2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

දරු පැටියා වෙනුවෙන් අපේ ආශාවන් කැප කරනවා

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 382

රොෂාන්... මේ අදර කතාව පටන් අරගෙන දැන් කොච්චර කාලයක් වෙනවද..?
මේ අවුුරුද්දට අපේ ආදර කතාව පටන් අරගෙන අවුරුදු දහයක් විතර වෙනවා.

ඔයා කුෂ්ලානි පොඩි කාලේ ඉඳන්ම දැකලා තියෙනවනේ... ඒ අතීතය ආයෙත් මතක් කළොත්?
කුෂ්ලානිගේ ගෙවල් තිබුණේ අපේ සීයාගේ ගෙවල් ළඟමයි. ඉතින් පොඩි කාලේ මම නිතරම මගේ සීයාගේ ගෙදර ආවා. මට ඒ කාලය තාම හොඳට මතකයි. කොටට කපපු බොකුටු කොණ්ඩයක් තමයි කුෂ්ලානිට තිබුණේ. එයා බොකුටු කොණ්ඩය තියෙන සුදු, කෙට්ටු චූටි ගෑනු ළමයෙක්. මට තාම මතකයි මම මුලින්ම කුෂ්ලානිව දැක්කේ කොළපාට හවායි ෂර්ට් එකකුයි, කොට කලිසමකුයි ඇඳගෙන ඉඳිද්දීයි. ඒ දැකපු දසුන තමයි මගේ හිතේ තාම තියෙනවා... මම මුලින්ම හිතුවේ කොල්ලෙක් කියලයි. එතකොට කුෂ්ලානි වයස අවුරුදු හතරක් විතර ඇත. එයාලගේ ගේ ඉස්සරහ ඉඳගෙන මාව දැකපු ගමන් කුෂ්ලානි ගෙට දිව්වා කියලත් මට හොඳට මතකයි.

එහෙම ගෙට දුවපු කුෂ්ලානි එක්ක රොෂාන් හිතවත් වුණේ කොහොමද?
කාලයක් ගියාට පස්සේ කුෂ්ලානි මගේ මල්ලි එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. එතකොටත් කුෂ්ලානි කොටට කොණ්ඩය කපපු හුරුබුහුටි, ස්වීට් ගෑනු ළමයෙක්. පොඩි ඇඳුම් ඇඳගත්තු හුරැබුහුටි ගෑනු ළමයෙක්. ඒ හුරුබුහුටිකම නිසාම හැමෝම කුෂ්ලානිට හරි ආදරෙයි. මගේ අම්මා වුණත් ඉස්සර කුෂ්ලානිව දකිද්දී කුෂ්ලානිගේ කොණ්ඩය අල්ලගෙන යන සිරිතක් තිබුණා. කුෂ්ලානි හිනාවෙන විදිහට කතා කරන විදිහට ආදරේ හිතෙනවා. හැබැයි කුෂ්ලානි වැඩිය ඒ කාලේ කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හරි බයයි. මාව මුල්කාලේදී දකිද්දීම ගේ ඇතුළට දුවනවා. හැබැයි කුෂ්ලානි අපේ මල්ලී එක්ක තව මේ පාරේ හිටපු එයාගේ වයසේ යාළුවෝ කිහිපදෙනෙක් එක්ක හොඳට යාළු වුණා.
මාව ඈතින් දකිද්දීත් ඒ කාලේ කුෂ්ලානි ගෙට දිව්වා. ඊට පස්සේ ටික ටික කතා කරලා හෙමීට කුෂ්ලානිව යාළු කරගත්තා. මම සහෝදරියන්ට ගොඩාක් කැමතියි. ඒ නිසා සහෝදරියක් නැති අඩුව මට තදින්ම දැනුණා. ඒ අඩුව කුෂ්ලානිගෙන් මැකුණා. මම මගේ නංගී කෙනෙක්ට වගේ කුෂ්ලානිට ආදරේ කරන්න පටන් ගත්තා. නංගී කෙනෙක්ගේ අඩුපාඩු වුණ ඒ හිස් තැන පුරෝවලා කාලයක් ගියාට පස්සේ තමයි කුෂ්ලානිට මම ආදරේ කරන්න පටන් ගත්තේ.

ඒ ආදරේ තදින්ම දැනුණ කාලයත් රොෂාන්ට අමතක නැතිව ඇති?
ඔව්... තාම මතකයි.. කාලයක් කුෂ්ලානි මට දකින්න ලැබුණු නැති කාලයක් තිබුණා. ඒ කාලය තුළදී තමයි සහෝදරියකටත් වඩා විශේෂිත වුණු මොකක්දෝ බැඳීමක් අපි අතරේ තියෙනවා කියලා මට දැනුණේ.

කුෂ්ලානී... ඒ කාලයක් තුළදී දෙන්නට දෙන්නා දැකගන්නට බැරි වුණේ ඇයි?
(ඔන්න ඒ කතාව අපි අහගත්තේ කුෂ්ලානිගෙන්... රොෂාන් වගේම කුෂ්ලානිටත් මේ ආදර කතාවේ අහුමුළුතැන් හොඳට මතකයි...)
ඉස්සර අපිට අද කාලේ වගේ මොබයිල් ෆෝන් තිබුණේ නැහැනේ... ඒ නිසා අපි දෙන්නා කතාබහ කරගත්තේ ඊමේල් වලිනුයි. කාලයක් ඔහොම ඊමේල් කර කර ඉන්න අතරේදී මගේ කම්පියුටරය කැඩිලා මට රොෂාන්ට ඊමේල් කරගන්න විදිහක් තිබුණේ නැහැ.. ඔය කාලේදී දවසක මම මගේ යාළුවෝ එක්ක ඉඳිද්දී රොෂාන් අපි ළඟින් යන්න එද්දී මගේ යාළුවෝ ටික “අපි එයා දිහා බලන්නේ නැතිව අහක බලාගෙන ඉමු.. කියලා කිව්වා... එතකොට එයා Mr. Sri Lanka තරගයට ඉදිරිපත් වෙලයි හිටියේ. ඒ නිසා රොෂානුත් කාර්යබහුල වෙලයි හිටියේ. රොෂාන් පාරෙන් යද්දී අපි එයාව ගණන් ගන්නේ නැතිව අහක බලාගෙන හිටියා. රොෂාන්ට ඒක ප්‍රශ්නයක්. ඊමේල් කළෙත් නැහැ. කතා කළෙත් නැහැ. ඒ නිසා රොෂාන් මාත් එක්ක තරහ වෙලා කියලයි හිතුණේ. ඔහොම කාලයක් ගියාට පස්සේ කොළඹ එක්තරා තැනකදී අපි දෙන්නා ආයෙත් මුණගැහුණා.

ඒ මුණගැහීමේදී රොෂාන් කතා කළාද?
ඔව්... රොෂාන් ළඟට ඇවිත්.. “ඔයා මාත් එක්ක තරහයි නේද? කියලා ඇහුවා... ඒ වෙලාවේ තමයි මම කම්පියුටරය ගැනයි.. යාළුවන්ගේ විහිළුව ගැනයි රොෂාන්ට කිව්වේ..

රොෂාන් ඔය දැකපු නැති කාලයේදී කුෂ්ලානි ගැන ආදරයක් ඇති වුණා... එහෙමද?
ඔව්... ඔය කාලයේ කුෂ්ලානිට දකින්න නොලැබීමත් එක්ක මොකද්දෝ පාළුවක්.. විශේෂත්වයකින් මට දැනුණා... එහෙම නොදැක ඉඳලා ආයෙමත් කුෂ්ලානිව මුණ ගැහෙද්දී මගේ හිතේ කුෂ්ලානි ගැන මොකද්දෝ හැඟීමක් ඇති වෙලා තිබුණා. ඒක ආදරයක් කියලා මට දැනුණා...

ඒ ආදරය කුෂ්ලානිට කියද්දී කුෂ්ලානි මොකද කිව්වේ...?
එහෙම මම කුෂ්ලානිට ඒක කිව්වම ඒක කුෂ්ලානිට මතක නැහැ... 

(ඔන්න ඔහොම රොෂාන් කියද්දී කුෂ්ලානි හයියෙන් හිනා වුණා... එයා එහෙම දෙයක් කිව්වේ නැහැ.. එහෙම තමයි කුෂ්ලානි කිව්වේ... හැබැයි රොෂාන් කිව්වේ කුෂ්ලානිට ඒ ගැන කිව්වා.. ඒක එයාට මතක නැහැ කියලයි.. බලමුද රොෂාන්ට මතක කුෂ්ලානිට අමතක ඒ ආදර කතාවේ ඇත්තම කතාව මොකක්ද කියලා..)
කුෂ්ලානිට ඒ ආදරේ ගැන කිව්වා... හැබැයි එයාට ඒක තේරිලා නැහැ. මම ඊමේල්වලින් වහෙන් ඔරෝ ඔය දේවල් කිව්වා. හැබැයි ඒකත් එයාට තේරුණේ නැහැ. දවසක් ශ්‍රී ලංකන් ක්‍රිකට් මැච් එකක් යන දවසක කුෂ්ලානි එයාලගේ ගේට්ටුව ඉස්සරහ ඉන්න වෙලාවක මම ළඟට ගිහින් එයාට කිව්වා. ඒ හැමදේම අහගෙන ඉඳලා කුෂ්ලානි ගෙට ගියා... හැබැයි එදා ඉඳන් මාස හයක් විතර යනතුරු මම හිතාගෙන හිටියේ කුෂ්ලානි මාත් එක්ක යාළුයි කියලයි. හැබැයි එයාට ඒක දැනිලා නැහැ...

(ඔන්න ඔහොම කියද්දී රොෂාන්ගේ කතාවට කුෂ්ලානිත් අඩුවැඩිය එකතු කළා)
දැන් කාලේ ආදර කතාවගේ නෙවෙයිනේ... මට ඒක එච්චර තේරුණේ නැහැ... අපි දෙන්නට දෙන්නාම දැනගත්තු දවස තමයි මාර්තු දොළහ කියන්නේ... හැබැයි ඊට මාස හයකට විතර කලින් රොෂාන් ඒක හිතාගෙන ඉඳලත් තියෙනවා..

රොෂාන් ඒ කාලේදීත් මතක් වෙන්න සිදුවීමක් තියෙනවා නේද?
ඔව්නේ... දැන් මම හිතන්නේ කුෂ්ලානි මගේ පෙම්වතිය කියලයි... හැබැයි කුෂ්ලානිට ඒක ගාණක්වත් නැහැ. දවසක් මම උදේ ව්‍යායාම් කරන්න, ඇවිදින්න ගියපු වෙලාවක කුෂ්ලානිත් ව්‍යායාම් කරන්න ඇවිත් හිටියා... එදා අහම්බෙන් එකම ග්‍රවුන්ඩ් එකක එකට මුණගැහුණා.. අපි දෙන්නා ඇවිදින ගමන් දවසක මම ඔයාව ප්‍රංශයට ගෙනියනවා කියලා කිව්වා.. කුෂ්ලානි “ආ... එහෙම නම් බෑග් එකේ හැංඟිලා තමයි යන්න වෙන්නේ.. කියලා කිව්වා.. ඒ කතාව අහපුගමන් “මම පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා.. “ඇයි දෙයියනේ හැංඟිලා යන්නේ. බැඳලා දෙන්නටම යන්න පුළුවන්නේ. කියලා මට හිතුණා. එතකොටත් කුෂ්ලානි මාත් එකක් යාළුවෙලා නැහැ. හැබැයි මම හිතාගෙන හිටියේ කුෂ්ලානි මගේ පෙම්වතී කියලයි.

කුෂ්ලානි ඇත්තටම මාර්තු 12 වැනිදා මොකද වුණේ?
එදා අපේ අම්මාගේ බර්ත් ඩේ එක. අම්මා එක්ක මෙයාගේ පවුලේ අය ඉස්සර ඉඳන්ම හරි හිතවත්. ඉතින් මෙයාලගේ ගෙදර අය එක්ක මෙයත් අපේ ගෙදර එදා ආවා. ටික වෙලාවකින් මෙයා මගේ ළඟට ඇවිත් ඔයාගේ කසින් (ඥාති සහෝදරිය) මේ ගැන දන්නවා ද කියලා ඇහුවා. ඒක අහපු ගමන් “මොකක් ගැනද කියලා මාත් රොෂාන්ගෙන් ඇහුවා. රොෂාන්ට එකපාරටම තරහ ගිහින් කේක් කපන්නේවත් නැතිව අපේ ගෙදරින් යන්න ගියා. මට හරි දුකයි. අපේ අම්මත් කේක් කෑල්ලක් අරගෙන “කෝ රොෂාන් කියලා මගෙන් ඇහුවා. එයා තරහා වෙලා ගියා කියලා මම අම්මට කිව්වා. ඔන්න ඉතින් අපේ අම්මටත් දුකයි. රොෂාන් ගෙදර ගිහින් මට පිටු තුන හතරක ඊමේල් එකක් එව්වා. “මම ඔයාට ආදරෙයි.. එහෙම ආදරේ කරන්නේ දවසක බඳින්නයි කියලා සවිස්තරාත්මකව ලියුමක් රොෂාන් මට ඊමේල් කළා.

ඒ ඊමේල් එක කුෂ්ලානිගේ යාළුවෙක්ට පෙන්නුවේ ඇයි?
ඒකත් මට ෂුවර් නැහැ.. “මේක විහිළුවක්ද දන්නේ නැහැ කියලයි මට හිතුණේ. ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මගේ ඉස්කෝලේ මගේ හොඳම යාළුවාට දීලා “ඔයාට මේකෙන් තේරෙන්ණේ මොනවාද? ඇහුවා. එයා රොෂාන් එවපු ඊමේල් ඔක්කොගේම ප්‍රින්ට් අවුට් අරගෙන ෆයිල් එකකට දාලා කියවලා “දෙයියනේ... මේ මනුස්සයා කවදාහරි දවසක ඔයාව බඳින්නයි මෙහෙම ආදරේ කරන්නේ... කියලා කිව්වා.. හැබැයි මටත් ඒක විහිළුවක් වුණේ නැහැ. ඒ වෙද්දී අපි දෙන්නාට දෙන්නා ඇති තරම් විහිළු කරගත්තු දෙන්නෙක්.

කුෂ්ලානි ඇත්තටම රොෂාන් ගැන ඒ වෙද්දී ආදරයක් ඔයාගේ හිතේ තිබුණේම නැත්ද?
ඇත්තටම තිබුණා... මම මිශ්‍ර පාසලකටයි ගියේ. මට පිරිමි යාළුවෝ මුණගැහිලා තියෙනවා. හැබැයි ඒ හැම කෙනාගෙන්ම රොෂාන් මට විශේෂිතකමක් දැනුණා. එදා ඉඳන්ම අපි දෙන්නාගේ අදහස් හරියට ගැලපුණා. අපි එකම දේවල්වලට කැමති වුණා. ඒ නිසා මෙයාව මට ඕන වුණා. අපි දෙන්නම ජීවිතය දකින්නේ එකම විදිහටයි. පුංචි කාලේ ඉඳන්ම අපිට හොඳ දැක්මක් තිබුණා. අපි දෙන්නාගේම මේ ප්‍රථම ආදරයයි. අපිට ඒක ශක්තිමත් කරගන්නයි ඕන වුණේ..

රොෂාන්.. එදා කිව්ව වගේම ප්‍රංශයට එක්කගෙන ගියාද?
ඔව්නේ.. ඒකත් වුණේ අහම්බෙන්. ඒක හරි ලස්සන කතාවක්. අපි දෙන්නම සංචාරයට හරි කැමතියි. දෙන්නටම “World Tour” එකක් යන්න ආස හිතුණා. විවාහ වුණාට පස්සේ මුලින්ම අපි වැඩිම රටවල්වලට සංචාරය කරන්න පුළුවන් ගමනක් ගැන හොයලා බැලුවා. එතනදී රටවල් අටක සංචාරයක් තිබුණා. ඒ ගමන අවසාන කළේ ප්‍රංශයෙන්. රොෂාන් මාව “කවදා හරි දවසක ප්‍රංශයට ගෙනියනවා කියලා.. අවුරුදු එකොළහකට පස්සේ රොෂාන් මාව ප්‍රංශයට එක්කගෙන ගියා. අපි දෙන්නා විවාහ වෙලා ගියපු පළමු ටුවර් එක ඉවර වුණේ ප්‍රංශයෙන්. අපි 2014 අගෝස්තු මාසේදී විවාහ වුණා.

විවාහ වෙලා අවුරුදු පහකට පසුව අද ආදරණීය පුතෙකුගේ මව්පියෝ... ජීවිතේ පිරිලා.. එහෙහම නේද?
ඔව්.. අපි දෙන්නා ජීවිතේ බොහෝ සැලසුම් කරලා තීරණ ගන්න දෙන්නෙක්. අපි දෙන්නා විවාහ වෙලා අපේ ජීවිතේ විඳලා, රටවල්වල ඇතිතරම් සංචාරය කළා. ගෙවුණු අවුරුදු එකොළහ අපි දෙන්නගේ ගෙවල්වල කට්ටිය අපි දෙන්නව කොහේවත් තනියම යවලා නැහැ. ඉතින් ඒ නිසා විවාහ වුණාට පස්සේ අපි දෙන්නා ඇති තරම් සංචාරය කළා. ඒ ජීවිතේ උපරිමයෙන්ම අපි දෙන්නා වින්දා. දරු පැටියා හම්බවුණාට පස්සේ අපි දෙන්නා මුල්තැන දෙන්නේ අපේ දරු පැටියාටයි. අපි දෙන්නාගේ ආශාවන් වෙනුවෙන් එයාගේ දෙවල් මඟඅරින්න අපි කැමති නැහැ. අපි දෙන්නාගේ ජීවිතේ හරිම කාලේ හරිම වෙලාවට අපිට එයත් ලැබුණා. දැන් ඉතින් අපේ ලෝකේ පිරිලා. 

 

► Text - Dishani / Pic – Sumudu