2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ප්‍රේමකීර්ති ද අල්විස් විනාඩි පහෙන් මට සින්දුවක් ලියලා දුන්නා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 268

ඔබේ උපන්ගම ගාල්ලේ. අපි ඔබේ ජීවිත කතාව එතැනින් පටන් ගමු?
ඔව්. මම උපන්නේ ගාල්ලේ. හැබැයි මගේ තාත්තාගේ ගම රාගම. මම ගාල්ලේ ඉපදුණත් මම පොඩිම කාලෙදි තාත්තලා ගල්කිස්සේ පදිංචියට ආවා. ඒ නිසා මගේ ළමා කාලය ගෙවුණේ ගල්කිස්සේ. මම පවුලේ එකම දරුවා වුණා. තාත්තා පොලීසියේ රාජකාරි කරපු පොලිස් නිලධාරියෙක්. ඒ නිසා තාත්තා කොටහේන පොලීසියේ කාලයක් රාජකාරි කළා.

වර්නන් ඉගෙනගත්තේ?
තාත්තා කොටහේන පොලීසියේ රාජකාරි කරපු නිසාම මුලින්ම කොටහේන ශාන්ත ලුසියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ඊටපසුව මම තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.

ඔබේ ළමා කාලය පිළිබඳවත් කතා කළොත්?
මගේ අම්මගේ ගම බලපිටියේ. එහේ තමයි අම්මගේ සහෝදර සහෝදරියන් ජීවත් වුණේ. මම මගේ පවුලේ එකම දරුවා වුණාට මට මගේ වයසේ ඥාති සහෝදර සහෝදරියන් පිරිසක් හිටියා. ඒ නිසා ඒ අයියලා මල්ලිලා නිසා අපේ ගෙදර පිරිලා තිබුණා. ඒක හරියට බෝඩිමක් වගේ. හරිම විනෝදජනකයි. අපේ එක ලොකු අම්මා කෙනෙක් ඒ කාලේ අනුරාධපුරේ පදිංචි වෙලා හිටියා. ඒ නිසා හැම ඉස්කෝලෙ නිවාඩුවකටම අපි හැමෝම කෝච්චියේ නැගලා අනුරාධපුරේ ගියා.

ඒ අනුරාධපුර ගමන කොහොමද?
හරිම විනෝදජනකයි. ඉස්කෝලෙ නිවාඩු දුන්නු දවසට පහුවදාම කට්ටියම කෝච්චියේ නැගලා අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ හිටපු අයියාගේ යාළුවෙක් ළඟ පොඩි Airgun එකක් තිබුණා. ඉතින් අපි අනුරාධපුරේ ගියාම ඔය තුවක්කුවක් අරගෙන කුරුල්ලන් දඩයමේ යනවා. ඒ කාලේ ගැන හිතද්දි ඇත්තටම හිතට දැනෙන්නේ දුකක්. මමනම් කුරුල්ලෝ දඩයමේ යන්නෙ නෑ. හැබැයි ඒවා බලන්න යනවා. කොහොමටත් ඒ අනුරාධපුර ගමන හරිම විනෝදජනකයි. පොඩි වෙලාවක් ගෙදරට වෙලා හිටියේ නැහැ. කෑම කන්න විතරක් ලොකු අම්මගේ ගෙදරට ඇවිත් ආයේ කැලෑවට යන අපි ලොකු අම්මගේ ගෙදරට ආවේ රෑට නිදාගන්න ටිකට විතරයි. කොහොමත් හැම ඉස්කෝලෙ නිවාඩුවකටම අනුරාධපුරේ යන අපි කට්ටිය ආයෙමත් කොළඹට එන්නේ පාසල පටන්ගන්න දවසක් දෙකක් තියලයි.

පාසැලේදී ඔබ මොන වගේ චරිතයක්ද?
තර්ස්ටන් විද්‍යාලයේ ඉන්නකොට මට ගීත ගයන උණක් ඇතිවුණා. ඒක පටන්ගත්තේ ළමා කාලයේ සිටමයි. ඒ කාලේ මම සංගීතය විෂයක් විදිහට කළේ නැහැ. ගුවන්විදුලියේ ප්‍රචාරය වුණ ගීත මම ඔහේ කියෙව්වා. ඒ හුරුවීම පසුකාලෙදී මම පාසලේදී ගායකයා වුණා. කලා කටයුතුවලදී මගේ යාළුවෝ වර්නන් සින්දුවක් කියපන් කියලා මාව ඉදිරිපත් කළා. ඒ කාලේ අපේ පාසලේ සංගීත ආචාර්යවරයා වුණේ ලයනල් අල්ගම ශූරීන්. ඒ කාලේ තමයි අපේ පාසලේදී නරිබෑනා නාට්‍යය පුහුණුවීම් කළේ. ලයනල් අල්ගම සර් වගේම දයානන්ද ගුණවර්ධන සර්ලා ඉතා දක්ෂ ගුරුවරු. අපි නාට්‍යයට සම්බන්ධ නොවුණාට ඒ නාට්‍ය පුහුණුවීම් කරන දිහා අපි හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ලයනල් අල්ගම සර් නිසාම සංගීතය ගැන එහි වටිනාකම ගැන අපිට තේරුණා. ඒ නිසා සංගීතය ඉගෙනගන්න මටත් ආසාවක් ඇතිවුණා.

පාසලෙන් පසුව වර්නන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
පාසල් අධ්‍යාපනයෙන් පසුව ටික කාලයක් ඔහේ ඇවිද ඇවිද ඉන්න කාලයක් තියෙනවනේ. ඒ කාලය ඇතුළත සංගීතයට කැමති අපේ යාළුවෝ පිරිසක් එකට එකතු වුණා. මට තාම මතකයි ලාල් තේනබදු, මයික් ගුණසේකර වගේ යාළුවොත් ඒකේ හිටියා. රත්මලාන මැලිබන් හන්දියේ ඒ කාලේ හැම අවුරුද්දකම විශාල සංගීත සංදර්ශනයක් තිබුණා. ඒකේ නිවේදකයා වුණේ වෝල්ටර්. (වෝල්ටර් ප්‍රනාන්දු). ඉතින් අර සංගීත පිරිසේ මමත් ඉන්න නිසා මටත් සින්දු කියන්න එන්න කියලා කිව්වා. ඒ කාලේ ජනප්‍රිය ගායකයන්ට මොහිදින් බෙග්, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරයි. අපිටත් ඔය ජනප්‍රිය අය අතරට සින්දුවක් දෙකක් කියන්න අවස්ථාව දුන්නා. මම මුලින්ම කිව්වේ ජෝති අයියගේ සින්දු. එදා එක ගායකයෙක්ට ලැබුණේ රුපියල් පහක් හෝ දහයක මුදලක්. අපිටනම් සත පහක්වත් ලැබුණේ නැහැ. හැබැයි සල්ලිවලට වඩා ඒ ලැබුණු අවස්ථාව එදා අපිට ලොකු හයියක් වුණා.

ඔය අතරේ තමන්ගේම ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ඒකත් හරිම අහඹු සිදුවීමකින්. අපේ තාත්තගේ නෑදෑවෙන කෙනෙක් තමයි චිත්‍රානන්ද අබේසේකර මහතා. ඔහු එකල ගුවන්විදුලියේ සිංහල අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ. එක්තරා උත්සවයකදී ඔහුව අපිට මුණගැසුණා. ආගිය තොරතුරු කතා කරලා ඔහු මෙයා මොකද කරන්නේ කියලා මාව පෙන්නලා ඇහුවා. මෙන්න මේ සින්දු කිය කියා රස්තියාදු ගහනවා කියලා මගේ තාත්තා ටිකක් කේන්තියෙන් කිව්වා. වෙලාවක ගුවන්විදුලියට එන්නකො කියලා චිත්‍රානන්ද මහතා මට කිව්වා. හැබැයි ඒක මට එච්චර ගාණක් වුණේ නැහැ.

වර්නන් ඔහුව මුණගැහෙන්න ගියාද?
ඔව්.. දවසක් මගේ තව ඥාති සහෝදරයෙක්ගේ බලකිරීමට ඒ අයියාත් එක්ක මම ගුවන් විදුලියට ගිහින් චිත්‍රානන්ද මහතාව මුණගැසුණා. ඔහු මාව ගුවන්විදුලියේ හයවැනි මැදිරියේ හිටපු සරත් විමලවීරව මුණගැහෙන්න එක්ක ගියා. ඔහු එවකට සංගීත වැඩසටහනක නිෂ්පාදකවරයෙක්. ඒ වෙද්දිත් ආධුනික වැඩසටහනක් මෙහෙයවමින් හිටියේ. චිත්‍රානන්ද මහතා මට සරත්ව හඳුන්වලා දුන්නා. ඒ 1966 අවුරුද්දේ පෙබරවාරි මස 26 වැනිදායි. සරත් විමලවීර දැන් මොකද්ද කියන සින්දුව කියලා අහද්දි මම ජෝතිපාල මහත්තයගේ සින්දුවක් කියන්නම් කියලා කිව්වත් අපේ මෙතන අනුන්ගේ සින්දු කියන්න බැහැ. මේ වැඩසටහනේ තමන්ගේම සින්දුවක් කියන්න ඕනේ. අන්න අර මහත්තයට කියලා සින්දුවක් ලියාගෙන එන්න කියලා මට කිව්වා.

තමන්ගේම ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණම වර්නන්ට මොකද හිතුණේ?
ඇත්තටම මුලදී හිතුණේ බයක්. අනුන්ගේ සින්දුවක් අපිට හරියට කියන්න බැරි වෙද්දී තමන්ගේම ගීතයක් එකවරම ගායනා කරන්න ලැබීමම චකිතයක්නේ. ඒත් මම ඒ අභියෝගයත් බාරගත්තා. ඒ නවක මඬල වැඩසටහනයි.
ඒ කාලේ හින්දි ගීත තනුවලට තමයි වැඩිපුරම ගීත නිර්මාණය වුණේ. මමත් හෙමීට අර මට පෙන්නපු මනුස්සයා ළඟට ගිහින් මගේ අවශ්‍යතාවය කිව්වා. එකපාරටම එක්සයිස් පොතක් දෙකට නවලා මම කැමති හින්දි තනුවක් අහලා ලියාගෙන ලියාගෙන ගියා. ටික වෙලාවකින් අර එක්සයිස් පොතෙන් ලියපු කොලේ ඉරලා මට දීලා මේක කියන්න කියලා කිව්වා. මේක ලිව්වේ කවුද කියලා අහද්දි ලියාගන්න. ප්‍රේමකීර්ති ද අල්විස් කියලා කිව්වා. මට හිතාගන්න බැරි වුණා. මගේ ජීවිතේ මුල්ම ගීතය මට ලියලා දුන්නේ ඔහුයි. ඒ ගීතය ඔහුට ලියන්න විනාඩි පහක්වත් ගියේ නෑ.

ඔබ වෘත්තීය ගායකයෙක් වුණේ නැහැ?
ඔව්. මම කාලයක් ගෘහ නිර්මාණ ශිල්පි‍ෙයකු විදිහට පෞද්ගලික ආයතනයක සේවය කළා. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. මගේ කාර්යාලය තිබුණේ පස්වෙනි තට්ටුවෙයි. එතන ඉඳන් මම සූර්ය ලේබලයෙන් තැටි ගහන ආයතනය පෙනුණා. අපි කෑම කාලා එතනට නිතරම ගියා. ඒ ගමනින් මට ක්ලැරන්ස් විජේවර්ධන නිතර මුණගැසුණා. ඔහු එක්ක මම හිතවත් වුණා. මටත් ගීත ලිවීමේ පොඩි හැකියාවක් තිබුණා. ඔය කාලෙදී මගේ සරත් කියන යාළුවගේ අක්කගේ දුවට ගීත කිහිපයක් ලියා දෙන්න කියලා ආරාධනාවක් ලැබිලා මම ඒ කරලා දුන්නා. අපි ඒක පොඩි ටේප් රෙකෝඩරයක තැටිගත කරලා ආයතන කිහිපයකට තැටියක් නිකුත් කරන්නට ඉදිරිපත් කළා. ඒක Jem Tone ආයතනය බාරගත්තා. හැබැයි ඒකට ගෙවීමක් කළේ නැහැ. තැටිය කරලා ඒක විකුණුනොත් යම් මුදලක් ගෙවන්නම් කිව්වා. ඒ ඔස්සේ මටත් ගීත ලිවීමේ හැකියාව ටිකින් ටික ලැබුණා. ඒ හැකියාවත් එක්ක මට තව කිහිපදෙනකුට ගීත ලියන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලේ එක තැටියක් රැපියල් අටයි. හැබැයි අපිට සල්ලිවලට වඩා අවස්ථාව වැදගත් වුණා.

වර්නන් විසින් ජනප්‍රිය කලාකරැවන් කිහිපදෙනකුටත් ගීත නිර්මාණය කරලා දුන්නානේ. ඒ ගැනත් කතා කළොත්?
ඔව්. ඔය කාලෙදි අනිල් භාරතීත් ජනප්‍රියයි. රස්සාව කරන අතුරතුරේදී කෑම පැයේදී මම වැඩිපුරම කාලය ගතකළේ අර තැටි ආයතනවලයි. අනිල් භාරතීට ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ ගීතය නිර්මාණය කළා. ඊට අමතරව කිරිල්ලී රන් කිරිල්ලී, බඹරා වගේ (ඩෙස්මන්) තිළිණේ ලෙසින් (ඉන්ද්‍රානි පෙරේරා), ඔබ එව් ඇරයුම් පත (මිල්ටන් මල්ලවආරච්චි) ළඳේ මුලා වී ගියානම් (රූකාන්ත), මාල ගිරවුනේ (චාන්දනී හෙට්ටිආරච්චි) ඒ ගීතවලින් කිහිපයක් වෙනවා. ඔය අතරේ මමත් ගීත කිහිපයක්ම ගායනා කළා. ඔයා මගේ සුරංගනා කතාවේ, රන්තැල්ලක් වගේ ගීත ක්ෂේත්‍රයට ආ අලුත නිර්මාණය කළ ගීතයි.

ගීත රචකයෙක් පමණක් නොවේ ඔබ පොත් පරිවර්තකයෙක් කියලත් ආරංචියි?
ඔව්. මම හරි ආසයි James Hadley Chaseගේ පොත් කියවන්න. එහෙම කියවන පොතක් මම නිකමට සිංහලට පරිවර්තනය කළා. දවසක් මේ පොත දැකපු ප්‍රේම් දිසානායක මේක පොතක් කරමු කියලා යෝජනා කළා. James Hadley Chaseගේ Strictly for cash නම් කෘතිය මම ක්ෂිතිජ ඉම නමින් පරිවර්තනය කළා. මේ වනවිට මම James Hadley Chaseගේ පොත් දහඅටක් සිංහලයට පරිවර්තනය කරලා සරසවි මුද්‍රණාලයෙන් නිකුත් කරලා තියෙනවා.

අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කළොත්?
මම 1982දී විවාහ වුණා. ඇගේ නම මල්කාන්ති පෙරේරා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා දිල්හාන් පෙරේරා. දෙවැනි පුතා පේෂල පෙරේරා. දෙන්නම විවාහකයි. ලැබෙන ප්‍රසංගවලට සහභාගී වෙමින් මම බොහෝම නිදහසේ දැන් ඉන්නවා.

 

► Text - Dishani   /  Pic –  Sumudu