2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනා විරුවන් සහ ජඩයන් කවුද?

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 274

රට ගිහින් ලොක්කෝ වෙච්ච ගොන්නුන්ගේ හැසිරීම අන්තිමයි අසෝබනයි

ගයාන් වික්‍රමතිලක

අපේ ලාංකිකයන් අනිත් රටවල මිනිස්සුන්ට වඩා සෑහෙන්න වෙනස් කොට්ඨාසයක්. අපේ ලාංකිකයන් බෝහෝ සංවේදියි. ඒ වගේම හරිම උද්දච්චයි. හරිම ආවේගශීලී විදිහට හැසිරෙනවා. තවත් කෙනකුට ගරැත්වයක් දීලාවත් කතා කරන්න බැරි කොට්ඨාසයක් අපේ මේ රටේ ජීවත් වෙනවා. මේ හැමදේම තීරණය කරන්නේ තමන් කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. මේ නිසා සමහර අවස්ථාවලදී ඔවුන් හරිම ආත්මාර්ථකාමීයි.

පරුෂ වචනයෙන් බණින, නරක විදිහට කතා කරන පිරිසක් නිසා අද අපේ රට අනතුරකට පත්වෙලා තියෙනවා. හරි ආත්මාර්ථකාමී එවැනි මිනිසුන් නිසා මේ රට අද ඉන්නේ හරිම බයෙන්. විශේෂයෙන් කොරියාවෙන්, ඉතාලියෙන් ආපු අයගෙන් පිරිසක් ගුවන් තොටුපළේදී මේ නිරෝධායනයට අකමැත්ත පළකරලා හැසිරුණු විදිහ ඇත්තටම හරිම අශෝභනයි. මොවුන් කොරියාවට හරි ඉතාලියට යන්න කලින් මේ රටේ සාමාන්‍ය ජීවිතයක් ගතකරපු මිනිස්සු හරියට රස්සාවක් කරගන්න බැරිව, හරියට අධ්‍යාපනයක් කරගන්න බැරිව සමහරු ගම්වල ඉබාගාතේ ඇවිදපු අය. පිටරට රස්සාවකට ගිහින් අපේ රටට මෙහෙම සලකන එක ඇත්තටම හරිම කැතයි. මේ හැමෝම පිටරට ගියේ තමන්ගේ දියුණුව උදෙසායි.

තමන්ගේ රට, තම ඥාතීන් අතහැරලා දාලා ඔවුන් පිටරටට ගියේ ඔවුන්ගේ දියුණුව වෙනුවෙනුයි. එහෙම නැතිව මේ රටේ දියුණුව ගැන හිතලා නොවේ. ගමේ රස්තියාදු ගහපු සමහර පිටරට ගිහින් සල්ලි ටිකක් අතපත ගාලා බැංකු ගිණුමේ සල්ලි ටිකක් පිරුණට පස්සේ ඒ ලාංකිකයන් හිතන්නේ මේ රටේ අනාගතයම තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට කියලා. එක වතාවක් කෙනෙක් කියලා තිබුණ දෙයක් තමයි ඒ අය “මේ රටට හම්බ කරලා සල්ලි දෙනවා. කියලා. ඒ කවුරැවත් ඉතාලි ඉඳන්, කොරියාවේ ඉඳන් සල්ලි දාන්නේ මහ බැංකුවේ ගිණුමට නෙමෙයිනේ. ඒ හැමෝම රස්සාවල් කරලා සල්ලි දාන්නේ ඒ අයගේම පෞද්ගලික ගිණුම්වලයි. යම් විදේශ විනිමයක් ලැබෙනවා තමයි. නමුත් ඒ බොහෝ අය හරි උද්දච්ච කතා තමයි කියන්නේ. ඒ අයගේ ආත්මාර්ථකාමී හැසිරීම් නිසා අද අපේ රටේ පොඩි දරැවාගේ සිට වැඩිහිටියාගේ ජීවිතය දක්වා හරිම අවදානම් තත්ත්වයකයි තියෙන්නේ.

එවැනි මිනිසුන් නරක විදිහට හැසිරෙද්දී මේ රටේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් ගැන අපි කතා කළයුතුමයි. ඔවුන් ළඟ හරි අපූරු විනයක් තියෙන්නේ. ඒවගේම හොඳ හික්මීමක් තියෙනවා. ඕනෑම පිරිසකට ඒ විනය පුරුදු වුණාට පස්සේ ඔවුන් ඒ විනය ඇතිව තමයි රාජකාරී කරන්නේ. රටට ඇතිවෙන ස්වභාවිකව හෝ සිදුවන විපතකදී අනතුරකදී, රෝග බියකදී අපේ ගැලවීමට ඉන්නේ අපේ මේ දෙවිවරැ වගේ ඉන්න ත්‍රිවිධ හමුදාවයි සහ පොලීසියයි. මේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසිය ඉන්නේත් අපේ සහෝදර සහෝදරියන්. අපේම කොට්ඨාසයක් එවැනි ලෙස රට රකිද්දී තවත් පිරිසක් අපේ රටේ ජීවිත අසරණ කිරීම ගැන ඇත්තටම පුදුමයි.

ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ වීරයන්ගේ මෙහෙවර අතිවිශිෂ්ඨයි

දුලිකා මාරපන

ලෝකයටම වසංගතයක් ආවම අපිට විතරක් ඒකෙන් බේරිලා ඉන්න පුළුවන් කමක් නැහැ. අතීතයේ සිට වසූරිය වැනි රෝග වසංගතයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වුණා. නමුත් ඒ හැම මොහොතකදීම ඒවා සාර්ථකව මර්දනය කරන්නට අපේ පුංචි රටට හැකියාව ලැබුණා. අපේ රට පුංචි වුණාට, ලෝකයේ විශාල සංවර්ධන වුණු රටක් නොවුණාට ඒ වසංගතයන් මර්දනය කරගැනීමේ හැකියාව අපිට තිබුණා. ඒකට අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තීකරණය ප්‍රධාන හේතුව වුණා. අපිට එදා යහපත් ආහාර, සංස්කෘතියක් තිබුණා. අපිට හොඳ පරිසරයක් තිබුණා. ගහකොළ තිබුණා. හොඳ ඔක්සිජන් වාතාශ්‍රයක් අපිට තිබුණා.

නමුත් වර්තමානය වෙද්දී තත්ත්වය යම්දුරකට වෙනස් වෙලා තියෙනවා. අපි කන්නේ වසවිසයි. මේ ආහාරපාන අනුභව කරන්නට එපායැයි මම අනන්තවත් මිනිසුන්ට කිව්වා. ශරිරයට ප්‍රතිශක්තිකරණය කළහැකි ආහාරපාන අනුභව කරන්නයැයි මම බොහෝ අවස්ථාවල ඉල්ලීම් කළා. අපේ රට තුළ මේ වසංගත රෝගය ව්‍යාප්ත වන්නට මේ ප්‍රතිශක්තිකරණය අඩුකමත් ප්‍රධාන හේතුවක් වෙනවා.

වෙන රටවල්වලට ගිහින් බැලමෙහෙවරකම්, රැකියාවල් කරන්නේ අපේ රටේ මිනිස්සු ටිකනේ. මේ මිනිස්සු අසරණ වෙද්දී ආපහු හැරිලා එන්න වෙන්නේත් මේ රටටමනේ. ඒ නිසා එක්තරා අවස්ථාවක මම දැඩි ලෙස විශ්වාස කරපු දෙයක් තමයි මේ රටට එන පිරිසට ආරක්ෂාව මේ රට තුළ දිය යුතුයි කියලා. ඒ පිළිබඳවත් මම යම් යම් තැන්වලදීත් කිව්වා. නමුත් ඒ විශ්වාසය ඒ රටට ආපු අය තිබ්බේ නැහැ. මව්බිමට එද්දී මව්බිම ඔවුන්ව ආදරයෙන් බලාගනිද්දී, ඔවුන් මව්බිම ආදරෙන් බලාගත්තේ නැහැ. අපේ ආපු ඒ මිනිස්සු බහුතරය හරි ආත්මාර්ථකාමී මිනිසුන් කියලා ඔවුන් දැන් ඔප්පු කරලා හමාරයි.

එහෙම ආදරෙන් බාරගත්තු අපි “වරෙන් අපේ රටට කියලා බාරගත්තු මේ මිනිස්සු බහුතරය නිසා නිරෝධායනයට සහභාගී නොවී කරපු ආත්මාර්ථකාමී දේ නිසා අද මේ රටම අවදානමකයි ඉන්නේ. ඒක මේ බෞද්ධ රටේ ඇතැමුන්ගේ ලක්ෂණයක්. “මේ මගේ රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරගත යුතුයි. කියන හැඟීම ඔවුන් ළඟ තිබුණේ නැහැ. ඒ නිසා තමන්ට යම් සැකයක් තියෙනවා නම් අනේ ආදරණීය මිනිසුනේ අනිකා ගැන හිතපල්ලා. මේ රට ගැන, මේ රටේ කුඩා දරුවන් ගැන හිතපල්ලා. අපි මහ විශාල සංවර්ධනයක් වෙච්චි රටක් නොවේ. අපේ රටේ පහසුකම් ඉතා සීමිතයි. මේ සීමිත පහසුකම්වලින් අපිට ඔරොත්තු නොදුන්නොත් මේක මුළු රට තුළම ව්‍යාප්ත වෙලා යාවි. එහෙම වුණොත් අපි ඔක්කොම එක රොත්තටම වැලලිලා යාවී. ඒ නිසා තමන් ගැන යම් සැකයක් තියෙනවා නම් තමන්ට තමන් ගැන සැකයක් පවතී නම් නිරෝධායනය විය යුතුමයි.

මම මේ රටේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට හිස නමා ආචාර කරනවා. ස්වේඡ්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබලා දෙනවා නම් මාත් ඔවුන් සමඟ වැඩ කරන්න සූදානම්. සියලුම අපහසුතා මඟහරවා ඔවුන් කරනා මේ කාර්යන් ඉතා විශිෂ්ඨයි. ඒ විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔවුන්ට යම් විදිහකින් හෝ සහයෝගයක් අවශ්‍ය නම් ඒ සහයෝගය ලබලා දෙන්න මම සූදානම්. 

ආත්මාර්ථකාමින්ගේ හැසිරීම හරිම වැරදියි

පේෂල මනෝජ්

පිටරට ඉඳන් අපේ රටට ආපු සමහර මිනිසුන් හැසිරුණු විදිහ ඇත්තටම වැරදියි. පොඩි රටක් විදිහට අපේ රටට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. හැබැයි සමහරු කියපු දෙයක් තමයි. “සමහරුන්ට විතරක් හොඳට සැලකුවා. කියලා කිව්වා. එහෙම වුණානම් ඒකත් වැරදියි. සමහරු “චීන ජාතිකයින්ට කරදරයක් නැහැ. එයාලාව පරීක්ෂා කරන්නේ නැහැ. කියලා කිව්වා. මොනයම් හෝ හේතුවක් මත හෝ දේශපාලනික මත හෝ එහෙම දෙයක් වෙනවා නම් ඒකත් වැරදියි.
“කොරෝනා කියන ප්‍රශ්නය නැතිව අපි දෙයියනේ කියලා හිටපු රටක්. නමුත් මොනයම් හෝ හේතුවක් නිසා පිරිසකගේ ආත්මාර්ථකාමී හැසිරීම් නිසා මේක අපිටත් ඇතිවුණා. අපේ රටේ ප්‍රශ්න හැමදාමත් අපිට තමයි විසඳ ගන්නේ. දේශපාලනඥයින් මේ හැමදේම ඔවුන්ගේ වාසි කතා හරවා ගන්නට උත්සහා කළා. ඒ අපගේ උන්නදුව තිබුණා නම් මේ වසංගතය මේ රටට ඇතුළු කරගන්නට බැරි විදිහට වැඩ කරගන්න තිබුණා. නමුත් අද වෙනකොට මේ රටේම මිනිස්සු ඉන්නේ හරිම අවදානම් ජීවිත තත්ත්වයක. අද ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ සහයෝගය මෙවරත් අපේ අහිංසක මිනිසුන්ට ලබලා දුන්නා. රටේ සිදුවුණු, සිදුවෙන හැම ආපදාවකදීම, වසංගතයකදීම විපතකදීම මිනිසුන්ට උදව් දුන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු රණවිරුවනුයි. මේ අවදානම් තත්ත්වය ඔවුන්ට තියෙනවා ඔවුන්ගේ පවුලේ අයටත් තියෙනවා. නමුත් ඒ හැමදේම මේ රට වෙනුවෙන් ඔවුන් අමතක කළා. ඒ නිසා ඒ හැමදෙනාටම අපි හිස නමා ආචාර කළ යුතුමයි. 

නිරෝධායනයට ගෙනියන්නේ වකුගඩු ගලවන්න නෙවෙයි රට බේරාගන්න

රොෂාන් ප්‍රනාන්දු

ඇත්තටම අපේ රටට සිදුවුණු මේ වසංගතය ගැන පිටරටවල්වලින් ආපු ශ්‍රී ලාංකිකයන්ට හරි දැනුවත්කමක් නැහැ කියලා කියනවා නම් ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. අපි කාටත් “ඕනෑම දෙයකින් හැංඟුණත් ලෙඩකින් හැංගෙන්න බැහැ. ඒක තමයි ඇත්තම කතාව. නමුත් ලංකාවට ආවට පස්සේ බොහෝ දෙනා තමන්ගේ ඒ ලෙඩෙත් හංඟන්න උත්සහ කළා. අවංක හැඟීමක් මේ රට ගැන ඔවුන්ට තිබුණා නම් ඒ අයට ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වී මේ පිළිබඳව පරීක්ෂණ කරගත යුතුව තිබුණා. නමුත් ඔවුන් හරි ආත්මාර්ථකාමී පිරිසක් වුණා. පිටරටවල්වලින් මෙරටට බොහෝ පිරිසක් පැමිණියා. ඒ අය අතරින් පිරිසක් විසින් ආත්මාර්ථකාමී හා උද්දච්ච ලෙස හැසිරීම නිසා අද අපේ රටම ඉන්නේ අවදානමක.

නිරෝධායන කටයුත්තක් මුදල් දී කරගන්නවා නම් කොයිතරම් මුදලක් වැයවෙනවාද? නමුත් මේ රටේ මිනිසුන්ට ව්‍යාප්ත නොවන්නට මේ දේ ආණ්ඩුවෙන් නොමිලේ ලබා දෙනවා. ගුවන් තොටුපොළේ කාර්යමණ්ඩලය, සෞඛ්‍ය නිලධාරින් ලොකු අවදානමක් ගෙන මේ කටයුත්ත සිදු කරන්නේ. සමහරුන්ට “නිරෝධායනය කියන වචන හරියට තේරුම් ගන්නටවත් දන්නේ නැහැ. නිරෝධායනයට මේ පිරිසව ගෙනයන්නේ වකුගඩුවක් ගන්නවත්, අවයව ගන්නවත් නෙමේ. මේ රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කරන්නටයි. ඔවුන්ට රැගෙන යන්නේ. අසනීපයක් නැත්නම් ඔවුන් ඒ අදාළ දවස් ගණන තියාගෙන ඉඳලා නැවතත් තම නිවැස්වලට යාමට හැකියාව ලැබෙනවා. යම් අසනීප තත්ත්වයක් ඇත්නම් ඒ මනුස්සයාට රාජ්‍ය අනුග්‍රහයෙන් සියලුම අවශ්‍ය ප්‍රතිකාර ලබලා දෙනවා. ඇත්තටම තමන්ගේ රට ගැන ආදරයක් නැති මිනිස්සු මේ රටේ මිනිස්සු ගැන ආදරයක් තියේවිද?
මේ මිනිස්සු ලංකාවට පැමිණ තමන්ගේ නිවෙස්වලට තමයි යන්නේ. ඔවුන්ගේ වයසක මව්පියන්, දරුවන් මේ නිවෙස්වල ඉන්නවා ඇති. ඒ නිසා මුලින්ම ඔවුන් අවදානමට පත්කළේ මේ තමන්ගේම පවුලේ අයයි. ආත්මාර්ථකාමී පිරිසක් නිසා අද අපේ රට අවදානම් තත්ත්වයට පත්වෙලා.

මේ මොහොතේත් තමන්ගේ රාජකාරිය දේවකාරිය සේ සලකා රට ජාතිය වෙනුවෙන් මහන්සි වන රණවිරුවන්, ගුවන් තොටුපළේ සියලුම කාර්ය මණ්ඩලය වගේම සෞඛ්‍ය නිලධාරීන් සෑම දෙනාම මේ මොහොතේ ජාතික මෙහෙවරක් කරන්නේ. ඒ හැමෝටම ශ්‍රී ලාංකික අපි ණයගැතියි.

රට ගැන හිතන්නේ නැති කාලකන්නි අවජාතකයන් ඉන්නකම් වසංගතය ඉවර නෑ

රජිත හිරාන්

මම වැඩිපුරම සංචාරය කරපු රට වන්නේ ඉතාලියයි. මගේ සහෝදරයා රැකියාව කරන රට වන්නේ කොරියාවයි. මම ඕනෑ තරම් ඉතාලියේ, කොරියාවේ සංචාරය කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරලා තියෙනවා. මේ මට මුණගැසුණු පිරිසෙන් සියයට හැත්තෑපහක් පමණ පිරිසක් හරි හොඳයි. නමුත් වෙනදාටත් අපි ඒ රටට ගියාම එක්තරා සුළු ආත්මාර්ථකාමී පිරිසකුත් ඉන්නවා.

සාමාන්‍යයෙන් ඔය බෝට්ටුවක් පෙරළෙන්න යනවා කියලා කියද්දීත් මුලින්ම ඒ නැවෙන් එළියට පනින්න උත්සහ ගන්නෙත් ආත්මාර්ථකාමී පිරිසනේ. ඒ නිසා මට නම් හිතෙන්නේ අදටත් පරාර්ථකාමී පිරිස තවමත් ඒ රටේ හුදෙකලාව ඉන්නවා. පළවෙනි ආත්මාර්ථකාමී පිරිස තමයි මෙහෙම මේ ගොඩබැස්සේ.

විශ්වාස කරන්න... මම රට ඉන්න පිරිසට අපේ රටට එන්න කියලා වීඩියෝ එකක් පවා දැම්මා. නමුත් අද මට ඒ වීඩියෝ එක දාපු එක ගැනත් තියෙන්නේ ලොකු පසුතැවීමක්. ඒ මේ ආත්මාර්ථකාමී පිරිස නිසායි. කිලෝමීටර් ගාණක් ටැක්සි එකක ලොකු මුදලක් ගෙවාගෙන මේ රටට ලෙඩ බෝ කරන්න ආපු ලෙඩ්ඩු මේ අතරේ ඉන්නවා. තමන්ගේ තාත්තාව මරාගන්න ඉතාලියේ ඉඳන් ලෙඩ අරගෙන ආපු පුත්තු මේ අතරේ ඉන්නවා. මූණ පුරා සුදු ගාගෙන නූගත්කම කටින් පිටකරපු හුඟාක් ගෑනු මේ අතරේ ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ නූගත්කම ලංකාවට ඇවිත් පෙන්නුවා. ඒ නිසා ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලය වෛද්‍යවරැන් ඇතුළු සියලුම සෞඛ්‍ය නිලධාරීන්, වගේම හැමදාමත් වගේම අපිට උදව් කරන අපේ වීර සෙබළුන්ටත් අපි හිස නමා ආචාර කරනවා. මේ වසංගතය ඉවර වෙලා මාස තුනක් ගියාට පසුව නැවතත් අපේ මිනිස්සු රණවිරුවන්ට අට පාස් ආමිකාරයෝ කියලා කියාවි.

තමන්ගේ රාජකාරියටත් එහා කළත් ඒ රණවිරුවාව අමතක කරන අපේ ජාතිය හැමදාමත් ඔවුන්ට කුණු කතා, බලු කතා කියන නිසා මම හිතන විදිහට ඊළඟ වසංගතයත් වැඩි ඈතක නැහැ. ඔය ආපු සුළු පිරිස වගේම ලංකාවේ තව පිරිස ඔය කුණු කතා මේ අපේ වීර කොල්ලන්ට කෙල්ලන්ට කියාවි. සහරාන් ගහපු වෙලාවේ මැදිහත් වුණු රණවිරුවාට ආයේ අපහාස කරන්න ගත්ත නිසා තමයි මේ කොරෝනාව ආවේ. රට ගැන හිතන්නේ නැති කාලකන්නි අවජාතකයෝ නිසා සැමදාමත් අපේ රටට වසංගත ඒවී. ඒක නැතිකරන්න නම් මේ ආත්මාර්ථකාමී කලාකන්නින්ව නැති කරන්නම ඕනේ. 

ස්වභාව ධර්මයට එරෙහි වුණොත් ප්‍රතිඵල භයානකයි

වෛද්‍ය අසේල විජේසුන්දර

මේ විශ්වයේ මිනිසුන්ගේ විනිශ්චයකාරයා විදිහට මම දකින්නේ ස්වභාවධර්මය. හෝමෝ සේපියන් සේපියන්ගේ ඉඳන් මේ විශ්වයේ බිහිවුණු හැම මානවයෙක්ම ස්වභාවධර්මය සමඟ ගනුදෙනු කළා.ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු විවිධාකාරයි. රතු ඉන්දියානු නායක සියැටල් වගේ ස්වභාවධර්මයට මේ මහපොළොවට සහෝදර සෙනෙහසකින් ආදරය කරපු මිනිසුන් මේ ලෝකයේ ඉතාම විරලයි. විද්‍යාව තාක්ෂණය සංවර්ධනය අතින් ලෝකය මොන තරම් දියුණු ගමනක් ගියත් ස්වභාවධර්මයේ නියත ධර්මතා ළඟ සමස්ත මානව සමාජයම පරාජිතයි. ස්වභාවධර්මයට එරෙහිවීමේ සෑම ප්‍රතිවිපාකයක්ම අවසානයේ හරි රුදුරුයි. කොරෝනා වෛරසයත් ස්වභාවධර්මයේ සමතුලිත බව බිඳී යාම, ඉවසීමේ රතු ඉර පැනීම, ස්වභාවධර්මයට අවසඟව යන ජීවීන් අතිරික්තයක් සේ සලකා බැහැර කිරීමට ඇති අවශ්‍යතාවය යන බොහෝ හේතූන්ගේ ප්‍රතිඵලයක් විය හැකියි.

රසායනාගාරයක් තුළ වැඩිදියුණු කළ වෛරසයක් වුවත් නොවුණත් එය මානව සමාජය වෙත සිතාමතා හෝ අතපසු වීමකින් මුදාහැරීම සිදුවී තිබුණත් නොවුණත් කොරෝනා වෛරසය යනු ස්වභාවධර්මයේ තීරණයක් වෙන්න පුළුවන්. අද විද්‍යාවත් අසරණයි. තවම මේ වෛරසය මැඩපවත්වන්න, එන්නතක් ඖෂධයක් සොයන්න වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක නොහැකියාවක් බවට පත් වෙනවා.
මෙතැනදී සිංහල බෞද්ධ ආචාර විධින්හි තියෙන සමාජ විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමත් හරිම ඉහළයි. අපි ආචාර කරන්නේ ආයුබෝවන් කියලා දෑත් එකතු කරලා. අපරදිග සංස්කෘතිය තුළ අතට අත දීම, සිප වැළඳගැනීම වැනි ආචාර විධි මගින් රෝග බෝවීම හා බෝ කිරීම යන දෙකම සිදු කරනවා. එහෙත් ආයුබෝවන් කීම යන ආචාර විධිය තුළ පුද්ගලයා ආරක්ෂිතයි. ඔහු විෂබීජ වාහකයක් වෙන්නෙ නෑ. විෂබීජ ආසාදනයට ලක් වෙන්නෙත් නෑ.

අනිත් කාරණය තමා පෙරදිග තිබුණු ආහාර සංස්කෘතිය. එය මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය සහ නිරෝගී බව ඇති කළා. සිංහල ආයුර්වේද විද්‍යාව තුළ සැමවිටම රෝගයකට ප්‍රතිකාර කරද්දී රෝග නිධානය හඳුනාගෙන රෝග මූලයන් ශරීරයෙන් බැහැර කරමින් රෝගය සුව කරන අතර ප්‍රතිශක්තිකරණය ඇති කළා. වේදනානාශක මගින් රෝග යටපත් කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කරන්නෙ නෑ. ඉතා දීර්ඝ කාලයකට පස්සේ අද සමාජයට සුදු ලූනු, ඉඟුරු, කොත්තමල්ලි, රසකිඳ වගේ ආයුර්වේද ඖෂධවල වටිනාකම මතක් වෙලා. උණට හෙම්බිරිස්සාවට පවා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව බෙහෙත් පෙති ගිල්ලන අපේ දරු පරම්පරාව ස්වභාවික ප්‍රතිශක්තිකරණයෙන් හීන වෙන්නේ ඉඟුරු, කොත්තමල්ලි වගේ වටිනා ඖෂධ අපට තියෙද්දි. දැන් කොරෝනා වෛරසයට බියේ මිනිසුන් ඉඟුරු, කොත්තමල්ලි, සුදු ලූනු පානය කරන්නේ අමෘතය වගේ.

අපට වැරදුණු මඟහැරුණු තැන් ගැන යළිත් සිතා බලන්න මේ වසංගත ආසාදන අවස්ථාව අපට කදිම ඉඩහසරක් ලබා දීලා තියෙනවා.
ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කැප කිරීමත් විදේශගතව පැමිණි, විශේෂයෙන් ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි ඇතැම් අයගේ මෝඩ, නින්දිත, ආත්මාර්ථකාමී ලජ්ජාසහගත හැසිරීමත් හරිම පිළිකුල් සහගත බවත් කියන්න ඕනෑ. ඔවුන්ට මෙරටට පැමිණීමට දුන් අවස්ථාවට ගරු කරමින් මේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තම වගකීම තේරුම්ගෙන කටයුතු කිරීම වෙනුවට ඔවුන් මෝඩ උද්දච්ච ලෙස හැසිරීම සුළුවෙන් බැහැර කළ නොහැකියි කියන කාරණයත් මම අවධාරණය කරනවා.

 

► Text - Dishani / Pic – Internet & channa