2020 මාර්තු 14 වන සෙනසුරාදා

කලාකරුවන්ට ඇරුණේ වලව්වල පස්ස දොර!

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

තිමති වීරරත්නගේ චිත්‍රපට ජීවිතයේ වඩාත්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපට වූයේ “මේ දෙඇස් කුමටද?” හා “සංගීතා” යි. ඉනුත් “සංගීතා” සුවිශේෂී නැවුම් බවක් පළ කළේය. මේ චිත්‍රපට දෙකේදීම විජය - මාලිනීගේ ආදරය ඉතිරෙන රැඟුම් ප්‍රේක්ෂක සිත් ගත්තාට සැකයක් නැත.

එහෙත් තිමතිගේ චිත්‍රපට ජීවිතයේ වඩාත්ම නිර්මාණශීලී චිත්‍රපටය “නැංගුරම්” යැයි මම සිතමි. එහි කතා තේමාව ඉදිරිපත් කිරීම වඩාත් කලාත්මක යැයි සිතේ. එහෙත් එයට ප්‍රමාණවත් විචාරක ප්‍රතිචාරයක් නොලැබිණ.

“නැංගුරම්” දෙමළ පිටපත ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේදී අපූරු සිදුවීමක් විය.

තිමතිට ලැබී තිබුණේ “නැංගුරම්” චිත්‍රපටයේ පිටපත් දෙකක් පමණකි. ඒ කාලයේ වර්ණ පිටපතක් මුද්‍රණය කර ගැනීමට විශාල මුදලක් වැයවෙයි. ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදීමට නම් අඩුම තරමේ පිටපත් තුනක්වත් ඉදිරිපත් කළ යුතු යැයි චිත්‍රපට සංස්ථාවෙන් තිමතිට දුරකථනයෙන් දැන්නුවේ මා ඔහු හමුවීමට ගොස් සිටි අවස්ථාවකය. 

එහෙත් පිටපත් දෙකක් පමණක් අතැතිව සිටින තිමති පිටපත් තුනක් ප්‍රදර්ශනය කිරීමට එවෙලේම පොරොන්දු විය.

“කොහොමද මේ හදිස්සියෙ කොපියක් ප්‍රින්ට් කර ගන්නෙ?” මම ඇසුවෙමි. තිමති මා දිහා බලා නිහඬව සිනාසුණේය.

“මම කොපි තුනක් පෙන්නනවා” තිමති ඊළඟට කීවේය. ඒ කෙසේදැයි කීවේ නැත.

එක් පිටපතක් පිට පළාතක සිනමාහලකට යැවීය. එම සිනමාහලේ නම මට දැන් මතක නැත. කොළඹ ආමර් වීදියේ කැපිටෝල් හා පාමංකඩ ඊරෝස් අනෙක් සිනමාහල් දෙකය. සිනමාහල් දෙක අතර දුර කිලෝමීටර් කීපයකි.

 

ඊරෝස්හි නැංගුරම් පටන් ගත්තේ උදේ 10.00ට, දවල් 2.00ට හා සවස 6.00ටය. කැපිටෝල් සිනමාහලේ උදේ 10.30ට දවල් 2.30ට හා සවස 6.30ටය. 

ඊරෝස් සිනමාහලේ “රීල්” එක අවසන් වූ සැණින්ම මෝටර් සයිකලයකින් එය කැපිටෝල් සිනමාහලට ගෙන ගොස් කැපිටෝල්හි දර්ශනය පටන් ගැනෙයි. මේ අයුරින් කීපවරක්ම රීල් එහා මෙහා හුවමාරැ වෙයි. “නැංගුරම්” පිටපත් දෙක සිනමාහල් තුනක ප්‍රදර්ශනය කෙරුණේ ඒ අයුරිනි.

ඡායාරූප ගැනීම්, සම්මුඛ සාකච්ඡා ආදියට හමුවීම් සඳහා විජය පසු කලෙක වෙලාව දුන්නේ උදේ 7.30ට පමණය. ඒ අනුව උදෙන්ම රොස්මිඩ් නිවසට ගොස් විජය හමුවීමට අපහසුවක් නොවීය. 

ඒ බොහෝ අවස්ථාවලදී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද අප ඉදිරියට පැමිණ වචනයක් දෙකක් කතා කර ගන්නට අමතක නොකළාය. රොස්මිඩ් ගිය විටෙක කළු කෝපි කෝප්පයක් වැරදුණේ කලාතුරකිනි.

ඇතැම් විටෙක විජයගේ ඡායාරූප ගන්නට පැමිණෙන ඡායාරූප ශිල්පීහු ද වෙති.

විජයගේ ඡායාරූපවලට තිබුණේ ඉහළ ඉල්ලුමකි. පුවත්පත් සඟරාවලට පමණක් නොව විශේෂයෙන්ම නව වසරක් ආරම්භයේ දී මුද්‍රණය කරන කැලැන්ඩර්වලට විජයගේ රුව නිරතුරූවම යොදාගැනිණි. ඇතැම් දින දර්ශන මුදලට විකිණෙයි. තවත් සමහර දින දර්ශන වෙළෙඳ ආයතනවලට ප්‍රචාරය ලබාගැනීම සඳහා මුද්‍රණය කරන්නකි.

මේ කුමන ඡායාරූපයකට වුවද විජය මුදල් ඉල්ලුවේ නැත. ඇතැම් ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප මුදලට විකුණන බව දැනගත්තද ඔහු එය ගණන් ගත්තේ නැත.

ඔහු අප අතරින් වෙන්ව ගොස් අවුරුදු 32 ක් පිරෙද්දීත් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිස් විජයගේ මේ පරිත්‍යාගශීලීත්වය ගැන අදද ආදරයෙන් කතා කරන්නේ එබැවිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී මහජන පක්ෂය පිහිටුවා ගැනීමත් විජය - චන්ද්‍රිකා යුවළ රොස්මිඩ් නිවසෙන් කින්සි පාරේ නිවසකට පැමිණ පදිංචි වීමත් එකම වකවානුවක සිදුවූ බව මගේ මතකයයි.

ඉන්පසුව විජයගේ හමුව සිදුවූයේ කින්සි පාරේ නිවසේදීය. නැතහොත් මරදානේ පිහිටි මහජන පක්ෂ කාර්යාලයේදීය. 

ඒ කාලයේ විවිධ කටයුතු සඳහා විජය හමුවීමට මා ගියේ මරදානේ මහජන පක්ෂ කාර්යාලයටයි.

විජය සිනමා නළුවකු ලෙස ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි අතර දේශපාලනඥයකු ලෙස ද ඔහු දිනෙන් දින ජනප්‍රියත්වයට ළං වෙමින් සිටියේය. මැයි දින පෙළපාලිවලදී ඔහු විශාල පිරිසක් පිරිවරා ගමන් ගනිද්දී එය චිත්‍රපට ජවනිකාවකටත් වඩා ආකර්ෂණීය දසුනක් විය.

මේ කාලය වන විට වර්ගවාදී යුද්ධය ආරම්භ වී තිබුණු අතර විජය ජාතීන් දෙක අතර සංහිඳියාව ගොඩනැගීම පිළිබඳව බෙහෙවින් කතා කළේය. ඒ අතරම රාජ්‍ය මාධ්‍ය මගින් විජයට ප්‍රසිද්ධිය ලබාගැනීම එකල දුෂ්කර කටයුත්තක් විය.

විජය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ චිත්‍රපටයක ක්‍රිස්තු චරිතය රඟපාන්නට යනවා යයි කී සැණින් යළිත් ඔහුට දිගින් දිගටම විවේචන එල්ල විය. බොහෝ දෙනා ජේසුතුමාගේ චරිතයට විජය නුසුදුසු යැයි කීහ. එහෙත් ඔහු ඒ චරිතය රඟපෑමට මහත් ආශාවෙන් පසුවිය. බොහෝ විවේචනවලට විජයගේ දේශපාලනය ද ඈඳාගෙන තිබිණ. “ජේසුතුමාගේ චරිතයට ඔබ නුසුදුසු යයි මං කීවොත් ඔබ දෙන පිළිතුර කුමක්දැ”යි මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.

“අර්නස්ට් පෝරුතොට පියතුමා මට ලියලා එවලා තියෙනවා ජේසුතුමාගෙ චරිතය රඟපාන්න ලංකාවෙ ඉන්න සුදුසුම නළුවා විජය කුමාරණතුංග කියල. මම ඒ ලියුම ඔයාට ඕනෙනම් පෙන්නන්නම්. දහස් සංඛ්‍යාත ජනතාව වැඳුම් පිදුම් කරන ජේසුතුමාගෙ චරිතය රඟපාන්න ලැබීම පිළිබඳ මම සන්තෝස වෙනවා. ඒ චරිතය මට සාර්ථකව රඟපෑමට හැකි වුණොත් එයින් මා ලබන තෘප්තිය විශාලයි. ඒත් ඒක මට කොහොම කරගන්න පුළුවන් වේදැයි දැන්ම කියන්න බෑ. මගේ රඟපෑම සාර්ථක වීමට අධ්‍යක්ෂවරයා චිත්‍රපටය මෙහෙයවන ආකාරය වැදගත් වෙනවා.” ඒ විජයගේ පිළිතුරයි.

මහා රංගවේදී ගාමිණී ෆොන්සේකාගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් 1986 මාර්තු 21 වැනිදා කොළඹ දී පැවැත්වූ සමරැ උත්සවයේ දී විජය පැවැත්වූ කතාව මට කිසිදා අමතක නොවන්නකි. එය එතරම්ම සිත් කාවදින සුළු විය. ඔහුගේ ගැඹුරු කටහඬ හා කතා විලාසය මා සිත තුළ තවමත් දෝංකාර දෙයි.

ඔහු නළුවකු වන්නට සිතාගත්තේ තම ගම් ප්‍රදේශයේ දී චිත්‍රපටයක දර්ශනයක් රූගත කිරීම්වලට පැමිණි ගාමිණී ෆොන්සේකා දැකීමෙන් යයි ඔහු කීවේය.

එතෙක් කාලයක් කලාකරුවන්ට වලව් පැලැන්තියෙන් නිසි ගෞරවය නොලැබුණු බවත් කලාකරුවන් යැයි හැඳින්වුණු පිරිස් වලව්වලට ඇතුළු වුණේ පිටුපස දොරෙන් යයිද ඔවුන්ට ඉඳගැනීමට දුන්නේ මිටි අසුන් බවද ඔහු කීවේය. කලාකරුවන්ට කොන්ද කෙළින් තියාගෙන ආත්මාභිමානයෙන් කටයුතු කිරීමට ඉඩ ලැබුණේ ගාමිණී නිසා යයි විජය පැවසුවේ ජනතා ඔල්වරසන් හඬ මධ්‍යයේය. ඒ කතාවේ තිබුණු ප්‍රබලම අදහස එය යයි මම සිතමි.

එම සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස මහතාය.

ලබන සතියේ
ප්‍රථම වරට විජයගේ මැළවුණු මුහුණ දුටු දවස

Text - Rodney Widanapathirana