2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඒක Wrong Number එකක්ලු

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

අද තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, තරුණ විය ඉක්මවලා ඉන්න අයත් ජංගම දුරකතනවලට පුදුම විදිහට ඇබ්බැහිවෙලා ඉන්නවනෙ.

සාමාන්‍යයෙන් දුරකතන සංවාදයක් විනාඩි තුනකට වඩා ඉක්මවිය යුතු නැති බව තමයි තමයි ඒ කාලෙ තිබුණු සම්මතය. විනාඩි තුනකට වඩා කතා කරන්න දෙයක් තියෙනවනම් පෞද්ගලිකව හමුවෙලාලු කතා කළ යුත්තෙ.

ඔය කතාව කිව්වෙ අපි දන්නා කියන කෙනකුගෙ තරුණ දුවෙක් ෆෝන් එකට හොඳටම ඇබ්බැහිවෙලා කියලා කියන්න.

මේ ළමයට කෝල් එකක් ආවොත් එයා පැය දෙකකට මෙහා ෆෝන් එක තියන්නෙ නැහැ. මව්පියනුත් මේ ගැන දන්නවා, ඒත් කියලා හදාගන්න බැහැලු.

ඔන්න ඊයෙ පෙරේදා දවසක මේ ළමයට කෝල් එකක් ඇවිල්ලා. නමුත් පැය භාගයක් යනකොටම මෙයා කතා කරලා ඉවරලු.

ළමයගෙ අම්මට පුදුම හිතිලා.

“අද නම් වහිනවා ෂුවර් එකටම. ඔයා කෝල් එක පැය භාගයකින් කට් කළානෙ.”

“අයියෝ අම්මේ.. ඒක Wrong නම්බර් එකක්නෙ.”

අඳින්න නෙවෙයි පෙරවගන්න

ඔන්න තරුණ කලා ශිල්පියෙක් ළඟදී ගියාලු සුපිරි සාප්පු සංකීර්ණයකට ලස්සන කමිසයක් ගන්න හිතාගෙන. 
ලස්සනට අඳින්න කැමති මේ කොල්ලා හීන්දෑරි සිරුරක් තියෙන කෙනෙක්. මෙයාගෙ ෂර්ට් කොලර් සයිස් එක 14 ½ ලු.

ඒත් සාප්පුවෙ හිටිය කොල්ලගෙන් මෙයා අහලා තියෙන්නෙ 16 ½ සයිස් එකේ ෂර්ට්ලු.

සේවකයා ඉතින් මෙයා දිහා බල බලා 16 ½ ෂර්ට් වර්ග කිහිපයක් දෙනවලු. මෙයත් ඒවා තෝරනවා.

“සර් මේක කාටහරි තෑගි කරන්නද?” සේවකයා අහනවා.

“නෑ අයියෙ මට එහෙම පිස්සුවක් නැහැ. මට මට..”

සේවකයට දැන් අහන්න හිතෙනවලු 16 ½ ඔයාට ලොකු නැද්ද කියලා.

“සර්.. ෂුවර්ද සයිස් එක 16 ½ කියලා.”

අපේ ශිල්පියාට අන්න ඒ වෙලාවෙ තමයි මතක් වුණේ සයිස් එක 14 ½ බව. ඒත් ලජ්ජාවට එයාට වැරදුණු බව පෙන්නන්න ගියෙ නැහැ.

“ඔව් ඔව්.. ඒත් මම මේක ගන්නෙ අඳින්න නෙවෙයි, රෑට නිදාගන්නකොට පොරවගන්න.”

මිනිස්සු රවට්ටන්න එපා මුදලාලි

මිනිස්සු විවිධාකාරයි. ඒ වගේම තමයි ආහාරපාන. ඒවත් විවිධාකාරයි.
ඔන්න අපේ කලා ශිල්පියෙක් දවසක් ෂූටින් ඉවරවෙලා ගෙදර එද්දී රෑ වෙලා. බඩගින්නට යමක් ගන්න හෝටලයක් ළඟ නැවැත්තුවා.

ගමකින් බිහිවූ කෙනෙක් නිසා කොළඹ අපි දකින විවිධාකාර කෑම වර්ග කන්න මොහු පුරුදුවෙලා නැහැ.

ඒත් එදා ඒ හෝටලේ තිබුණෙ වෙනස්ම කෑම වර්ගයක්.

මේක නම් ඔහු ජීවිතේට කාලා නැති කෑමක්. රොටියක් ඇතුළෙ යම් කෑම වර්ගයක් දාලා රෝල් කරලා තිබුණෙ.

කරකියා ගන්න දෙයක් නැති නිසා ඔහු ඒක අරගත්තා. සල්ලිත් ගෙව්වා. ඒත් අර සේවකයා ඒක බෑග් එකට දාන වෙලාවෙ ඔහුට පොඩි සැකයක් ඇතිවෙලා ආපහු ඒක බෑග් එකෙන් එළියට ගත්තලු.

“මුදලාලි.. අපි සල්ලි දීලා මේවා ගන්නෙ කන්න. මේ වගේ සවුත්තු වැඩ කරන්න එපා අහිංසක මිනිස්සුන්ට. බලන්න මේ රොටිය රෝල් කරලා මැද්දට දත් හාරන ටූත් පික් කූරක් ගහලා තියෙන හැටි..” මෙයා කියවගෙන යනවලු.

ඇත්තම කතාවනම් මේ කෑම වර්ගය හදලා විකුණන්න තියන්නෙ අර විදිහට ටූත් පික් එකක් ගහලා තමයි.

මේ මනුස්සයා මුල්වරට තමයි මේ කෑම වර්ගය දැකලා තියෙන්නෙ.

Text - Mithra