2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ජයලත් මනෝරත්න මඟහැරුණත් පාල මාමා මට හමුවුණා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ලේඛකයෙක්, ටෙලිනාට්‍ය රචකයෙක් වුණ ලලිත් තට්ටු දෙකේ ඉස්කෝලේ හරහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වුණා. මේ තට්ටු දෙකේ ඉස්කෝලේ ගොඩ නැගෙන්නේ කොහොමද?
අපි නිර්මාණ වශයෙන් මේ එළිදක්වන්නේ කෙනකුගේ හිතයි. අපි හිතන පතන දේවල් සහ අපේ යටිහිතේ නිදන්ගතව තියෙන සුන්දර හෝ කටුක මතකයන් යම් කාලයකදී අවස්ථාවන් එක්ක ඒක එළිදකිනවා. මම ඉපදුණු ඒ අතිශය දුෂ්කර වටපිටාවේ නිහඬව රඳවා ගත්තු ඇගයීමකටලක් නොවුණ මනුස්සකම් ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. මම ඉපදුණේ නිකවැරටිය උණගොල්ල කියන අතිශය දුෂ්කර ඒත්... මට හරි සුන්දර වුණ ගම්මානයකයි. ඒක අතිශය දුෂ්කර ග්‍රාමීය පරිසරයක් තිබුණ දුප්පත් ගමක්. නමුත් අදටත් මගේ ජීවිතේ සියලු නිර්මාණ කාර්යයන්වලදී ඒ ගමෙන් ලැබුණ පන්නරය ඉවහල් වෙනවා.

තට්ටු දෙකේ ඉස්කෝලේ අධ්‍යක්ෂකවරයා වගේම එහි තිර රචකයා වන්නේත් ලලිත්. මේ පිටපත ලියන්න පටන්ගත්තේ කොයි කාලෙදිද?
මේක නවකතාවකට ලියන්න පටන්ගත්තු කතාවක්. මෙහෙම භාගයක් ලියාගෙන යද්දි කතාව කියවපු තාරක කාරියවසම් කියන මගේ යාළුවා මේක චිත්‍රපටයකට හොඳයිනේ කියලා මට යෝජනාවක් කළා. ඔහු නීතීඥවරයෙක්. ඔහුගේ මැදිහත්වීමෙන් මම මේ කතාව චිත්‍රපටයකට ගැලපෙන විදිහට පිටපත ලිව්වා. ඒ මීට අවුරුදු එකහමාරකට උඩදියි. එ වගේම බැංකු නිලධාරියෙක් වුණු මා මිත්‍ර නිලන්ත සේනාධීරත්  මට ලොකු හයියක් වුණා.

ලේඛකයෙක් විදිහට පිටපත් රචකයෙක් විදිහට හිටපු ලලිත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්නට හීන දැක්කද?
දෛවයේ මොකද්දෝ වාසනාවකට ද මන්දා මම යමක් හිතුවොත් ඒ දේ කොහොමහරි කරන කෙනෙක්. මම යොවුන් පත්තරයක් බලපු නැති කාලෙදි මට යොවුන් පත්තරයකට සම්බන්ධ වෙන්න ඕන කළා. මට තාම මතකනයි මම ගමෙන් කඳාන ඇවිත් එහේ බෝඩිං වෙලා ඉදිද්දී සඳරේණු කියලා පත්තරයක් මට කියවන්න ලැබුණා. ඒකෙදි මහේෂ් රත්සර මද්දුමආරච්චි, ගංගා ෂයිනි, මනෝරි සිලිකා වගේ අයගේ කතා කියවද්දි මටත් එහෙම කතා ලියන්න ආස හිතුණා. කොහොමෙන් කොහොමහරි මම අවුරුදු විසි එකේදි පාරමී නමින් යොවුන් පත්තරයක් කළා. ඒක ඒ කාලේ අතිශය ජනප්‍රිය වුණා. එතැනදී මට කිසිම දේකට තියෙන බය නැතිවුණා. අපිට යමක් කරන්න හිතේ විශ්වාසය තියෙනවනම් දෙයක් හැදෑරීමකින් තොරවම වුණක් කරන්න හිතේ විශ්වාසය තියෙනවනම් දෙයක් හැදෑරීමක් තොරවම වුණත් කරන්න පුළුවන් බව එයින් මම තේරැම්ගත්තා. මම මීට පෙර ටෙලිනාට්‍ය කිහිපයකම පිටපත් රචකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. නමුත් චිත්‍රපටයක් රූගත කරද්දි රූගත කරන තැනට පවා මුලින්ම ගියේ තට්ටු දෙකේ ඉස්කෝලෙ අධ්‍යක්ෂණය කරද්දිම තමයි.

තට්ටු දෙකේ ඉස්කෝලේ රූගත කරලා තියෙන්නේ අතිශය ග්‍රාමීය සුන්දර පරිසරයකයි.
ඔව්. ඒක හරි අපූරු ගැමි පරිසරයක් තියෙන ගමක්. මේ චිත්‍රපටය යාපහුව, කඳුරුවැව වැනි ප්‍රදේශවල රූගත කිරීම් කළා.

මෙය දරුවන් කිහිපදෙනෙක් වටා ගෙතුණු කතාවක්. මේ දරුවන් චිත්‍රපටයට එකතු කරගත්තේ කොහොමද?
අපි පුවත්පත්වල සහ සමාජ ජාලය හරහා චිත්‍රපටයට දරුවන් පිරිසක් අවශ්‍ය බවට කළ දැන්වීම්වලට අනුව දිවයින පුරා සිටින දරුවන් දෙදහක් පමණ පිරිසක් මේ සඳහා එකතු වුණා. ඒ අය අතරින් අපි කාණ්ඩ වශයෙන් තෝරලා අවසානයේදී එයිනුත් හොඳම දරුවන් පිරිස අපි මේ සඳහා එකතු කරගත්තා. ඇත්තටම මේ දරුවන් ඉතා දක්ෂ දරුවන් පිරිසක්. මුළු චිත්‍රපටයම විකාශනය වෙන්නේ ඒ දරුවන් වටායි. ඔවුන් ඒ කටයුත්ත අපූරුවටම ඉටුකළ බව මම විශ්වාස කරනවා.

මේ ඔබේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මේ සඳහා ලලිත් ප්‍රධාන චරිතය සඳහා තෝරාගත්තේ ජාත්‍යන්තර සම්මාන ලැබූ ජගත් චමිලයි. ජගත්ගෙන් ලැබුණු සහයෝගය ගැන යමක් කිව්වොත්?
ඔහුගෙන් ලැබුණ සහයෝගය ගැන වචනයේ විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ. ඒ තරමටම විශාලයි. මේ පිටපත ලියද්දි මේ චරිතය වෙනුවෙන් මගේ ඔළුවේ මැවුණේ ජයලත් මනෝරත්න මහතායි. එතුමාත් එක්ක මේ ගැන කතා කරද්දී එතුමා බොහෝම අසාවෙන් මේකට සම්බන්ධ වෙන්න කැමැත්ත පල කළා. අද මගේ පිටපතේ යම් සාර්ථකත්වයක් තියෙනවනම් ඒ ගෞරවය මනෝ අයියට දිය යුතුමයි. මේ චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ තමයි ඔහුගේ පළමු සැත්කම සිදුකළේ. හොඳ වෙලා මාස තුනක් ගෙවෙනතුරැ මම ඔහු වෙනුවෙන් බලාගෙන හිටියා. නමුත් ඔහගේ හිතේ හයිය තිබුණත් ගතේ හයියක් නැති බව ඔහුට තේරෙන්න ඇති. ඒ නිසා මට ඒ වෙනුවට වෙනත් කෙනෙක් තෝරගන්න සිදුවුණා. මගේ හිතේ මැවුණු ඊළඟ චරිතය වුණේ ජගත් චමිලයි. ජගත් ඉතා අතිදක්ෂ නළුවෙක්. ඔහුගේ රංගනය පිළිබඳව මට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් මට ඔහුට වඩා මුහුකුරා ගිය ටිකක් වයසක පෙනුමක් තියෙන කෙනෙක් ඕන වුණා. නමුත් ජගත් එක්ක කතා කරද්දි ඔහු හරි අපූරුවට මගේ හිතේ හිටපු පාල මාමාගේ චරිතය බවට පත්වුණා. ජගත් අයියගෙන් මට ලැබුණු සහයෝගය අතිමහත්. මම වගේ ආධුනික අධ්‍යක්ෂකවරයෙක්ට ඔහු වැනි ප්‍රවීණ නළුවෙක් ඉතා කැපවීමෙන් සහයෝගය ලබාදුන්නා. නොදන්නා බොහෝ දේවල් මම ඔහුගෙන් ඉගෙනගත්තා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ වෛද්‍ය ප්‍රගීත් නිශාන්ත රොද්‍රිගූ. ඔහු ගැනත් යමක් කිව්වොත්?
ප්‍රගීත් මම කාලයක සිට දන්න මගේ හොඳ යාළුවෙක්. ඔහු මම වගේම ඉතා දුෂ්කර ගමනක් ආපු කෙනෙක්. අවසානයේදී ඔහු වෛද්‍යවරයෙක් වුණා. ඔහු මම වෙනුවෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමති වුණා. ඔහු හරි අපූරු කලා හදවතක් තියෙන වෛද්‍යවරයෙක්. මම මීට පෙර මේ චිත්‍රපටය වෙනුවෙන් ආයතන කිහිපයකට කතා කළා. ඔවුන් හැමෝම දුවන අශ්වයින්ට පමණයි ලංසු දාන්න කැමති වුණේ. ඔවුන් මගේ තිරපිටපත වෙනත් අධ්‍යක්ෂකවරු එක්ක කරන්නට කැමති වුණා. නමුත් ප්‍රගීත් මාව විශ්වාස කරලා මේ වෙනුවෙන් මුදල් යෙදෙව්වා. චිත්‍රපටය තිරගත වෙන්නට තවම දිනයක් නැහැ. මේ රටේ දරුවන් වෙනුවෙන් ඉතා ඉක්මනින් මෙය ප්‍රදර්ශනය කරන්නට ලැබේවියැයි අපි විශ්වාස කරනවා.

 

► Text - Dishani  /    Pic – Internet