2020 මාර්තු 07 වන සෙනසුරාදා

විචාරකයෝ කොහෙද ලංකාවේ විජය අසයි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 172
විජය කුමාරණතුංගයන් කලාත්මක - වාණිජ කියා චිත්‍රපට තෝරා ගන්නට ගියේ නැත. එමෙන්ම චිත්‍රපටයකට නිෂ්පාදකවරයකු කතා කළ විට ඔහුගේ හිත තැලෙන ලෙස ලොකු ගණන් කියන්නට ගියේද නැත. නිෂ්පාදකවරයා හෝ අධ්‍යක්ෂවරයා දැන හඳුනන්නකු නම් ඔහු කීවේ කරමු... කරමු... කියාය.
 
තිස්ස අබේසේකරයන්ගේ මං මුලා වැල්* චිත්‍රපටයට විජය සම්බන්ධ වූයේද ඔහුගේ ඒ ප්‍රතිපත්තිය අනුවමය. එහි විධායක නිෂ්පාදක ලෙස සම්බන්ධ වූ තිස්සගේ බිරිඳ අසංකා අබේසේකර කියන්නේ චිත්‍රපටය අතරමඟ නතර වුණ නිසා විජයට නියමිත මුදලවත් ගෙවාගන්නට බැරිවුණා කියාය.
 
ගජමුතු සොයන්නට යන ගූඨ මිනිසුන්ගේ කතාවක් රැගත් මං මුලා වැල් බාගෙට නිම වුවද රෑගත කරන ලද දළ සේයාපට කොහේදැයි අදද සොයාගත නොහැකිය. ඒ 1983දී ජාතිවාදී කෝලාහලවලදී විජය චිත්‍රාගාරය ගිනිගැනීම නිසාය. එහිදී එම දළ සේයාපට ගිනි ගත්තාද නැතහොත් අස්ථාන ගත වූවාදැයි යන්න අසංකාටද හරිහැටි කිව නොහැකිය.
• • • • •
හැත්තෑව දශකයේ අග භාගයේදීත් අසූව දශකයේ මුල් භාගයේදීත් විජය මට නිරතුරැවම හමුවිය. කොළඹ උත්සව සහ සාදවලදීත් ඇතැම් විටෙක ඈත පළාත්වල දර්ශනතල වලදීත් විජය හමුවීම ප්‍රසන්නජනක විය.
ප්‍රවීණ කැමරා ශිල්පි, නිෂ්පාදන අධ්‍යක්ෂ තිමති වීරරත්නයන් ශ්‍රී ලංකා - ඉන්දියානු හවුල් නිෂ්පාදනයක් ලෙස නැංගුරම් නමින් දෙමළ චිත්‍රපටයක් ආරම්භ කළේද 1979දී පමණය. ඔහුගේ අදහස වූයේ එම චිත්‍රපටය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමය. එයට සිංහල දෙබස් කවා සිංහල ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමටද ඔහු බලාපොරොත්තු වූවේය.
 
අද අප ජාත්‍යන්තරයට යා හැකි සිනමාවක් ගැන කතා කරද්දී එදා තිමති ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් සමඟ දෙමළ චිත්‍රපටයන් ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කිරීම එක්තරා අයුරකට විස්මයජනක කටයුත්තකැයි මට සිතෙයි.
(මෙහිදී මාලනී ෆොන්සේකා හා ශිවාජි ගනේෂන් ප්‍රධාන චරිත රඟපෑ ඉන්දීය - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වූ පයිලට් ප්‍රේම්නාත් සහ ගාමිණී ෆොන්සේකා රඟපෑ නීල කඩලින් ඕරත්තිල්^ නම් ඉන්දීය දෙමළ චිත්‍රපටද මගේ මතකයට නැගෙයි.) නැංගුරම් (නැංගුරම) චිත්‍රපටය සඳහා තිමති තෝරාගත්තේ ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවකු වූ මුතුරාමන් සහ සම්මානනීය දකුණු ඉන්දීය නිළියක වූ ලක්ෂ්මීය.
 
ශ්‍රි ලංකා නළු නිළියන් ලෙස විජය කුමාරණතුංග, සබීතා පෙරේරා, ෆරීනා ලායි ආදීන් තෝරාගත් බව මට මතකය. ලක්ෂ්මී එකල ජනප්‍රියතම හින්දි චිත්‍රපටයක් වූ ජුලී චිත්‍රපටයේද රඟපා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී සිටියාය.
ජූලී... අයි ලව්... යූ....
 
ජූලි - ජූලී... ලව්ස් යූ.... යන ලතා මංගෙෂ්කාර් හා කිෂෝර් කුමාර් ගයන හින්දි ගීතය අදත් ඇසෙද්දී ලක්ෂ්මීගේ රැඟුම්ද අපට සිහිපත් වෙයි.
තිමති උපත ලැබුවේ බදුල්ලේ නිසා ඔහුට දෙමළ බස හොඳින් හැසිරවිය හැකිය. ඉන්දියානු චිත්‍රාගාරවල අත්දැකීම් රැසක් ඇති තිමති විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂවරයෙක්ද වෙයි. ගීත ජවනිකා සඳහා තිමති තෝරාගත්තේද බණ්ඩාරවෙල කඳුකර ප්‍රදේශයයි. කළු - සුදු චිත්‍රපට අභිබවා වර්ණ චිත්‍රපට ඉදිරියට එමින් තිබූ ඒ කාලයේ නැංගුරම් රූගත කෙරුණේ වර්ණයෙනි.
 
අප නැවතී සිටියේ බණ්ඩාරවෙල අයිඩියල් රිසෝට් හිය. එය බොහෝ නළු නිළියන්ට හා සිනමා ශිල්පීන්ට හුරුපුරුදු නවාතැනකි. හතරවටින්ම කඳු වළල්ලෙන් වටවූ එම නවාතැනේ රූගත කළ සිංහල චිත්‍රපටද රැසකි.
උදෑසන නමය වනවිට රූගත කිරීම් ඇරඹිණ. එය දියතලාවට කිට්ටු මනරම් දර්ශන තලයකි. ගීත ජවනිකාවේ රඟපෑවේ මුතුරාමන් හා ලක්ෂ්මීය. රැලි කොණ්ඩයකින් හා උඩු රැවුලකින් යුතු මුතුරාමන්ගේ මුහුණට මේකප් දැමීම නිසා රෝස පාටින් දිස්විය. ඔහු තද වර්ණ ඇඳුමකින් සැරසී කොටු වැටුණු කෝට් එකක් හැඳ සිටියේය. මෙම චිත්‍රපටය සඳහා සංගීතය නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසය. ගායනා මට මතක හැටියට ජානකී සහ එස්.පී. බාලසුබ්‍රමනියම්ය.
තිමති ගීත ජවනිකා රූගත කිරීමේදී බොහෝ සෙයින් මහන්සි වෙයි. සුන්දර දර්ශන පමණක් නොව ඇඳුම් පැළඳුම් පවා කිහිප විටෙකදී වෙනස් වෙයි. ඉන්දීය චිත්‍රපට ප්‍රේක්ෂකයෝ එවැනි ගීතමය ජවනිකාවලට තවමත් ප්‍රියකරති.
ලක්ෂ්මී ඉතා චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවන්නීය. ඒ නිසාම ජවනිකාවක් රූගත කිරීමේදී විවිධ අදහස් පළකරන්නට පටන් ගනියි.  ඉන්දියානු සංස්කෘතිය ගැන කතා කරයි. දර්ශන වෙනස් කිරීම් ගැන කතා කරයි. එය වරෙක කරදරයකි.
විජය මෙහි රඟපාන්නේ විග් එකක් පැළඳගෙනය. එය ඔහුගේ සුපුරුදු රැලි කොණ්ඩයට වඩා එකල ජනප්‍රිය වී තිබිණ. මෙම විග් එක බමරු ඇවිත්, පාර දිගේ ආදී චිත්‍රපට ගණනාවකදී ඔහු පැළඳ තිබිණ. ලක්ෂ්මී දර්ශන තලයේදී හැසිරැණේ තරමක ආඩම්බරයකිනි. ඇය සෙසු අය හා සුහදව කතා කළේ කලාතුරකිනි. මේ නිසා රූගත කරන කණ්ඩායමේ පිරිස් අතර ඇය කෙරෙහි විශාල ප්‍රසාදයක් නොතිබිණ. එහෙත් ඇය විජය හා කුළුපග වූවාය. ඇය ඔහු හා නිරතුරුවම සුහදශීලීව කතා කළාය. ඔහු හා රූගත කිරීම්වලදී බොහෝ සේ සුහද වූවාය.
 
 
දැනුදු යූ ටියුබයේ නැංගුරම් චිත්‍රපටයේ එම ගීත දෙක දැකිය හැකිය. ඒ කාලයේ විජයගේ මුහුණ කොතරම් සුන්දරදැයි ඒ ගීත දකින විට මට සිහිපත් වෙයි.
මුතුරාමන් රඟපැවේද තරුණයකුගේ චරිතයකි. ඒ වනවිට ඔහු පනස් ගණන්වල පසුවිය. උදේට විග් එකින් සැරසී උඩු රැවුලක් දමාගෙන රූගත කිරීම්වලට සහභාගී වන මුතුරාමන් හැන්දෑවට එය ගලවා දමයි. ඔහුගේ හිසේ කෙස් අඩුය. හැන්දෑවේදී හඳුනාගන්නටත් අපහසු තරම්ය. එහෙත් ඔහුට ගාණක් නැත.
 
විජයද ජනතාව වඩාත් ප්‍රියකරන චිත්‍රපටවල රඟපෑමට ආසා කළේය. ජනතාව තමන්ට ප්‍රියකරන බව අසන්නට ඔහු කැමති විය.
තිරයේ මවන ප්‍රතිරූපය තුළින් ඔබ දේශපාලන කටයුතුවලට කිසියම් පිටිවහලක් ලබාගන්නවාදැයි මම වරක් විජයගෙන් ඇසුවෙමි.
යම්කිසි ආකාරයකට නළුකමෙන් ලැබෙන ජනප්‍රියත්වයෙන් මගේ දේශපාලන ජීවිතයට ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි නම් මම ඒක ලබාගන්නවා. මට පුළුවන්කමක් ලැබුණොත් දේශපාලන චරිත අළලා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න මම ඒකත් කරනවා.
 
දේශපාලන අරමුණු සඳහා නළුකම උපයෝගී කර ගැනීම ඔබේ කලා ජීවිතයට හානියක් නේද? මම ඊළඟට ඇසුවෙමි.
මට ඕනෑ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ හදවත් තුළට යන්නයි. එහෙම නැතිව විචාරකයො අතලොස්සක් සතුටු කරන්න මට වුවමනාවක් නෑ. ලංකාවේ විචාරකයො නෑ. පෞද්ගලික හිතවත්කම්වලට පෑන මෙහෙයවන විචාරකයො තමයි ඉන්නෙ. විචාරකයො නැතිවට හොඳ චරිතය මොකක්ද හොඳ කලා කෘතිය මොකක්ද කියල ජනතාව තීරණය කරාවි. අපි කලා නිර්මාණවලින් සතුටු කළ යුත්තේ අර විචාරකයො අතලොස්සද? නැතිව බහුතර ජනතාවද? මහා කලා කෘතියක් කරලා ඒක දවස් තුනෙන් හෝල්වලින් ගලවන්න වෙනව නම් ඒ කියන්නෙ ඒක ජනතාව ප්‍රතික්ෂේප කරලා. ජනතාවට තේරෙන්නේ නැති, ඔවුන් පිළිගන්නෙ නැති කලා නිර්මාණ කරන්න මට ඕනෑ නැහැ.
නාගා රෙකෝඩරයෙන් දෙමළ ගීතය පසුබිමේ වාදනය වෙද්දී විජය - ලක්ෂ්මී සමඟ ඒ අනුව රඟපායි. දෙමළ වචන අනුව ඔහුගේ තොල් හැසිරවීමද අපූරුය. විජය හා ලක්ෂ්මීගේ රෑගත කිරීම් සඳහා තිමති දියතලාව, ඇල්ල තානායම අවට දර්ශන තල ලෙස යොදාගත් බව මට මතකය.
 
 
විජය දින ගණනාවක් බණ්ඩාරවෙල රැඳුණේ නැත. වැඩිම වුණොත් දින දෙකකි. ඒ දින දෙකේදී සුපුරුදු ලෙසම ඔහු රෑගත කරන කණ්ඩායමේ මෙන්ම ඉන්දියානු සිනමා ශිල්පීන් අතරද සුහදත්වය ගොඩනගා ගත් බව මෙහිදී ලිවිය යුතුය. ඒ ඔහුගේ ආකර්ෂණයයි.
 
 
► Text - Rodney Widanapathirana