2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

වික්ටර්ගේ 78 උපන්දිනයට තිස්දෙවැනි වරටත් දානයක්

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 304

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑ අටවෙනි ඡන්ම දිනය යෙදී තිබුණේ පෙබරවාරි දහඅට වැනිදාටයි. තම උපන් දිනය වෙනුවෙන් රාජගිරිය වික්ටෝරියා නිවාසය වෙනුවෙන් මෙවරත් දහවල් දානමය පින්කමක් පැවැත් වූ අතර මේ සඳහා හදසර අපිටත් ආරාධනාවක් ලැබුණා.

වසර තිස්දෙකක් තිස්සේ අඛණ්ඩවම තම උපන් දිනයදා වික්ටෝරියා නිවාසයට දානමය දහවල් ආහාර වේලක් ලබා දුන් වික්ටර් රත්නායක මෙවරත් මේ පින්කමට එකතු වුණේ අපිරිමිත සතුටින්. වික්ටර් රත්නායක, හෂිනි රත්නායක මෙන්ම හෂිනිගේ මව්පියන් ද අතුළුව ඔවුන්ගේ ජීවිතවලට බොහෝම සමීප පිරිසක් මේ පින්කමට සහභාගී වුණා. සහභාගීත්වය ලැබුණා.

වික්ටර්, හෂිනි ඇතුළු පිරිස බුද්ධ පූජා පිළිගැන්වීමෙන් පසුව නිවාසයේ සෑම කෙනකුම වෙතට ගොස් ආහාරපාන පිළිගන්වා ඔවුන් හා කතාබහ කළා. ඒ සෑම මුහුණකම තිබුණේ තම ආදරණීය කලාකරුවා දැක ලබන සතුටක්.
දහවල් ආහාරපාන පිළිගැන්වීමෙන් පසුව නිවාසයට පැමිණි භික්ෂූන්වහන්සේ නමක් විසින් ධර්ම දේශනාවක් පවත්වා වික්ටර් රත්නායකයන්ට ආශිර්වාද පින්කමක්ද සිදු කළා. අවසානයේදී නිවාසයේ ජීවත් වන කිහිපදෙනකු පැමිණ වික්ටර් රත්නායකයන්ගේ ගීත කිහිපයක්ම ගායනා කොට මේ අපූරු දවස වර්ණවත් කළා. 

ඇත්තටම අපි මේ උපන්දින සැමරුම ගැන ලියා තියන්න විශේෂම හේතුව තවත් කෙනෙකුට මෙවැනි පුණ්‍ය චේතනා ඔස්සේ තම උපන් දිනය සමරන්න පින්සිත් පහළ වුණොත් එය අපිට විසල් සතුටක් නිසා.

 

► Text - Dishani   /  Pic –  Sumudu