2020 මාර්තු 07 වන සෙනසුරාදා

යාර දෙකක් අතේ තියාගෙන යාර පහකට කෝට් මහන්න බැහැ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 221

- Life සඳුන් විජේසිරි

අපි මුලින්ම ඔබේ ළමා කාලයේ සිට මේ කතාබහ පටන් ගත්තොත්...?
මගේ උපන්ගම කඩුගන්නාවේ. මගේ පවුලේ මට තව සහෝදරයන් හතර දෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. මගේ තාත්තා ඒකාලේ ගමේදී පොඩි පොඩි නාට්‍ය කරලා තියෙනවා. මගේ පුංචි අයියත් ඒකාලේ ගමේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. මගේ තාත්තා කොඩෑක් ආයතනයේ කැමරා සම්බන්ධව කටයුතු කළේ. ඒ නිසා තාත්තාගේ රැකියාව එක්ක අපිට කොළඹ පදිංචියට එන්නට සිදුවුණා.

කඩුගන්නාවෙන් කොළඹට ඇවිත් පදිංචි වුණේ කොහේද?
කඩුගන්නාවෙන් අපි කොළඹ බලපොකුණ පාරේ තමයි පදිංචි වුණේ. එතකොට මම ගොඩාක් පොඩියි. මට තාම මතකයි ඒ කාලේ කඩුගන්නාවේදී කූඩාරම් ගහලා ඒවාවල නාට්‍ය පෙන්නුවා. මගේ තාත්තා මාවත් එක්කගෙන ඒ නාට්‍ය බලන්නත් ඒ කාලේ ගිහින් තියෙනවා. බලපොකුණට ආවට ඒවත් ඒ කාලේ ගැමි පරිසරයක් තිබුණු ගමක්. අද කාලේ වගේ ඒ කාලේ බලපොකුණ පාර දියුණු වෙලා තිබුණේ නැහැ. බලපොකුණ කියන ප්‍රදේශයේ ඒ කාලේ ලොකු පොකුණක් තිබුණා. පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ළඟ යටින් බලපොකුණට මතුවෙන උමගක් තිබුණා. රජ කෙනකු නාපු සෙම්බුවක් ඔය ප්‍රදේශයෙන් මතුවුණා කියලත් ඒ කාලේ මතයක් තිබුණා. බලපොකුණ පන්සලෙත් බොහෝ දායකදායිකාවන් හිටියා. පුංචි කාලේ ඉඳන්ම ඔය බලපොකුණ පන්සලට යන්නට මම හරියට ආසා කළා. 

ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?
මම මුලින්ම මගේ අක්කා එක්ක නුගේගොඩ අනුලා විද්‍යාලයට ගිහින් ඉගෙන ගත්තා. ඒක බාලිකා පාසලක් වුණත් මම දෙක වසර වෙනතුරු ඉගෙන ගත්තේ ඒ පාසලෙන්. ඊළඟට වැල්ලවත්ත ශ්‍රී ලංකාධාර බාලිකා පාසලෙන් හය වසර වෙනතුරු ඉගෙන ගත්තා. හය වසර පන්තියේ සිට උසස් පෙළ පන්තිය දක්වා මම ඉගෙන ගත්තේ දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයෙන් 1962 වසරේදී මට සරසවි වරම් ලැබුණා.

නමුත් ඔබ එකවරම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න කැමති වුණේ නැහැ? එහෙම නේද?
ඔව්... සරසවි වරම් ලැබුණත් මම මගේ මව්පියන්ට බරක් වෙන්න කැමති වුණේ නැහැ. මගේ මව්පියන් “ඔයා කැම්පස් යන්න කියලා කොච්චර කිව්වත් මම කැමති වුණේ නැහැ. ඒ නිසාම කැම්පස් යන හීනය අතහැරලා මම මහජන බැංකුවේ සේවයට එකතු වුණා. වයස අවුරුදු දහඅට වනවිට මම මව්පියන්ට බරක් වෙන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මහජන බැංකුවේ සේවය කරන අතරතුරේදී මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සිංහල, තර්කශාස්ත්‍රය, බටහිර සාහිත්‍ය ඇතුළු විෂයන් හදාරලා උපාධිය ලබාගත්තා. ඔය කාලේදී මට කොළඹ මහජන පුස්තකාලය පරිහරණය කරන්නටත් ඕන වුණා. ඒ නිසා මම කොළඹ මහජන බැංකුවට මාරුවීමක් ඉල්ලුම් කළා. ඒ කාලේ මහජන බැංකුවේ කළමනාකරු ලෙස කටයුතු කළේ සොලමන් නම් බර්ගර් මහත්මයෙක්. ඔහු මගේ මාරුවීම අනුමත කළේ නැහැ. ඒ නිසා මම මහජන බැංකුවේ සේවයෙන් ඉවත් වුණා.

මහජන බැංකුවෙන් ඉවත්වුණු ඔබට මහ බැංකුවට එකතුවෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්... මහජන බැංකුවෙන් ඉවත්වුණු මම සුමාන දෙකකින්ම මහ බැංකුවේ සේවය කරන්නට පත්වීමක් ලැබුණා. විශ්වවිද්‍යාල උපාධිය ගත්තට පසුව මම දිගින් දිගටම ඉගෙන ගැනීම් පිළිබඳව මගේ අවධානය යොමුකළා. කිසිමදාක මගේ ඉගෙනීම අතහැරියේ නැහැ. ඒ නිසා මම ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් ලබාගත්තා. මහ බැංකුවේ සේවය කරන අතරතුරේදී බැංකු විභාග සියල්ලෙන්ම සමත් වුණා. මහ බැංකුවෙන් විශ්‍රාම ගත්තේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුර ලබන අතරතුරේදීයි.

බැංකු නිලධාරියෙක් වුණ ඔබ කලාකරුවෙක් වුණේ කොහොමද?
1960 වසරේදී කනගරත්න ගුණතුංග මහතා දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයට ඇවිත් නාට්‍ය දෙකක් කළා. ඒ “සාලිය අශෝක මාලා සහ කුඩු කෑ විත්ති නාට්‍යයි. සාලිය අශෝකමාලා නාට්‍යයේ තිස්ස කුමාරයාගේ චරිතයත් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යයේ සාලිය කුමාරයාට රඟපෑවේ ලූෂන් බුලත්සිංහලයි. “කුඩු කෑ විත්ති නාට්‍යයෙන් ප්‍රධාන චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යය දෙකම එකම දවසේ ලුම්බිණි රඟහලේදී මුලින්ම වේදිකාගත වුණා. ඒ වෙනුවෙන් ගොඩාක් ඇගයීම් මට ලැබුණා. කලාවෙන් මාව දිරිමත් වෙන්න ප්‍රධානම හේතුව වුණේ ඒ වේදිකා නාට්‍ය දෙකයි. එදා සිට අද දක්වා මම වේදිකා නාට්‍ය සියයකට අධික ප්‍රමාණයේ රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍ය සියයකට වඩාත් චිත්‍රපට හතළිහකට වඩාත් රඟපාලා තියෙනවා.

ඔබ රංගන ශිල්පියෙක් පමණක් නොව ලේඛකයෙක් විදිහටත් කටයුතු කරනවා නේද?
ඔව්... මම අදටත් කවි ලියන මනුස්සයෙක්. තවමත් මගේ අතින් නිසදැස් කවි නිර්මාණය වෙනවා. ඒවා වලින් ගීත කිහිපයක්ම නිර්මාණ වෙලත් තියෙනවා. මේ වනවිට මගේ පොත් කිහිපයක්ම රචනා කරලා තියෙනවා. “පූජිත පාද මහ නගරය, හිරු නොදුටු නර්තනය නම් කෙටිකතා පොත් තුන වගේම “සුපුෂ්පිත අරණක ගෙතූ පදවැල්* නම් කවි පොතත් මගේ අතින් ලියවුණා. ඒ වගේම මම හඬකැවීම් ශිල්පියෙක් ලෙසින් කටයුතු කරනවා.

වගකීම් දරන බැංකු නිලධාරියෙක් වුණු ඔබට මෙලෙස දිගුකාලීන කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්නට කාලය තිබුණද..? ඒ කාලය සමබරව පවත්වාගෙන ගියේ කොහොමද?
මට මම රැකියාව කරන ස්ථානයට බරක් වෙන්නවත්, බොරුවක් කරන්නවත් ඕන වුණේ නැහැ. මම බැංකු සේවය කළේ අවංකවමයි. මම කෙටි නිවාඩුවක්වත් බොරැවට ගන්නේ නැහැ. මහබැංකුවේ සේවය කරද්දී මම වැටුප් රහිත නිවාඩු කවදාවත් අරගෙන නැහැ. අවුරුද්දකට අපිට ලැබුණු නිවාඩු ටික මම සමබරව අරගෙන ඒ කලා කටයුතුවල නිරත වුණා. මම කලාවට වගේම මගේ රැකියා ස්ථානයට හරියට ආදරේ කරපු කෙනෙක්. මහබැංකුවට පිංසිද්ධ වෙන්න රටවල් කිහිපයක සම්මන්ත්‍රණවලට සංචාරය කරන්නට අවස්ථාව ලැබුණා. එංගලන්තයේ ගිහින් මම “මොනාලීසා ටෙලි නාට්‍ය නිර්මාණය කළා. ඒ හැමදේම මම කළේ මගේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවන විදිහටයි. 

කලා ක්ෂේත්‍රය වගේම බැංකු ක්ෂේත්‍රය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක් වුණත් මම හැමවෙලේම ඒ ක්ෂේත්‍ර දෙක සමබරව කරගෙන ගියා. මම බැංකුවට බරක් වෙන්නවත්, කලාවට බරක් වෙලා මගේ කාලය නාස්ති කරන්නටත් ඕන වුණේ නැහැ. මගේ විශ්ව කෝෂයේ “විවේක කාලය නාස්ති කිරීම කියන දේ තිබුණේ නැහැ. මම හැමවෙලේම වැඩ කරන්න ආසා වුණ කෙනෙක්. විවේකය තියන වෙලාවේදීත් මම කවියක් ලියන්න ඉඩ වෙන්කළා. පොතක් පරිවර්තනය කරන්න උත්සාහ කළා. ඒ තුළින් මම විවේකය වෙනස් විදිහට ගතකළා. මට තාම මතකයි එකපාරක් එක්තරා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් “සඳුන් එක්කෝ උඹ බැංකුව තෝරගනින්.. නැත්නම් නාට්‍ය පැත්ත තෝරගනින්.. කියලා මුල්ම කාලේදී මට කිව්වා.
ඇත්තම කිව්වොත් ඒ කාලේ බැංකුවේ වැඩ ඉවරවෙලා පෙරහුරුවකට නොගිහින් ගෙදර එනවා කියන්නේ “හරියට දවල්ට කෑවේ නැහැ වගෙයි. ඒ තරමට බැංකු රැකියාවත්, නාට්‍ය පුහුණුවත් මම සමබරව කරගෙන ගියා. කාලය කළමනාකරණය කරන්නත්, මුදල් කළමනාකරණය කරන්නත් හොඳට දැනගෙන හිටියා. අද කාලේ කලාවේ ඉන්න බොහෝ දෙනා “යාර දෙකක් අතේ තියාගෙන යාර පහක කෝට් මහන්න... උත්සාහ ගන්නවා... මම අතේ තියෙන මුදලට ජීවත් වෙන්න දන්න කෙනෙක්. මම කවදාවත් මගේ රටටවත්, මගේ දරුවන්ටවත්, මගේ මව්පියන්ටවත් අඩුම ගාණේ මම මටවත් බරක් නැතිව ජීවත් වෙන්න උත්සාහ කරපු කෙනෙක්.

ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන විස්තර කිව්වොත්?
ශ්‍රියා මට මුලින්ම මුණගැහුණේ නම් වැල්ලවත්ත බාලිකා විද්‍යාලයෙන්. හැබැයි ඒ කාලේ අපි ආදරේ කළේ නැහැ. ඒ කාලේ අපි එකම පන්තියේ ඉගෙන ගත්තා. දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයට මම ගියාට පස්සේ ඒ යාළුකම ටිකක් අඩුවුණා. පහු කාලයේදී අපි ආයෙත් මුණගැහුණා. ශ්‍රියා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකයි. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් විවාහකයි. පුතාට දියණියන් තුන්දෙනෙක් ඉන්නවා. දුවට පොඩි පුතෙක් ඉන්නවා. පුතාගේ වැඩිමහල් දියණිය වැඩිදුර අධ්‍යාපනයට චීනයට ගිහින් හිටියේ. කොරෝනා අසනීප තත්ත්වය නිසා අපි හැමෝම බයෙන් හිටියේ. හැබැයි එයාලා හිටියේ වූහාන් ප්‍රදේශයට කිලෝ මීටර් එක්දහස් හාරසීය විස්සක දුරින්. දුවත් එක්ක තව කිහිපදෙනෙක් පහුගියදා ලංකාවට ආවා. දැන් එයා ගෙදර ඉඳගෙන අන්තර්ජාලය ඔස්සේ එයාලගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ ආපු දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ.

ටවර්හෝල් පදනමේ ඔබ සාමාජිකයෙක්?
ඔව්.. ටවර්හෝල් රඟහල පුනරුත්තාපනය කළාට පසුව මුලින්ම සිරිසඟබෝ නාට්‍යයත්, ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යයත් වේදිකා ගතකළා. ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යයේ මම ආණ්ඩුකාරතුමාගේ චරිතය රඟපෑවා. සමුද්‍රදේවී නාට්‍යයේ කැප්ටන්ගේ චරිතයත් මම රඟපෑවා. සමුද්‍රදේවි කුමාරියට හසුන්පත් යවන පෘතුගීසි කැප්ටන් එයට පිළිතුරක් ලැබෙනා තුරු ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය ගයන්නට මටත් අවස්ථාව ලැබුණා..
ගෝවේ ගෑනු පරාදයි...

රෑපේ මහද පිනායයි...
ඒ ගීතය එදා සිට අද දක්වා ඉතා ජනප්‍රිය ගීතයක් වුණා. ටයිටස් තොටවත්ත මහත්තයාගේ කාලයේදීම විවිධ චරිතවලට හඬ මුසු කරන්නට අවස්ථාව ලැබුණා. ඔහුගෙන් පසුව අතුල රන්සිරිලාල් මහතාත් මට ඒ අවස්ථාව ලබලා දුන්නා. ඒ හැමදේටම මම සම්බන්ධ වුණේ හරිම කැමැත්තෙන්. බොහෝ නාට්‍යවල විදෙස් චරිතවලට තමයි මගේ හඬ මුසු කළේ. බොහෝ අය මම සුද්දෙක්, ලංසි කෙනෙක් කියලත් හිතුවා.

මේ දිනවල ඔබ සම්බන්ධ වෙන නිර්මාණ මොනවාද?
මේ දිනවල මම “සඳවිමන නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. මම රඟ පෑ චිත්‍රපට හයක් විතර ඉදිරියේදී තිරගත වෙන්නට නියමිතව තියෙනවා. ටෙලිනාට්‍ය හතරක් පහක් පමණ විකාශනය වෙන්නට තියෙනවා. ඒ හැමදේකටම මම සම්බන්ධ වුණේ හරිම කැමැත්තෙන්. බැංකු නිලධාරියෙක් විදිහට සේවය කරපු මම කලාකරුවෙක් වෙන්නට ලැබීම ගැනත් ගොඩාක් සතුටු වෙනවා. 

 

► Text - Dishani   /  Pic –  Sumudu