2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

උන් උන්ගේ පාටින් ලෝකයම පාට කළා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 365

ඔන්න මචෝ අද Y Trend එක ටිකක් පරණ එකක්. ඒත් මේක ලෝකේ තාරුණ්‍යය අතර තියෙන Culture එකක්. සුදාලට මතකද? පොඩි කාලේ අපි අපිළිවෙළට ඉන්නකොට ලොකු අය මෙහෙම කිව්වා. හිපියෙක් වගේ ඉන්න එපා ළමයෝ. පිළිවෙළට ඉන්න පුරැදු වෙනවා කියලා ඒ කාලේ මේ හිපි සීන්කෝන් එක අපට එච්චර තේරුණේ නෑ. ඕං ඒ වුණාට හිපි කියන්න ලෝකේ තියන වෙනම Culture එකක් කියලා සුදාල ලොකු වෙනකොට දැනගන්න ඇති. හැබැයි හිපි සීන් එක ගැන එච්චර හොයන්න නම් මයි පැංචොන්ට පස්සේ ලොකු වුවමනාවක් තිබ්බේ නෑ. හරි ඒවයින් කමක් නෑ... අද කතාව හිපි සංස්කෘතිය ගැන. මේක ලෝකේ කාලයක් පට්ටෙට නැගලා ගිය Y Trend එකක් මචෝ.

සීන්කෝන් එක නැගලා ගියේ 80 දශකෙට ඉස්සෙල්ලා. පස්සේ හිපි සංස්කෘතිය ක්‍රමයෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා. හැබැයි සුදෝ හිපි සංස්කෘතියේ බලපෑම පසුකාලීන අපේ Young Generation එකට බලපාලා තියෙනවා. ගොඩක්ම Fashion Design වගේ ක්ෂේත්‍රවලට. කොණ්ඩ රුවුල් වවන සීන් එක, වෛවාරණ හා සැහැල්ලු ඇඳුම් අඳින සීන් එක වගේම අමුතු විදිහට ආධ්‍යාත්මික වටිනාකම් හොයන්න සීන් එක, නිර්මාංශ කෑම බීම සීන් එක අද ලෝකයේ Y Trend බවට පත්වෙන්න හිපි සංස්කෘතියේ ආභාෂය ලැබුණා මචෝ.

වර්තමාන කතාව පොඩ්ඩක් පැත්තකට තියලා අපි අතීතයට යමු සුන්දරා. හිපි කියන සීන් එක හරියට එළියට එන්නේ 1960, 1970 දශකවල. මේ පැංචෝ ඒ කාලේ ඇමෙරිකන් ප්‍රධාන සංස්කෘතියට එරෙහිව ඇතිවුණ තරුණ ව්‍යාපාරයක් විදිහටයි මේක හැඳින්වෙන්නේ.

මුලින්ම මේ සීන් එක එක්සත් ජනපදයේ පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වුණා. පස්සේ ඒක කැනඩාව, බ්‍රිතාන්‍යය වැනි අනෙක් රටවලත් වසංගතයක් වගේ පැතිරුණා. පස්සේ මුළු යුරෝපයේ වගේම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙක්සිකෝව, බ්‍රසීලය වැනි, ජපානය වගේ රටවල් මේ සීන් එක පැතිරුණා. කොල්ලෝ කෙල්ලෝ සීන් එකට ආකර්ෂණය වෙනකොට මේක වෙනම උපසංස්කෘතියක් වෙලා ඒ වටා සංගීතය, සාහිත්‍යය, ඇඳුම් විලාසිතා, වගේ අනන්‍ය දේවල් ඇති වුණා. රොක් සංගීත සංදර්ශනත් මේ ව්‍යාපෘතියට බලපෑව. කොහොම හරි 1967 වෙනකොට එක්සත් ජනපද ජනගහණයෙන් 0.2ක් හිපි වෙලා හිටියේ.

ඇමෙරිකාවේදී සීන් එක නැගලා ගියාට මේකේ අක්මුල් තියෙන්නේ බටහිර යුරෝපයේ කියලයි කියන්නේ. විශේෂයෙන්ම ජර්මනියේ මචෝ. 1896 සහ 1908 අතර කාලයේ ජර්මනියේ තරුණ කල්ලි ප්‍රධාන සංස්කෘතියට විරුද්ධව සංවිධාන වෙලා සංගීතය කේන්ද්‍ර කරගෙන විවිධ සමාජ හා සංස්කෘතික සංගම් බිහි කරගෙන තියෙනවා. මේ ජර්මන් තරුණයෝ සෙවූයේ ආධ්‍යාත්මික සාමයක්. කඳවුරු තියලා සංගීතය එක්ක මෙයාල අමුතු හැඩයක් නිර්මාණය කරගෙන ගියා. ඒක අමුතුම සීන් එකක් සුන්දරා. පස්සේ විසිවන සියවසේ මුල මේ අය ඇමෙරිකාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඔන්න ඔතැනදී තමා ඇමෙරිකන් තරැණයෝ මේ සීන්කෝන් එකට ආකර්ෂණය වෙලා තියෙන්නේ.

හිපි සංස්කෘතිය කියන්නේ පට්ට විශාල කතාවක් සහෝ. ඒකේ විශේෂතා ගැන මෙහෙම කතාකරන්න බෑ. හිපියෝ නිදහස් ලිංගික ජීවිතය ප්‍රිය කළා. ඔවුන් මස් මාංශයෙන් තොරව හිටියා, ස්වභාවධර්මයට සමීපව ජීවත්වෙන්න උත්සාහ කළා. ඒ වගේම මචෝ විකල්ප කලාවන්ට   ඔවුන් මුල්තැන දුන්නා. වීදි නාට්‍ය, ජන සංගීතය ඒ අතරින් ප්‍රධානයි. සාමය, ආදරය සහ පෞද්ගලික නිදහස තමා එයාලා වැඩිපුර අගය කළේ. අපේ ලොකු අය ඉස්සර කියනවානේ හිපියෝ ලංකාවටත් ආවා කියලා.
ඒකට හේතුව සහෝ දේශීය හා විදේශීය සංචාර හිපි සංස්කෘතිය ප්‍රබල අංගයක් වීම. මිත්‍රත්වය වැඩි කරගන්න මෙයාලා මාර කැමත්තක් තිබ්බේ. සැහැල්ලු ගමන් මලු අරගෙන ඔහේ ඇවිදපු මේ සීන් එක එඬේර ජීවිතය වගේ කියලත් කියනවා. ඒත් මත්ද්‍රව්‍ය තමා මේ සංස්කෘතිකයට කෙළවෙන්න හේතුව වුණේ ෆ්‍රොන්තෝ.

කොහොම වුණත් හිපි සංස්කෘතිය ලෝකය ගොඩක් දේවල් එකතු කළා. අදත් මීට සමාන සංස්කෘතින් ලෝකය පුරා තියෙනවා. ඒත් අද ඔවුන් තමන්ව හිපියන් විදිහට හඳුන්වනවාට ඔවුන් කැමති නෑ. ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ සාමය රැගෙන යන්නන් කියලා. Y Trend විදිහට අද අපි කතාකරන සීන්කෝන් ගොඩක් පිටිපස්සේ ඇත්තටම හිපි සංස්කෘතිය තියෙනවා මචෝ. ආන්න එකයි අපි අද මේ සීන්කෝන් එක කතාකළේ.

 

► Text - Nisal   /  Pic – Internet