2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඒ විශිෂ්ඨත්වය ගැන කතා නොකර බෑ..

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 180

Art එකේ කැරට්ටුව.. හඬ: නාලන් මෙන්ඩිස්

නාලන් මෙන්ඩිස්.... ඒ තමයි අද අපේ චරිතය... ඔහු ගැන මම මෙහෙම කියන්නම්. ලාංකික ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණ.... එහෙම කිව්වත් ඒකෙ ඒ හැටි වැරුද්දක් නෑ නේද? මට එහෙම කියන්න සාධාරණ හේතු තියෙනවා. අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ඔහු කරපු සේවය කියලා නිමකරන්න බෑ... ඔහුටම අනන්‍ය වූ හැඩයක් ලාංකික ටෙලිනාට්‍යයට එකතු කරනවා. ඔහු කරපු ඒ වෙනසත් එක්ක අසූව දශකයේ අවසාන භාගයේ සිට මේ දක්වාම ඔහු නිර්මාණය කරපු බහුතරයක් ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. පවුලේ සියලු දෙනාට නැරඹිය හැකි නිර්මාණ තමයි ඔහු වැඩිපුර කළේ... “පස්සෙ ගෙනා මනමාලි” තමයි ඔහුගේ පළමු ටෙලි නිර්මාණය. එතැන් පටන් දූදරුවෝ, අපේ ඇත්තෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ, හිරු කුමරි, බෝනික්කෝ, සත්පුරවැසියෝ එයා කරපු මතකයෙන් ඈත් නොවෙන නිර්මාණ ගොන්නෙන් කිහිපයක් විතරයි.

හරි... එහෙනම් පටන්ගමුද...?

නාලන් මෙන්ඩිස් මේ දවස්වල කරන්නෙ මොනවද කියලා එයාගෙන්ම අහලා දැනගමුකෝ..?

මේ දවස්වල මම නිවාඩු පාඩුවේ කාලය ගතකරනවා. පහුගිය කාලේ ටිකක් විතර අසනීප වුණා. ඒ නිසා වෛද්‍යවරු උපදෙස් දුන්නා වැඩිය මහන්සිවෙන්න එපා කියලා. එයා දුන්න සරල පිළිතුරෙන් සෑහීමට පත්වෙලා... අපේ වැඩේ පටන් ගන්න හිතුවා.
නාලන්... ඔබේ ජීවිතයට සමීපවුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද? හැබැයි... ඒක ඔයාගේ වැඩක් වෙන්නත් බෑ... සින්දුවක් වෙන්නත් බෑ... හරි නෙ...

ආ... හරි...   

මගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරපු සහ මගේ ජීවිතය පැති ගොඩකට අරගෙන ගියපු නිර්මාණ ගොඩක් තියෙනවා... එක නිර්මාණය තෝරගන්න එක හරි අමාරු වැඩක්... නවකතා පැත්තෙන් ගත්තොත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කෘතිවලට මම ගොඩක් කැමතියි. එතුමාගේ කෘතිවලින් වැඩියෙන්ම මම කැමති මළගිය ඇත්තෝ කෘතියට.. ඒ පොත කියවපු වාර ගණන මට මතකත් නෑ. ඒ තරමට විශාලයි.  අද මම කතා කරන්නෙ සිනමා නිර්මාණයක් ගැන... ඉතාම අපහසුවෙන් තමයි ඒ සිනමා නිර්මාණයක් මම තෝරාගත්තේ... 1966 වසරේ ඩේවිඩ් ලීන් නිර්මාණය කරපු “ඩොක්ටර් ෂිවාගෝ” චිත්‍රපටය ගැන අපි කතා කරමු.. 

නාලන් මෙන්ඩිස් කියන්නෙ හොඳ රහක් තියෙන නිර්මාණ ශිල්පියෙක්. එකේ ආයි කතා දෙකක් නෑ... ඇයි මේ හැටේ දශකයේ නිර්මාණයක හිත නැවතුනේ..?

ඒක හේතු කිහිපයක්ම තියෙනවා. ලෝක සිනමාව පැත්තෙන් ගත්තාම ඩේවිඩ් ලීන් කියන්නෙ අග්‍රගණ නිර්මාණකරුවෙක්. ඔහුගේ නිර්මාණ හැම එකක්ම දැවැන්ත නිර්මාණ. බීරීෆ් එන්කවුන්ටර්, ඔලිවර් ටුවිස්ට්, ලෝරන්ස් ඔෆ් අරාබි වගේම ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටයත් ලෝකයේම අවධානය දිනාගත්ත නිර්මාණ. ඒ වගේම තමයි තව විශේෂ කාරණාවක් තියෙනවා... මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණකරුවා ලංකාවට ඇවිල්ලත් සුප්‍රසිද්ධ නිර්මාණයක් කරනවා බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියලා. මේ හැම නිර්මාණයකට ප්‍රධාන නළු නිළියන් ඇරුණාම තව දහස් ගණනක් රංගන ශිල්පීන් සහභාගි කරගෙන තිබුණා. පසුතලත් ඉතා විශාලයි. ඩේවිඩ් ලීන්ගේ සිනමා නිර්මාණවලින් මම අද තෝරගත්ත ඩොක්ටර් ෂිවාගෝ කියන්නෙ හිත්බැඳගන්නා සුළු අපූරු නිර්මාණයක්. මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ පළමු ලෝක යුද්ධයට පෙර රුසියාවේ කාර්මික විප්ලවය සහ සිවිල් යුද්ධය හා බැඳුණු කතාවක් සමගම ආදරයත් කතාවකුත් මුසුවෙලා තියෙනවා. මේ සම්පූර්ණ කතාවේ ප්‍රධාන චරිත තුනක් වටා තමයි ගෙතිලා තියෙන්නෙ... සමාජ ආර්ථිකය සහ දේශපාලනික මතවාද ආදරය මේ හැමදෙයක්ම මේ නිර්මාණයේ ගැබ්වෙලා තියෙනවා. මේ නිර්මාණය ගැන කතාකරනකොට නළු නිළියන්ගේ විශිෂ්ඨ රංගනයන් ගැන කතා නොකරම බෑ.  ඕමාර් ෂරීෆ්, ජූලියා ක්‍රිස්ට්, ජෙරල්ඩින් චැප්ලින් වගේම ටොම් කොර්ටනේගේ රංගනයන් විශිෂ්ඨ විදියට කැපිලා පේනවා. මේ චිත්‍රපටයේ සංගීතයත් හරිම විශිෂ්ඨයි. මොරිස් ජැරේ තමයි සංගීතය නිර්මාණය කරන්නෙ... මොරිස් ජැරේ හරිම අපූරු විදියට සංගීතයෙන් හැඟීම් උද්දීපනය කරනවා... මේ චිත්‍රපටය විශේෂ වෙන්න ඒකත් ලොකු හේතුවක් වුණා... 

මේ සියලු නළු නිළියන් අතරින් නාලන්ගේ කැමතිම චරිතයකුත් ඉන්න ඇති නේද? 

ඇත්තටම මම වඩාත්ම කැමති ඕමාර් ෂරීෆ්ගේ රංගනයට තමයි... මීට කලින් සඳහන් කරපු අනිකුත් රංගන ශිල්පීනුත් විශිෂ්ඨ විදියට තමන්ගේ රංගනයන් ඉදිරිපත් කරනවා. 

ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටය නරඹද්දී ඔබව සංවේදී කරපු අවස්ථා ඕනතරම් තියෙන්න ඇති... එකක් දෙකක් මතක් කරමුද?

ඔව්. ඇත්තටම මාව සංවේදී කරපු තැන් කිහිපයක්ම තියෙනවා. එක දර්ශනයක් තමයි ඩොක්ටර් ට්‍රෑම් කාර් එකක නැගලා වීදියක් දිගේ එන දර්ශනයක් තියෙනවා. අහම්බෙන් ඔහු දකිනවා ලාරා කියන යුවතිය පදික වේදිකාවේ යනවා. ඊටපස්සේ ඔහු වාහනෙන් බැහැලා ලාරාගේ පස්සෙන් යනවා. ඔහු ළඟටම ගිහින් බලද්දි ඒ ලාරා නෙමේ. වෙන කෙනෙක්. ඒ අවස්ථාවේ ඩොක්ටර් එකපාරටම කලබල වෙනවා... ඒත් එකක්ම ඔහුට හෘදයාබාදයක් ඇතිවෙනවා. ඒ අවස්ථාව මේ චිත්‍රපටයේ තීරණාත්මක අවස්ථාවක්... ඒ විදියේ අවස්ථා තව කීපයක්ම තියෙනවා මේ චිත්‍රපටය ඇතුළේ...

නාලන්ට මෙච්චර ලස්සන නිර්මාණයක් කොහොමද මුණගැහෙන්නෙ... ඒක අහම්බයක්ද? 

අපි මේ චිත්‍රපට ගොඩක් වෙලාවට බැලුවේ හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ මුල්භාගයේ. ගොඩක් වෙලාවට ඒ කාලේ අපිට චිත්‍රපට බලන්න තිබුණේ චිත්‍රපටය ශාලාවලට ගිහින් අද කාලේ වගේ ගොඩක් මාධ්‍ය තිබුණේ නෑ. ඒ කාලේ තිබුණා බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාව... ඔය අද තියෙන එක නෙමේ... නමුත් ඒ ඉඩමේම තමයි පරණ මැජෙස්ටික් සිනමා ශාලාව තිබුණේ. මම මේ කියන්නේ හැත්තෑව දශකයේ. ඒ සිනමා ශාලාවේ දවස් කිහිපයක් ඩෙවිඩ් ලීන්ගේ චිත්‍රපට කිහිපයක්ම පෙන්නුවා. දවසට චිත්‍රපට හතරක් පෙන්නුවා. 10.30 එකක්, 2.30ට තව එකක්, 4.30ට වගේම 9.30ටත් දර්ශන වාරයක් තිබුණා... ඒ අවස්ථාවේ තමයි මම මුලින්ම ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටය නැරඹුවේ. ඒ කාලේ මම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න හිටපු කාලේ. නමුත් මම වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා හිටියේ නෑ. අලුතෙන් චිත්‍රපටයක් ආව කියලා දැනගත්තාම කොහොම හරි ගිහිල්ලා බලන්න මම පුරුදුවෙලා හිටියා. අනූව දශකයේ මැද භාගයේ අපිට මේ චිත්‍රපටයේ වී.එච්.එස්. කැසට් පටයක් විදියට ලබාගන්න පුළුවන්කම තිබුණා... දැන්නම් අන්තර්ජාලයෙත් මේ චිත්‍රපටය තියෙනවා...

නාලන් දැනට කී වතාවක් මේ චිත්‍රපටය බැලුවද?

ඒක නම් මට මතක නෑ... පනස් පාරකට නම් වැඩියි ඇති... මොක සැරින්සැරේ අවස්ථාවක් ලැබුණම මම තැනින් තැන මේ චිත්‍රපටය බලනවා.

මේ ෆිල්ම් එකේ අවසාන මොහොතේ නාලන්ට ඇතිවෙච්ච හැඟීම වචනවලට පෙරළමුද?

දුකකුත් එක්ක හැඟීම් මිශ්‍රවෙච්ච හැඟීමක් දැනුණා... 

මේ චිත්‍රපට තුළින් ඔබට ඔබේ ජීවිතයට මොන වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් වුණාද...?

මෙහෙමයි. ඒක මට එක එල්ලේ කියන්න බෑ... නමුත් මේ වගේ හොඳ නිර්මාණයක් නරඹපුවාම ඒවායේ තියෙන රූපරාමු, රංගනයන් අපි ආසකරන හැමදේම හිතේ තැන්පත් වෙලා තියෙනවා... නමුත් ඒ මතකයේ තිබෙන දේවල්ම අපේ නිර්මාණවලට යොදාගන්නවා නෙමේ... නමුත් යම් යම් හොඳ දේවල් අඩු වැඩි වශයෙන් නිර්මාණවලට දායකවෙනවා ඇති. නමුත් මේ වගේ හොඳ නිර්මාණයක් බැලීම තුළින් අපිව පෝෂණය වෙනවා...


Text - Danushka Wijesiri   /   Pic -  Internet