2020 මාර්තු 14 වන සෙනසුරාදා

දෙයියන්ගේ මල්ලි සූට්කේසයේ

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

නන්දන් කුමාර් කියන්නේ ඉන්දියාවේ ජීවත්වෙන මධ්‍ය පාන්තික පවුලක පිරිමියෙක්. ඔහුගේ බිරියගේ නම ලතා. මේ දෙන්නට කටකාර පුතෙකුත් ඉන්නවා. ඔවුන් ගැන කතාව කියන්න කලින් මෙන්න මෙහෙම මේ කතාව කියන්න පටන් ගන්න වෙනවා. 

මේ ඉන්දියාවේ චණ්ඩියෙක්. ඔහුගේ කාර්යාල කාමරයේ ඉන්න තමන්ගේ ගෝලයන් දෙන්නෙක් එක්ක කතා කරමින් ඉන්න වෙලාවක්.

ගෝලයා - සූට්කේස් එක හම්බවුණේ නැහැ.

ඩොන් - එහෙනම් මොනවද හම්බවුණේ?

ගෝලයා - මෙන්න මේක.

ඩොන් - මේ මොකක්ද මේ? මේ සූට්කේස් එක බිම ඇදගෙන යන්න හයිකරලා තියෙන රෝදයක්නෙ. කෝ සූට්කේස් එකේ ඉතුරු කෑලි ටික?

මේ ඒ ප‍්‍රදේශයේ ඉන්න දේශපාලකයගේ නිවසේ සිදුවීමක්. ඔහු තම කාර්යාල කාමරයේ තියෙන පුටුවේ වාඩිවෙලා හිටියත් ඉන්නේ කේන්තියෙන් මුහුණත් රතු කරගෙන. ඔහු තමන්ගේ ගෝල බාලයන් දෙන්නකුගෙන් ප‍්‍රශ්න කරමිනුයි ඉන්නේ.

මන්ත‍්‍රී - ඒක වුණේ කොහොමද? මට පටන්ගත්ත තැන ඉඳන් හැමදේම කියනවා. පටන්ගත්ත තැනින්ම කියනවා.

මේ නන්දන්ගේ නිවස. ගෙදර සල්ලි නැහැ කියලා නන්දන්ට බැණලා බිරිය ඔහු ගාවින් අහකට ගියා විතරයි. මෙන්න මෙයාලගේ කුඩා පුතු පාසල් නිල ඇඳුමකින් සැරසිලා නන්දන්ගේ ගාවට එනවා.

පුතා - තාත්තා මම දන්නවා ගෙදර සල්ලි ගැන ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් ප්ලීස් එහෙමයි කියලා ඔයා මගේ වෝටර් පාර්ක් ට්‍රිප් එකනම් කැන්සල් කරන්න එපා.

නන්දන් - යනවා යන්න.

පුතා පාසල් ගියා විතරයි නන්දන් තමන්ගෙ බිරිය ගාවට ගිහින් ඇයව තුරුළු කර ගන්නවා.

නන්දන් - මගේ චිකන් නූඩ්ල්ස් එක කෝ.. මම ටිකක් කාලා බලන්න.

ලතා - මේ අද සඳුදා. මම වෘත රැකලා ඉන්නේ. 

නන්දන් වෙනදා වගේම රස්සාවට යනවා. ඔහුට බඩු ගොඩක් මැද තිබිලා සූට්කේස් එකක් හම්බවෙනවා. ඒකෙ ගණන් කරන්න බැරි තරම් මහා සල්ලි ගොඩක් තියෙනවා. ඔහු ඒක දැකලා බය වෙනවා. ඒත් ඔහු ඒ සල්ලි බෑගය ගෙදර ගෙනල්ලා ඒක ඇරලා සල්ලි මිටි උඩ හිස තියාගෙන මෙන්න මෙහෙම කියනවා.

නන්දන් - ඔයාලා කොහේද හිටියේ? මම කොච්චර ඔයාලව හෙව්වද? මගේ ජීවිත කාලය පුරාම.

මේ මන්ත‍්‍රීගේ කාර්යාල කාමරයේ සිදුවීමක්. මාධ්‍යවේදීන් ඇවිල්ලා ඔහුගේ ඡායාරූප ගන්නවා. ඔහු අඬන්න බැරිකමට වගේ හිනාවෙලා ඡායාරූප සඳහා පෙනී ඉන්නවා. ඒ ගමන් ඔහු තමන්ගෙ ලේකම්වරයෙක්ට මොනවදෝ කියමිනුයි ඉන්නේ.

මන්ත‍්‍රී - ඔයා මගේ සල්ලි දාලා තිබුණු සූට්කේස් එක කොහෙන් හරි හොයලා මට ගෙනල්ලා දෙන්න ඕන.

පොලිස් නිලධාරියා - සූට්කේස්?

මේ අතරේ නන්දන් බැංකුවට යනවා. බැංකුවේ විද්‍යුත් උපකරණයකින් ගණන් කරන ආකාරය ඔහු පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා.

නන්දන් - මේ ඔය සල්ලි ගණන් කරන මැෂිමක් කීයක් විතර වෙනවද?

බැංකු නිලධාරියා - ගෙදර ගෝනි දෙකක් පුරවලා සල්ලි තියෙනවා. මට ඒවා ගණන් කරන්න විදියක් නැහැ.

බැංකුවේ මුදල් කවුන්ටරයේ ඉන්න නිලධාරියා විතරක් නෙවෙයි ගනුදෙනු කරන්න බැංකුවට ඇවිත් ඉන්න මිනිස්සුත් ඒ කතාව අහලා මහ හයියෙන් හිනා වෙනවා. 

සල්ලි නැතිවුණා විතරයි චණ්ඩියා එක පැත්තකින් හොයනවා. තව පැත්තකින් පොලිස් නිලධාරියෙක් ඒක හොයනවා. මන්ත‍්‍රීවරයා සල්ලි බෑගය හොයාගන්න උත්සාහ කරමින් ඉන්නවා. 

ටිකක් වෙනස් කතාවක්. මේ කතාව තියෙන හින්දී සිනමාපටය වන ලූට්කේස් හින්දී සිනමාපටය තිරගත වෙන්න දින නියම කරලා තිබුණෙනම් 2019 ඔක්තෝබර් මාසයේ. මේ සිනමාපටයට අදාළ ට්‍රේ ලර් එක 2019 සැප්තැම්බර් මාසයේ රිලීස් කළා. ඒත් මේ සිනමාපටය තිරගත වෙන්නේ 2020 අප්‍රේ ල් 10 වැනිදායි. ලූට්කේස් හින්දී සිනමාපටය රාජේශ් ක‍්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක්. එය නිෂ්පාදනය කර තියෙන්නේ ෆොක්ස් ස්ටාර් ස්ටූඩියෝ.. කපිල් සාවන්ත් සහ රාජේශ් ක‍්‍රිෂ්ණන් තිර රචනය කර තියෙන ලූට්කේස් හින්දී සිනමාපටයේ තියෙන මන බඳින ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ රෝහාන් - විනායක්  කියන සංගීතවේදීන් යුගලය සහ අමර් මන්ගෘල්කර්. ලූට්කේස් හින්දී සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සමීර් උද්දීන්.

දැන් ඔබට කියන්න හදන්නේ මේ හින්දී සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔවුන් ගැනයි. මුලින්ම මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන නන්දන් කුමාර් කවුද කියලා කියලා ඉන්නම්කො. ඔහු මීට පෙරාතුව මෙන්න මේ සිනමාපටවලින් ඔහුගේ දක්ෂතා පේ‍්‍රක්ෂකයන්ට පෙන්වලා ප්‍රේ ක්ෂක ආදරය දිනාගත්ත කෙනෙක්. බලන්න මේ සිනමාපට දැක්කාම ඔහුව ඔබටත් මතකයට නැගෙනවද කියලා.

Raja Hindustani (1996), Zakhm (1998), Kalyug (2005), Traffic Signal (2007), Dhol, Golmaal, 99 (2009), Go Goa Gone (2013), Kalank (2019)

1983 මැයි 25 වැනිදා ඉන්දියාවේ ජම්මු කාශ්මීර්වල ශ්‍රී නගර්වල ඉපදුණු ඔහු 2005 වසරේ පටන් හින්දී සිනමා නළුවෙක් විදියට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. ඔහු 2015 දී විවාහ වුණේ ශර්මිලා තාගොර්ගේ දියණිය සායිෆ් අලි ඛාන්ගේ නැගණිය වන සෝහා අලි ඛාන් සමඟයි. නෑදෑකමට කරීනා කපූර් ඔහුගේ නෑනණ්ඩිය වෙනවා. ඔහු නමින් කුනාල් ඛෙමු. ඔහු තමයි මේ සිනමාපටයේ නන්දන්ගේ චරිතයට පණ පොවන්නේ. 

දැන් ඔබට කියන්න හදන්නේ නන්දන්ගේ බිරිය, ලතාගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඇය ගැන කියන්න කලින් මේ ඇය රංගනයෙන් දායක වූ සිනමාපට ගැන කිව්වම ඇයව ඔබගේ මතකයට නැගෙනවද කියලා බලන්නකෝ.

Kshay, Qissa ,Manto, Hijack, Agyaat, Thanks Maa, Kshay, Chhaya, Aurangzeb, Kammatti Paadam, Manto, Tu Hai Mera Sunday, Once Again, Hamid

1985 ජනවාරි 17 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ජම්ශේද්පූර්වලයි ඇය ඉපදුණේ. 2007 වසරේ පටන් වෘත්තියෙන් නිළියක් වන ඇය නමින් රසිකා දුග්ගල්. ඔය කිව්ව දෙන්නට අමතරව බාලා රාතෝර් විදියට විජේයි රාසුත්, ඉන්ස්පෙක්ටර් කොල්තේගේ චරිතයට රන්වීර් ශොරේයිත්, මන්ත‍්‍රීවරයාගේ චරිතයට ගජ‍්‍රාජ් රාඕත්, නන්දන්ගේ පුතාගේ චරිතයට ආර්යන් ප‍්‍රජාපතිත් පණ දෙනවා. ඊට අමතරව ශෂී රන්ජන් සහ සුමිත් න්ජ්හාවානුත් විවිධ චරිත හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා.මේ ලූට්කේස් හින්දී සිනමාපටයේ ඇති ගීත කම්පෝස් කරලා තියෙන්නේ රෝහන් සහ විනායක්. අමර් මන්ගෘල්කාරැත් මේ සිනමාපටයේ ගීත කම්පෝස් කරලා තියෙනවා. ඒ වගේම මේ ලූට්කේස් හින්දී සිනමාපටයේ තියෙන ගීතවල ගී පද රචනය කර තියෙන්නේ ශ්‍රීයා ජෛන් සහ කපිල් සාවනත්, ඒ ගී පදවලට පණ දෙන්න ඒවාට තමන්ගේ මිහිරි හඬවලින් පණපොවා තියෙන්නේ නකාෂ් අසීස්, කේකා ඝෝෂාල් සහ අර්හාන් හුඒස්.

Text — Chandana