දෛවය කියන්නේ හරි අපූරු දෙයක්. මට තාම මතකයි මම හතේ පන්තිය ඉඳිද්දී ගුවන්විදුලිය ගීත කැකුළු කියලා ගී තරගයක් පැවැත්වූවා. ඒකේ අවසාන තරගයටත් මම තේරුණා. එදා විනිශ්චය මණ්ඩලයට රෝහණ බෝගොඩ මහතාත් හිටියා. ඊට අවුරුදු ගණනාවකට පස්සේ එතුමන් එක්ක 60+ සංගීත තරගය විනිශ්චය කරන්න මටත් අවස්ථාව උදාවෙලා තියෙනවා.

සශිකා... සැමියා සහ දරුවන් දෙදෙනා එක්ක ගෙවන ජීවිතේ ගැනත් ටිකක් කියමුද?
ඔව්... මගේ සැමියා සුරංග. මම විවාහ වෙනතුරුම අම්මා, තාත්තා, මගේ මල්ලී මගේ හෙවනැල්ල වගේ මගේ පස්සෙන්ම හිටියා. දැන් මගේ සංගීත වැඩවලට මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහුගේ රැකියාවෙන් පවා ඔහු අයින් වෙලා මාත් එක්කම මගේ වැඩකටයුතුවලට ඒ සහයෝගය ලබලා දෙනවා. දැන් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා මිහින්, පොඩි පුතා හිරුත්, සුරංග දරු දෙන්නයි. වෙනුවෙන් ලොකු කැප කිරීමක් වෙනවා. මේ ගමන සාර්ථකව මට තනියම යන්න බැහැ. ඒ ගමන යන්න මගේ මව්පියන් වගේම සුරංගගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මේ ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි.

 

► Text - Dishani   /  Pic – Sumudu