2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කූශි මාශිනි කිය කියා දුවව නලවනවා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 385

අලුත් අප්පච්චීට... මුලින්ම අපේ “හදසර සුභ පැතුම්...?
අනේ... ගොඩාක් ස්තූතියි...

චූටි දුවක්... ඉපදුණා... අද දැනෙන දේ වචනවලට පෙරළන්න අමාරැ බව දන්නවා... ඒත් ටිකක් කියමුකෝ?
මීට කලින් මම ඔය දේ රඟපාලා තියෙනවා. හැබැයි අද සැබෑ ජීවිතේදී මට ඒ දැනෙන දේ වචනවලට පෙරළන්න පුළුවන් වුණානම් මේ ජීවත් වෙන ජීවිතේ වැඩකුත් නැහැ. ඒ තරමටම ඒ දැනෙන දේ වචනවලට පෙරළන්නට බැහැ. හැබැයි “සන්තෝසය කියන දේ උපරිමයෙන්ම විඳින මට මේ නොදකින පැත්තකින් මට තවත් උපරිම සන්තෝසයක් අලුතින් ලැබෙනවා. ජීවිතය අලුතින් පටන් ගත්තා වගෙයි මට දැනෙන්නේ.

පිය පදවිය ලැබුවේ කවද්ද?
චූටි දුව අපිට ඉපදුණේ ජනවාරි මාසේ දහඅට වැනිදායි. ඒක අපේ සංවත්සරය දවසෙයි. ඒකත් හරි පුදුම ඉපදීමක්. ගිය අවුරුද්දේ වෙසක් මාසේ දහඅට වැනිදා තමයි අපි දරුවෙක් එමීට ලැබෙන්න ඉන්නවා කියලා මුලින්ම දැනගත්තේ. ඒ වගේම අපේ දුව ඉපදුණෙත් ජනවාරි මාසේ දහඅට වැනිදා. ඉතින් මේ දහඅට වැනිදා අපිට මොකක්දෝ හොඳක් තියෙනවා කියලා මට විශ්වාසයකුත් තියෙනවා.

චූටි දුව ඉපදෙද්දී අකිලත් ළඟ හිටියා නේද?
අනේ ඔව්... ඒ ලබපු අත්දැකීම මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මම වැඩියෙන්ම බය වුණු වගේම වැඩියෙන්ම සතුටු වුණු දිනයත් එදායි. මම ඕනෑම දෙයක් ගැන හොඳ විදිහට වගේම නරක විදිහටත් කල්පනා කරන කෙනෙක්. ඉතින් එහෙම හිතන මට ඔය වගේ සිදුවීමක් වෙන දවසේ මගේ බිරිඳ අපේ දරුවා බිහි කරන්න සූදානම් වෙන මොහොතේ ඒ වේදනාව මම දැක්කා. ඒ වේදනාව එමී වගේ විඳින්න මට බැරි වුණත් හිතේ තිබුණේ ලොකු අවදානමක්. ඒ නිසා ඒ හැම විනාඩියකදීම මට ළමයෙක් ලැබෙන්න යනවා කියලා සතුට වගේම අවදානමත් මට දැනුණා..

එක මැණික් කැටයක් වෙනුවට මට මැණික් කැට දෙකක් ලැබෙද්දී ඒකේ වටිනාකම මට හොඳටම දැනුණා. ඒ නිසා හිත කල්පනා කර කර ලොකු බයකින් තමයි ඒ වෙලාවේ මම හිටියේ. එමීගේ ඔළුව ළඟට වෙලා “නමෝ මරියනී කියමින් තමයි මම හිටියේ. මට එමී ගැන පුදුමාකාර ආදරයක් ඒ මොහොතේ ඇති වුණේ. එමී එක්ක මම ඒ වෙලාවේත් කතා කරමින් හිටියේ. එයාගේ හිත පුදුම විදිහට හැදුවා. ඔය අතරේ වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම අපේ දරුවා එළියට ගන්න පුදුම මහන්සියක් ගන්නා හැටි මම දැක්කා. එමී වගේම චූටි දුවත් මේ ලෝකෙට බිහිවෙන්න දඟලන දැගිලිල්ල මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. දුව එළියට එන හැටි මම දැක්කා. ඒ මොහොතේම මම මගේ එමීට පොරොන්දුවක් දුන්නා “කිසිම දවසක බනින්නේ නැතුව හරිම ආදරෙන් බලාගන්නවා කියලා. මගේ ලෙයින් බිහිවෙච්චි ඒ දරු පැටියාව මේ ලෝකෙට බිහි කරන්න මගේ එමී කොයිතරම් දුක් වින්දා ද කියලා මම එදා ඇස්වලින්ම දැක්කා. මේ හැඟීම හැම තාත්තා කෙනෙකුටම දැනෙනවාත් ඇති.

මේ ජැක්සන්ගේත්, කුමාරිගේත් මුල්ම මිණිපිරී... සීයා ආච්චි වුණු ඒ දෙන්නා අද ඉන්නේ ලොකු සතුටකින්..?
අනේ ඔව්... ඒ අය එදා පුදුම සතුටින් එළියට වෙලා හිටියා. එදා චූටි දූ ඉපදෙන වෙලාවේ ඒ පෞද්ගලික රෝහලේ අපේ නෑ පරපුර, යාළු පරපුර ඇතුළු බොහෝ පිරිසක් චූටි දූ දකින්න බලාගෙන හිටියා. ඒ තරම් සෙනඟක් ඊට කලින් රෝහලට ඇවිත් තියෙනවාද කියලත් මට හිතාගන්න බැහැ. ඒ තරමට සෙනඟක් එදා හිටියා. එදා එමීත් එක්ක ප්‍රසූතාගාරයට ඇතුළට ගියේ මම විතරයි. ඒ හැමෝම තම තමන්ගේ ආගම් සිහිකරමින් මගේ දරු පැටියා වෙනුවෙන් ආශිර්වාද කළා. එදා අප්පච්චිගේ පොතක් දොරට වැඩිය දවස. 

ඒක ඉවර වෙලා ආරංචිය ලබපු ගමන් අප්පච්චි කොච්චිකඩේ පල්ලියට ගිහින් සුරුවමත්, පහනත් අරගෙන තමයි රෝහලට ආවේ. අපේ අම්මයි, ආන්ටියි අංගුලිමාල පිරිත එළියේ ඇහෙන්න සැලැස්සුවා. චූටි දුව එළියට ගත්තට පස්සෙත් එමීගේ සැත්කම අවසන් කරලා නැහැනේ.. ඒ නිසා “දරුවව අප්පච්චිලාට පෙන්නන්න කියලා මම එමී ළඟටම වෙලා හිටියා. චූටි දුව දැකපු අප්පච්චි ඇතුළු කට්ටියටම හරි සතුටුයි. උඩ පැනලා කෑ ගහනවා. ඒක පුදුම සතුටක්. එදා රෑ අප්පච්චි ගෙදර යද්දී පාරේ වාහනය නතර කරලා. “අපි දැන් නටමු. කියලා කිව්වලු. ඒ විතරක් නොවේ එදා චූටි දුව ළඟට අරගෙන ඉස්පිරිතාලේදී අපේ අම්මට “ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ ගීතය ගායනා කරන්න කියනවලු... අම්මට හරි ලජ්ජයි. ඊට පස්සේ බුවිනිගේ තාත්තායි, අම්මයි ඒක යූ ටියුබ් එකෙන් ඒක හොයලා අප්පච්චිට ඇහෙන්න දාලා තිබුණා. එදා ඉස්පිරිතාලය එක සැණකෙළියයි. ඒ තරමටම අප්පච්චි එදා ගොඩාක් සතුටු වුණා.

තවම චූටි දූ ඉපදිලා දවස් කිහිපයයි... අකිල දැන් චූටි දුවගේ වැඩ ටික ටික හුරැයිද?
අනේ ඔව්.. දැන් හුරුයි.. මගේ අතට ගත්තට පස්සේ දැන් චූටි දූ අඬන එකත් නතර කරනවා. මට කිරි දෙන්න පුළුවන් නම් මම කිරිත් දෙනවා. ඒ තරමටම චූටි දූ නිසා මගේ ලෝකේ පිරිලා. මගේ රස්නයට චූටි දූ හුරුයි. හැබැයි ඉස්සර පොඩි ළමයි අතට ගන්න මට බයයි. අනේ ඉතින්.. මේ මගේ දරුවනේ.. දැන් එයාව මට හුරුයි...

දෝණිට නමක් දාලාද තියෙන්නේ?
තවම නැහැ... හැබැයි ඉස්සර අප්පච්චි පොඩි කාලේ අපි තුන් දෙනාට ආදරේට නම් දාලා තියෙනවා. හුරතලේට අක්කට “කූශි මාශිනි තමයි කිව්වේ. ඉතින් දැන් අක්කා ඒක කියනවා. හැබැයි තාම චූටි දුවට නමක් දාලා නැහැ. අප්පච්චිත් නම් හද හදා මට එවනවා. මේ වෙනකොටත් නම් කිහිපයක් තියෙනවා. හැබැයි අවසාන තීරණය ගන්නේ අප්පච්චියි. ළඟදීම චූටි දුවගේ නම කියන්නම්. 

 

► Text - Dishani  /    Pic – Internet