2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

බොංගෝව ඉගෙන ගත්තේ සීනිබෝල බෝතලෙන්

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 222

ඔබේ ළමා කාලය හා ගම් පළාතත් එක්ක මේ ජීවිත කතාව පටන් ගමු?
ඔව්... මගේ ළමා කාලය හරිම සුන්දර ළමා කාලයක්. ඒ කාලේ අපි ජීවත් වුණ විදිහට නෙමෙයිනේ අපි දැන් ජීවත් වෙන්නේ. ඒ කාලේ ගෙවල්වල ටයිල් තිබුණේ නැහැ. අපේ ගෙදර බිමට ගොම මැටි ගාපු ගෙයක්. ඒක හරි සනීපයි. ලයිට් හැම ගේකම තිබුණේ නැහැ. කුප්පි ලාම්පුවෙන් අපි හිටියේ. අද කාලේ වගේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩාක් තියෙන පරිසරයක් එදා තිබුණේ නැහැ. ගස් කොළන් හොඳට තිබුණ සුන්දර වටපිටාවක අපි ඒ කාලේ ජීවත් වුණා. අද අපි සැපවත් ජීවිතයක් ගත කළාට ඒ සුන්දර ළමා කාලයට මම තාමත් අදට වඩා හරි ආදරෙයි.

ඔබේ උපන් ගමත් ගල්කිස්සේ...?
ඔව්.. ඉස්සර අපේ මේ ගෙදර තිබුණු තැන ලොකු වෙලක් තිබුණා. අපේ අම්මලා ඒ කාලේ ඒ වෙලට ගිහින් පලා කැඩුවා. අපේම නෑදෑයෝ තමයි මේ අවටත් හිටියේ. අපේ ගෙවල්වලින් බත් කනවාට වඩා අපි අල්ලපු ගෙවල්වලට ගිහින් බත් කෑවා. ඒ ළමයිත් අපේ ගෙදර ඇවිත් කෑවා. ඒ කාලේ අපේ කොලු වයසේදී දවල් අම්මා “බත් කන්න කියලා කියද්දීත් අපේ බඩ හොඳට පිරිලයි තිබුණේ. අපේ කුස පුරවන්න ඕනෑතරම් ගස්වල පළතුරු පිරිලා තිබුණා. අද ළමයින්ට ඒ ළමා කාලය නැහැ.

ඔබ පවුලේ බාලයා... එහෙම නේද?
ඔව්... මම බඩපිස්සා. අයියා තමයි වැඩිමලා (එම්.එස්. ප්‍රනාන්දු) ඊළඟට මට අක්කලා තුන්දෙනෙක් හිටියා. මට වඩා අයියා අවුරුදු පහළොවක් විතර වැඩිමල්. ඒ නිසා මම පුංචි කාලේදීත් මගේ අයියා ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායකයෙක්. මට තාම මතකයි මට අවුරුදු හතරේදී විතර මගේ අයියා පොඩි ලස්සන සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නා. වයින් කරලා බිමින් තිබ්බාම පොඩි සූට්කේස් එකක් ගත්තු ළමයෙක් ඇවිදගෙන යන. ඒ සෙල්ලම් බඩුවට මම පුදුම විදිහට ආසා කළා. ඉස්සර මාව නෑව්වේ මගේ අයියයි.

එම්.එස්. ප්‍රනාන්දුට වගේම පවුලේ අනිත් අයටත් සංගීත හැකියාව තිබුණද?
අම්මගේ එක කුස උපන් මල්ලිටත් හොඳට සංගීත හැකියාව තිබුණා. ඇඩ්මන් මාමාට වගේම අම්මගේ අක්කා කෙනෙකුගේ පුතෙක් වුණු ධර්මදාස අයියටත් සංගීත හැකියාව යම් තරමකට තිබුණා. ධර්මදාස අයියා ළඟ සර්පිනාවක් තිබුණා. ඒ කාලේ අපේ අයියා සංගීතයට නැඹුරු වුණේ මේ දෙන්නාගේ ආභාෂය නිසාමදෝ කියලත් පසු කාලයකදී මට හිතුණා. අයියා මුලින්ම මෙන්ඩලීන් එකක් තමයි වාදනය කරන්න පුරැදු වුණේ.

තරගවලින් එම්.එස්. ජයග්‍රහණය කරපු අවස්ථා ඕනෑතරම් තිබුණනේ. ඔබට ඒ ජයග්‍රහණයන් පිළිබඳවත් මතකද?
ඔව්.. මට තාම මතකයි ඉස්සර සිංහල අලුත් අවුරුදු කාලයට අපි හරිම ආසයි. අලුත් ඇඳුම් ඇදලා අම්මා එක්ක නැකතට ළිඳට වතුර ගේන්න යන්නේ මමයි. අම්මා වතුර පනිට්ටුවෙන් වතුර කළයක් පුරවාගත්තට පස්සේ අම්මා අතට දෙන සතයයි, අඟුරු කෑල්ලයි ළිඳට දාන්න මම හරි ආසයි. ඒ ළිඳ මෑතක් වනතුරැම තිබුණා. නමුත් ගෙවල් හැදෙද්දී ඒ ළිඳත් නැතිවෙලා ගියා. මට තාම මතකයි එක සිංහල අලුත් අවුරුද්දකදී ගෙදර ඉස්තෝප්පුවේ ටීපෝවට සුදු රෙද්දක් දාලා ඒක උඩ මොකක්දෝ නොදන්නා දෙයක් තිබුණා. “මේ මොකක්ද අම්මේ කියලා මම අම්මගෙන් අහද්දී “අයියා හුණු දාන්න මොකක්ද එකක් ගෙනල්ලා. කියලා අම්මා මට කිව්වා. ඒක තමයි මගේ අයියා (එම්.එස්.) වාද බයිලා තරගයකට ගිහින් මුලින්ම දිනපු කුසලානය. ඒක තමයි කුසලානයක් විදිහට මම මුලින්ම දැක්කේ. මට ඒ කප්එකට හරිම ආසා හිතුණා. එතැන් සිටම අයියා ගියපු හැම බයිලා තරගයකින්ම ජයග්‍රහණය කළා. ඒ ලැබෙන හැම කුසලානයක්ම අයියා ගෙනත් දුන්නේ මටයි. සුමානයකට සැරයක් ඒ හැම කුසලානයක්ම රෙදි කෑල්ලක් අරගෙන පිහිදාන එක ඒ කාලේ මගේ සිරිතක් වුණා. 

ඒ කාලේ වාද බයිලාවලට එම්.එස්. හරි ප්‍රසිද්ධයි නේද?
ඔව්නේ... ටික කාලයකට පස්සේ අයියා ගල්කිස්සේ මිල්ටන් සිල්වා සහ බම්බලපිටියේ උපාලි ලියනගේ කියන ගෝලයෝ දෙන්නෙක් හැදුවා. ඒ කාලේ වාදබයිලා හරිම ජනප්‍රියයි. රෑ අටට විතර පටන් ගත්තු ඒ තරග පසුවදා පාන්දර හය වගේ වනතුරු තිබුණා. ඒ වාදබයිලා තරගවලට අයියා එක්ක මමත් යනවා. ටික කාලයකට පස්සේ වාදබයිලා කලාවෙන් ටිකක් අයියා ඈත්වෙලා වේග රිද්ම ශෛලියට සම්බන්ධ වුණා.

වේග රිද්ම කලාවෙන්ද එම්.එස්. ඉතා ජනප්‍රිය වුණානේ?
ඔව්.. ඉතා කෙටි කාලයකින්ම අයියා ජනප්‍රිය වුණා. අයියා මට හරි ආදරෙයි. යන යන තැන මාව එක්කගෙනත් යනවා. දවසක් දෙහිවල තිබුණ “පුෂ්පා ෆිල්ම් හෝල් ළඟ තිබුණ පාරක හිටපු මාටීන් බදු මුදලාලිගේ දුවගේ වැඩිවියට පැමිණීමේ උත්සවයට අයියාට සංගීතය සපයන්න ආරාධනා කරලා තිබුණා. ඒ කාලේ අයියා එකෝඩීන් එකත්, ගිටාර් එකත්, බොංගෝ එකත් තමයි සංගීතය සපයන්න එකතු කරගත්තේ. කොහොම හරි එදා උත්සවයට ගියාට “බොංගෝ එක වාදනය කරන වාදකයා එන්න ප්‍රමාද වුණා. මුදලාලි සැරෙන් සැරේ ඇවිත් “එම්.එස්. පටන් ගනින්කෝ කියලත් කිව්වා.

ඉතින් එම්.එස්. බොංගෝ එක නැතිව සංගීත සාජ්ජේ පටන් ගත්තද?
නැහැනේ... අයියා ළඟ හිටපු මට කතා කරලා “මල්ලී, මේකට පොඩ්ඩක් තට්ටු කරන්න පුළුවන් ද කියලා මගෙන් ඇහුවා. මාත් හා හාපුරා කියලා “බොංගෝ එක කකුල් දෙක අස්සේ හිරකර ගත්තා. ඒ කාලේ අපේ ගෙවල් ළඟ “දම්සිරි කියලා හෝටලයක් තිබුණා. අයියා මට සිගරට් ගේන්න සල්ලි දුන්නාහම මුදලාලි සිගරට් ගේනකන් මම එතන තිබුණ සීනිබෝල බෝතල්වලට තට්ටු දැම්මා. ඒ ආභාෂයත් එක්ක මමත් අර බොංගෝ එකට හරියට තට්ටු කළා. සින්දු පහක් හයක් යද්දී අයියගේ බොංගෝ ගහන ගෝලයා උත්සවයට ආවා. අයියා “උඹ ගහන්න ඕනේ නැහැ... මෙයා දිගටම ගහාවි... කියලා ඒ අවස්ථාව මට ලබලා දුන්නා. එතැන් සිට අයියාගේ හැම සින්දුවකටම රෙකෝඩින් එකකටම බොංගෝ එක ගැහුවේ මමයි.

වෝල්ටර් ඉගෙන ගත්තේ මොන පාසලේද?
මුලින්ම ගල්කිස්ස ශ්‍රී පුන්‍යාරාම ඉස්කෝලයට ගියා. ඊට පස්සේ ජාඇල ශාන්ත ජෝසප් විදුහලටත්, දෙහිවල මෙතෝදිස්ත විද්‍යාලයෙනුත් ඉගෙන ගත්තා.

අහම්බෙන් වාදකයෙක් වුණු වෝල්ටර් ගායකයෙක් වුණේ කොහොමද?
ඒකත් වුණේ අහම්බෙන් තමයි. අයියා ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩකළේ. ඒ කාලේ කෑම පැයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලට ගිහින් සින්දු කියන්න අවස්ථාව හදලා දුන්නා. අපි ලංකාව වටේ හැම ඩිපෝවකටම ගියා. එක දවසක් අපිට බණ්ඩාරවෙල ඩිපෝවට යන්න අවස්ථාව ලබුණා. අපි ඩිපෝවේ සින්දු කියද්දී දියතලාව හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් අයියට මුණගැහිලා “එම්.එස්. අද රෑට අපේ කෑම්ප් එකට ඇවිත් සින්දු කියන්න පුළුවන්ද? කියලා ඇහුවා. අයියත් කැමති වුණා. එදා අයියා අපිව එක්කගෙන කෑම්ප් එකට ගිහින් සාජ්ජේ පටන් ගත්තා. අයියා සින්දු හයක් විතර කිව්වට පස්සේ “මල්ලී උඹ සින්දු දෙකක් කියහන් කියලා කිව්වා. මට පුදුමයි. මම මාව එදා හමුදා නිලධාරින්ට ගායකයෙක් විදිහට හඳුන්වලා දුන්නේ අයියයි. මම සින්දු කියද්දී මට බොංගෝ එක ගැහුවේ මගේ අයියයි. එදා අයියගේ “ආයම්මට අලුත් ෆැෂන් ඕන වුණාට... මේවා හොයලා පුරුදුත් නැති අප්පු අයියට කියන සින්දුව කිව්වා. එදා මගේ කටහඬට අයියා ගොඩාක් කැමති වුණා. එදා මම ඒ සාජ්ජෙත් ගීත හතරක් පහක් විතර ගායනා කළා. 

ඒ කියන්නේ වෝල්ටර්ගේ මුල්ම ගීතය වුණේ රික්ෂෝකාරයා?
ඔව්... ඒ කාලේ අයියා ගයපු “ටැක්සිකාරයා ගීතය හරිම ජනප්‍රිය වුණා. ඉස්සර දෙමළ මිනිස්සු වැඩිහරියක් රික්ෂෝ පැද්දා. මේ තැටියත් උණු කැවුම් වගේ විකිණුනා. හැබැයි ගුවන් විදුලියේ මගේ ගීතය වාදනය කරන එක නතර කළා. “ප්‍රචාරය කරන්න වචන උචිත නැහැ කියලයි ඒ අය කිව්වේ. ඒකේ එක තැනක “මගේ තැන නැති කරපු හාදයා කියලා තිබුණ නිසා ගුවන්විදුලියෙන් ඒක ප්‍රචාරය කරන එක නතර කළා. ඒ කාලේ ගුවන් විදුලියෙන් ගීත පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වුණා. අද ඒ තත්ත්වය නැහැනේ. කොහොම හරි අයියා මේකට ඇපිල් එකක් දාලා ඒකට අනුමැතිය ලබලා දුන්නා. එක සිංහල අලුත් අවුරුදු දවසක මම යාළුවෙක් එක්ක කැට ගගහා ඉඳිද්දී අයියාගේ නෝනා “මල්ලී... මෙන්න ඔයාගේ සින්දුව යනවා... කියලා හයියෙන් කෑ ගැහුවා. එදා තමයි මගේ ගීතය මුලින්ම ගුවන් විදුලියේ වාදනය වුණේ. 

පසුකාලයේදී වෝල්ටර් ගීත හතරක තැටි කිහිපයක්ම නිකුත් කළා නේද?
ඔව්... “රික්ෂෝකාරයා ජනප්‍රිය වීමත් සමඟ මගේ ගීත තැටි කිහිපයක්ම කළා. අයියාගේ තැටි ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා. ඒ නිසාම එම ආයතනයෙන් අවුරුදු දෙකක ගිවිසුමකට ආයතනයත් එක්ක අත්සන් කළා. ඒ ආයතනයට යාබද දෙමළ මනුස්සයෙක් රෙකෝඩ් බාර් එකක් අලුතින් ආරම්භ කළා. මුලින් අයියට ගීත හතරක තැටියකට ආරාධනා ලැබුණත් ගිවිසුම නිසා අයියා ඒ අවස්ථාව මට ලබලා දුන්නා. ඊට පස්සේ මම ගීත හතරක ගී තැටියක් කළා. “දිනක් නරියෙක් කැලෑවක, “ආච්චියේ බොලන්නේ ගීත දෙකත් ඒකට ඇතුළත් වුණා. අවසානයේදී ඒ රෙකෝඩ් බාර් ආයතනයේ අවුරුදු දෙකක ගිවිසුමකට මම අත්සන් කළා. ඒකෙන් හැම මාසේම ගීත හතරක තැටියක් මගෙන් නිකුත් වුණා.

“ඔබගේ හද මාගේමයි එම්.එස්. ගැයූ ගීතය ඔබත් හරි අපූරුවට ගායනා කරනවා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
“ඔබගේ හද මාගේමයි* ගීතය අයියා සහ රංජිනි පෙරේරා චිත්‍රපටයකට ගැයූ ගීතයක්. දවසක් මම ස්ටැන්ලි පීරිස් දුරකතනයෙන් කතා කරලා ගීතයක් පටිගත කරන්න එන්න කියලා කිව්වා. එතකොට අයියා මිය ගිහින් වසර කිහිපයක්ම ගතවෙලා. මුලින්ම මේ ගීතය මම ගායනා කරන්න අකමැති වුණා. නමුත් ස්ටැන්ලිගේ බලවත් ඉල්ලීම නිසාම මම ඒ ගීතය ගායනා කළා. ඒක ඉතා ජයප්‍රිය වුණා. ඉන්පසුව අයියගේ ගීත කිහිපයක්ම මම ලවා ටොරානා ආයතනය පටිගත කරගත්තා. ඒ හැම ගීතයක්ම ජනප්‍රිය වුණා.

අපි ඔබේ බිරිඳ සහ දරුවන් ගැන ටිකක් කතා කළොත්?
ප්‍රේම සම්බන්ධතාවයකින් මම අසෝකා ධර්මලතා එක්ක විවාහ වුණා. මම අද යම්කිසි විදිහකින් දියුණු වෙලා ඉන්නවා නම් ඒකේ ආඩම්බරය මුලින්ම මගේ අයියට යන්නම ඕනේ. ඊළඟ හරිය වුණේ මගේ බිරිඳ. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා කළණ, දෙවැනි පුතා සුපුන්, බාල දුව වාසනා. දරුවන් තුන්දෙනාම විවාහකයි. දැන් මම මුණුපුරු මිණිපිරියන් හතර දෙනෙක් ඉන්න සීයා කෙනෙක්. 
 

► Text - Dishani   /  Pic –  Sumudu