2020 මාර්තු 07 වන සෙනසුරාදා

කේන්ති ගියාම කෑ ගහලා, බැනලා, අඬලා ඒක ඒ වෙලාවෙම ඉවර කරනවා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 381

මුලින්ම අළුත් ජීවිතය ආරම්භ කරපු සහන්ටත් සිනෙතිටත් හදසර අපේ සුභපැතුම්....?
බොහෝම ස්තූතියි....

ඉතින්... මේ ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලා කියමුකො?
(ඔන්න ඉතින් අපි මේ දෙන්නගෙන් මුලින්ම එහෙම අහද්දි ආදර කතාව ගැන මුලින්ම අපිට කියන්න එකතුවුණේ සහන්)
මේ ආදර කතාව පටන්ගත්තේ දැනට අවුරුදු හතකට විතර උඩදියි. මමත් මේ ක්ෂේත්‍රය අතපත ගාන්න, වැඩක් හොයන, වැඩක් කරන්න උත්සාහ ගන්න කාලය. අකිල කියන්නේ (අකිල ධනුද්දර) මගේ හොඳ මිත්‍රයෙක්. ඒ කාලේ මටයි අකිලටයි ඇඟවල් හොඳට හදන උණවල් තිබුණ කාලයක්. ඒ නිසාම අපි හැමදාම වගේ ට්‍රේනිං වුණා. ඔය කාලයේදී අකිල සෝමරත්න දිසානායක මහතාගේ සිරි පැරකුම් චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ නිසා නිතරම අකිල ඒ වැඩවලට ගියා. සමහර දවස්වලට සහන් අයියා මාත් එක්ක යංකො* කියලා. මාවත් කිහිප වතාවක්ම එක්කගෙන ගියා. චරිතවලට කට්ටිය තෝරගත්තට පස්සෙ සිනෙතිවත් චරිතයට තෝරාගෙන තිබුණා.

ඒ කළු එතනාගේ චරිතයට නේද...?
ඔව්... හැබැයි කළු එතනාගේ චරිතයට සිනෙතිගේ ඇඟ පොඩ්ඩක් වැඩි බවක් සෝමරත්න මහත්තයාට තේරිලා තිබුණා. ඒ නිසාම ඔයාලා ජිම් යනවනේ.... මෙයාගේ ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න මෙයාවත් ජිම් එකට පොඩ්ඩක් අරගෙන යන්න කියලා සිනෙතිව අකිලට බාරකරලා තිබුණා. ඔය කාලේදී මායි අකිලයි හොඳට ට්‍රේන් කරන කාලය.

ඒ කියන්නේ කිව්ව විදිහටම සිනෙතිගේ බර අඩුකරගන්න සහනුයි, අකිලයි උදව් කළාද?
ඔව්නේ... පහුවදා ඉඳන්ම ඒ මෙහෙයුම ක්‍රියාත්මක කළා. මට අකිල කෝල් කරලා සහන් අයියේ චිත්‍රපටයේ ඉන්න නංගිගේ ඇඟේ බර අඩුකරගන්න ඕනේ. අපි ඒක කරමුද කියල මගෙන් ඇහුවා. මාත් කැමති වුණා. ඔන්න ඉතින් පහුවදා කාර් එකේ මමයි, අකිලයි, තව අපේ යාළුවෙකුයි සිනෙතිගේ ගෙවල් ළඟට ගියා.

සිනෙතිත් පදිංචිවෙලා හිටියේත් සහන් පදිංචිවෙලා ඉන්න ගෙදර ළඟමයි නේද?
ඔව්... ඔව්... හැබැයි ඊට කලින් අපි මුණගැහිලා තිබුණේ නැහැ. ඔන්න ඉතින් අපි කාර් එක ගේ ළඟ නතර කරලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් එකපාරටම ගේට්ටුව ඇරැණා. මාත් කවුද මේ කෙල්ල කියල දෑස් අයාගෙන බලාගෙන ඉඳිද්දි එකපාරටම මුලින්ම ගේට්ටුවෙන් ආවේ සිනෙතිගේ අම්මායි. ඒත් එක්කම සිනෙති හරිම අහිංසක විදිහට පිටිපස්සෙන් ආවා. ඒ මුලින්ම දැකපු ඒ දැකීම තාමත් මම බලාපොරොත්තු වෙනවා. ඒ මුල්ම දැකීම මට තාමත් හොඳට මතකයි. (ඔන්න ඉතින් ඒ මුල්ම දැකීම ගැන සහන් එහෙම කියද්දි ඒ වගේ මතකයක් සිනෙතිටත් ඇතිදැයි කියලා අපි සිනෙතිගෙන්ම අහලා බැලුවා.)

සිනෙතිට මතකද ඒ සිදුවීම?
ඔව්... හොඳට මතකයි. ඒ මතකය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අකිල අයියනේ මුලින්ම මම දැක්කේ. අකිල අයියා මට සහෝදරයෙක් වගේ. මගේ පළමු චිත්‍රපටයේදී මම කිසිම කෙනෙක් දන්නේවත් නැහැනේ. දවසක් අකිල අයියා මට කෝල් කරලා නංගී... ලෑස්තිවෙලා ඉන්න. අපි එක්ක යන්න එනවා... සහන් අයියා තමයි මටත් ට්‍රේනිං කරන්නේ. එයාම ඔයාටත් ට්‍රේනිං කරයි කියලා කිව්වා. ඉතින් මාත් කාර් එකට නැග්ගම සිනෙති මේ සහන් අයියා... සහන් මේ සිනෙති කියලා අපිව හඳුන්වලා දුන්නා. ඉතින් අකිල අයියගේ යාළුවා නිසා මම හොඳට දත් තිස්දෙකම ඉස්සරහට දාලා හිනාවුණා. හැබැයි සහන් අයියා මාව ගණන් නොගෙන කට කොනකින් ලාවට හිනාවුණා. හරිම ආඩම්බරකාරයෙක් විදිහටයි එදා මම දැක්කේ.

ඇත්තටම සහන් සිනෙතිව එහෙම ගණන් ගත්තේ නැද්ද?
ඇත්ත කියන්නද? මට සිනෙතිව දැක්කම හිතාගන්නවත් බැරිවුණා. සිනෙතිව දැක්ක මුල්ම දැකීම මට තාමත් හොඳට මතකයිනේ. ඒ කියන්නේ ඒක මට සුවිශේෂී දැකීමක්ම තමයි. මම බොරැවට සිනෙතිව දැකලා ගණන් ඉස්සුවා. බොරැ ආඩම්බර පෙනුමක් එයාට පෙන්නුවා.

කිව්ව විදිහටම සිනෙතිට ජිම් එකේදී පුහුණුවීම් කළේ සහන්ද?
ඔව්නේ... සහන් හොඳට උස මහතයිනේ. ඉතින් ජිම් එකේදිත් අකිල අයියා දිහා බලලා අනේ අයියේ ඔයාම පුහුණු කරන්නකෝ කියලත් මම හෙමීට කියනවා. සහන් අයියා ජිම් එකේදී පුහුණුවීම් කරද්දී දැනටත් හරි සැරයි. අපි හරියට කළේ නැත්නම් පොඩ්ඩක් ඇත්නම් කෑ ගහනවා. ඉතින් සහන්ට හොරා මම අකිල අයියාට අයියෝ ඔයා එන්නකෝ.... ඔයා පුහුණු කරන්නකෝ.. කියලා හොරෙන් කතා කරනවා.

සහන්... මුලින්ම දැකීමත් සුවිශේෂියිනේ. ඔය හිතට සිනෙති ගැන ආදරයක් ඇතිවුණේ කොයි කාලේදීද?
ඒ දැකපු වෙලාවේ ඉඳන්ම මට සිනෙතිව සුවිශේෂී වුණා. ඒ වගේම මෙයාගේ පිළිවෙල කතා කරන විදිහට මම ආසා කළා. ඒ හැමදේටම වඩා මම ආසාකරපු සුවිශේෂම දේ වුණේ සිනෙතිගේ කොණ්ඩයයි. කර්ල් කොණ්ඩයට තමයි මුලින්ම මගේ ඇහැ ගියේ. ඒ කොණ්ඩයට ගැලපෙන මූණට, ඒ පෙනුමට මම ඇත්තටම වශී වුණා. ඒ හැමදේත් එක්කම මම මෙයා ගැන පොඩි සෙවිල්ලකින් තමයි හැමවෙලේම හිටියේ. ඒක ආදරයක් කියලා මම දැනගෙන හිටියා. ඒ ආදරය ගැන මම කලබලේට අහන්න බැහැ. හැබැයි පස්සෙට අහන්නත් බැහැ. ඒ නිසා ට්‍රේනිං කරන්න පටන් අරගෙන සති දෙක තුනකට විතර පස්සේ මම සිනෙතිගෙන් ඒ ගැන ඇහුවා.

හැමදේම මතකයේ තිබෙන සහන්ට ඒ ආදරය ප්‍රකාශ කරපු විදිහත් අමතක නැහැනේ?
නැහැ.... නැහැ... හොඳට මතකයි. එතකොට සිනෙති සිරි පැරකුම් චිත්‍රපටයේ ෂූටිං වලට ගියා.

ඔය රූගත කිරීම්වලට ගියාමත් සිනෙතිට නිතරම සහන් කෝල් කරනවාද?
ඔව්... මට කෝල් කරලා නංගී... වැඩියෙන් කන්න එපා. නංගී... පළතුරු විතරක් කන්න. බත් වැඩියෙන් කන්න එපා කියලා උපදෙස් මාලාවක්ම කියනවා. මාත් ඉතින් හරි අයියේ... හරි කියලා හොඳට ෆ්‍රයිඩ් රයිස් කෑවා. ඔහොම මුලදී අපි ජිම් එක ගැන, එක්සයිස් ගැන, ඇඟ ගැන කතා කළා. ඒ අතරේ එකපාරටම දවසක් සහන් &නංගී... මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මම ඔයාට ආදරෙයි* කියලා කිව්වා. මම ගත් කටටම අනේ අයියේ පිස්සුද... ඔයා මට අයියා කෙනෙක් වගේ කියලා කියද්දීම ආ... හරි නංගී... හරි... අවුලක් නැහැ කියල ෆෝන් එක තිබ්බා. මට ඒක හිතාගන්නවත් බැරිවුණා.

ඇත්ත කියන්න... සහන් එහෙම කියද්දී ඔය හිත යටින් පොඩි හරි ආදරයක් සිනෙතිගේ හිතේ තිබුණේ නැද්ද?
මෙහෙමයි. සහන් ඒ ගැන අහනකම් එහෙම ලොකුවට ආදරයක් තිබුණද කියලා මම දන්නේ නැහැ. හැබැයි එයා අහද්දිම මොකක්දෝ දෙයක් මටත් දැනුණා. ඒක මට කියාගන්නවත් ඉඩ නොතියා... අඩුම ගාණේ උත්තරයක් දෙන්න කල් ඉල්ලන්නත් කලින් සහන් ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මට හරි අප්සට්. මම මෙයා ආයෙත් ගනීවි කියලා සෑහෙන කාලයක් බලාගෙන හිටියා. හැබැයි මෙයා ආයෙත් මට ගත්තේ නැහැ. ඒ හැමදේම අකිල අයියා දැනගෙන හිටියා. හැබැයි මාත් එක්ක මුකුත්ම කිව්වේ නැහැ. සහන් මට කතා නොකරපු එකට මට හරි අවුල්. හැබැයි මට මුලින් කතා කරන්න බැහැනේ. ඔහොම ෂූට්වල ඉඳිද්දී එකපාරටම මට කතා කරන්න අවස්ථාවක් ලැබුණා.

ඒ මොකක්ද ඒ අවස්ථාව...?
ඒකට මාර්ගය හදලා දුන්නේත් අකිල. මගේ අම්මා අන්ත්‍රාවෙලා තුන්මාසය ගෙවුණ දවසේ තමයි සිනෙති මට කෝල් කළේ. ඒකටත් එක හේතුවක් තිබුණා. ඒ තුන්මාසේ දානය තිබුණ දවසට කලින් දවසේ රෑ මායි තව මගේ යාළුවෙකුයි ගියපු වාහනය ඇක්සිඩන්ට් වුණා. එදා මගේ වාහනයේ මගේ ඔළුව හැප්පුණ නිසා පහුවදා පාන්දර මම හොස්පිට්ල් එකට ගියා. එතනදී තමයි අකිල සිනෙතිට මේ ගැන කියලා තිබුණේ. ඉතින් සිනෙතිත් මට කෝල් කළා. ඒ වෙලාවේ මම හොස්පිට්ල් එකේ හිටියා.
ඔන්න ඒ කතාවට සිනෙතිත් එකතු වුණේ මෙහෙමයි...

මටත් සහන් එක්ක කතා කරන්න හොඳම අවස්ථාව නිසා මම ඉක්මනට කෝල් එකක් ගත්තා. නංගී... මම හෝස්පිට්ල් එකේ ඉන්නේ. මම ඔයාට පස්සේ ගන්නම් කියලා සහන් කියද්දී අනේ... ගන්නවා නේද? කියලා ෆෝන් එක තියන්නත් කලින් අයියගෙන් ඇහුවා. ඊටපස්සේ ගත්තා. එදායින් පස්සේ අපි දිගටම ආයෙත් කතා කළා.

සිනෙති ඔයාට සහන් මුලින්ම දීපු තෑග්ග මතකද?
ඔව්... හොඳට මතකයි. මගේ උපන්දිනය මල් බොකියක්, ෆෝන් එකක්, ලස්සන ගවුමක් දුන්නා.  අදටත් ඒ ගවුම මගේ උපන්දිනයට මම ළඟ තියෙනවා.

සහන්... ඔයාට සිනෙති මුලින්ම දීපු තෑග්ග මතකද?
ඔව්... ඒක තෑගි වට්ටියක්. මගේ උපන් දිනය දවසේ තමයි ඒ තෑගි වට්ටිය සිනෙති මට ගෙනාවේ. මට තාම මතකයි එයා ඒක අරගෙන එද්දී මම හිතුවේ පළතුරු වට්ටියක් අරගෙන එනවා කියලා. එයා ඒක ගෙනල්ලා මෙසේ උඩින් තියද්දී මම ඒක එබිලා බැලුවා. අම්මෝ ඒක තෑගි වට්ටියක්... ෆෝන් එකක්, පර්ස් එකක්, සුවඳ විළවුන් තව ගොඩාක් දේවල් එකේ තිබුණා. මට ඒක හිතාගන්නවත් බැරිවුණා... මල්වලින් සරසපු ඒ තෑගි වට්ටිය අදටත් මට හොඳට මතකයි.

ඇත්තම කියන්න... වැඩියෙන් කේන්ති යන්නේ කාටද?
මට කේන්ති යනවා. (ඔන්න අහන්නත් කලින්ම ඒ උත්තරය දුන්නේ සිනෙතියි.) මට කේන්ති ගියාම මම කෑ ගහලා, බැනලා, අඬලා ඒක ඒ වෙලාවෙම ඉවර කරනවා. හැබැයි මෙයාට කේන්ති ගියොත් නම් මම කෑ ගහන්නේ නැහැ. කතා නොකර පාඩුවේ ඉන්නවා. එයාට කතා නොකර ඉන්න පුළුවන් වුණාට මට නම් එහෙම ඉන්න බැහැ.

ඉතින් දෙන්නගේ විවාහය මේ කාලේදී ගන්න ඕනේ කියලා තීරණය කළේ කවුද?
ඒකට මූලිකවම හේතුව වුණේ මාධවී (මාධවී වත්සලා) 2018 ජනවාරි මාසේ ඒ කට්ටිය කසාද බැඳලා දවස් කිහිපයක්ම පාටි තිබුණනේ. ඉතින් එක දවසක් ජැකා අංකල් (ජැක්සන් අංකල්) කට්ටියම ඉන්න තැනදී මාධවී “අයියේ දැන් මේ ඔයා කසාද බඳින්නේ නැත්තේ ඇයි? දැන් ඔයා බඳින්න ඕනේ කියලා කෑ ගැහුවා.. මටයි සිනෙතිටයි කරකියාගන්න දෙයක් නැහැ. ටික දවසක් ගියාට පස්සේ මගේ උපන් දිනය දවසේ සිනෙතිගේ අම්මා විෂ් කරලා “දැන් අපි මේක කරමු නේද පුතේ කියලා ඇහුවා. මාත් ඒකට කැමති වුණා. වෙලාවක් බලද්දී සිනෙතිගේ උපන්දිනය දවසේ හොඳ දවසක් බව අපිට කිව්වා. ඉතින් අපි පෙබරවාරි මාස 28 වැනිදා විවාහ වුණා.

සහන්... අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
දැන් අපි දෙන්නා ජීවත් වෙන්නේ මගේ ගෙදරයි. කසාද බැන්දා කියලා හරිම ආඩම්බරණීය හැඟීමෙන් මේ දවස්වල දවස ගෙවෙනවා. 

 

► Text - Dishani / Pic – Internet