2017 මාර්තු 25 වන සෙනසුරාදා

අඬගහපු පලියට මම යන්නෙ නෑ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 356

NISHADI KARIYAWASAM

නිසදි මුලින්ම කියමුකෝ ඔයාගේ පවුලේ ඉන්නේ කවුද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි මල්ලියි මායි. මම පවුලේ එකම ගෑනු ළමයා. මගේ ගම කළුතර. මම ඉගෙන ගත්තේ ගාල්ලේ සංඝමිත්තා බාලිකාවේ.

ඉස්කෝලේදී ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද?

මගේ හීනය වෙලා තිබුණේ වෛද්‍යවරියක් වෙන්නයි. ඒ වෙනුවෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒත් නොසිතුව වෙලාවක හදිසිඅනතුරක්වෙලා මම අවුරුදු එකහමාරක් එක්තැන් වුණා. ඒ සිදුවීමත් එක්ක මම මානසිකව වැටුණා. ඉගෙනීම වුණත් අතරමඟ නතර වුණා.

වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු නිසදි නිරූපණ ශිල්පිණියක් වුණේ කොහොමද?

ඇත්තටම ඒක හරිම අහම්බෙන් වෙච්චි සිදුවීමක්. යොහාන් දසනායක කියන ඡායාරූප ශිල්පියා මාව දැකලා තමයි මගේ ෆොටෝ ටිකක් අරගෙන මේ ක්ෂේත්‍රයට මාව හඳුන්වලා දුන්නේ. ඊට පස්සෙ මට බොහෝ නිරූපණ කටයුතුවලට අවස්ථාව ලැබුණා.

මේ ක්ෂේත්‍රයට එනවට නිසදිට ගෙදරින් කොහොම ප්‍රතිචාරයක්ද ලැබුණේ?

මගේ අම්මයි තාත්තයි මම මේ ක්ෂේත්‍රයට එනවට ගොඩක් කැමති වුණා. ඇක්සිඩන්ට් එක නිසා මම ගොඩාක් මානසිකව වැටිලා හිටිෙය්. ඒ වගේ වෙලාවක මේ වගේ අවස්ථාවක් ලැබිච්චි එක ගැන අම්මලා ගොඩක් සතුටු වුණා. අදටත් මට මේ දේට ගෙදරින් ලැබෙන සහයෝගය උපරිමයි. 

මේ වෙනකොට ඔයා වෘත්තීය නිරූපණ ශිල්පිනියක්ද?

නෑ... වෘත්තීය නිරූපණ ශිල්පිනියක්නම් නෙවේ. මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ ආයතනයෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා මගේ නිරූපණ කටයුතු නිදහසේ කරගෙන යන්න.

නිරූපණ ශිල්පිනියක් විදිහට තමන්ට අඳින්න ලැබෙන ඇඳුම් ගැන නිසදි දෙපාරක් හිතන්නේ නැද්ද?

මගේ අම්මයි තාත්තයි එක්ක මට ඕනෑම දෙයක් කතාකරන්න පුළුවන්. එයාලා මට හරියට යාළුවෝ වගේ. අම්මටයි තාත්තටයි හංගන්න කිසිම රහසක් මගේ ළඟ නෑ. මම කොටට ඇන්දත් කොහොම ඇන්දත් අම්මටයි, තාත්තටයි මාව විශ්වාසයි. ඒ විශ්වාසය මම හැමදාටම තියාගන්නවා. මම ආස නෑ කෙනෙක්ගේ ඇඳුමෙන් ඒ කෙනා ගැන හිතනවට ඒ කෙනාව මනිනවට. මම ගැන මගේ අම්මයි, තාත්තයි දන්නවා. මාව ළඟින්ම ආශ්‍රය කරන අය දන්නවා. ඒ නිසා මට බය නෑ. මට හරි දේ මට ගැළපෙන දේ මම අඳිනවා.

බාහිර බලපෑම් අඳින පළඳින ඉන්න විදිහ නිසා ජීවිතයට ඇවිල්ලා නැද්ද?

මගේ සමහර යාළුවෝ මට මේ ෆීල්ඩ් එකට ආපු ගමන් මට බැන්නා “මොනවද ඔය කරන්නේ... ඔයාට ගැළපෙන්නේ නෑ” කියලා. අද සමාජයේ බොහෝ දෙනා ඇඳුමෙන් තමයි හැමෝම මනින්නේ. දිගට ඇන්දොත් එයා හොඳයි. කොටට ඇන්දොත් එයා නරකයි කියලා තමයි කියන්නේ. ඒත්... දැන් ඒ අයත් දන්නවා මගේ ගැන.

මේ වෙනකොට නිසදි පෙම්වතියක්ද?

නෑ... මේ වෙනකොටනම් මම පෙම්වතියක් නෙවේ. හැබැයි කාලයක් මාත් පෙම්වතියක්වෙලා හිටියා. ඒත් නොගැළපීම්, තේරුම් නොගැනීම්, විශ්වාසය නැතිකම නිසා අපි ඒ සම්බන්ධය නතර කළා. ආදරය කරද්දී මාව තේරුම් නොගැනීමත් මගේ මේ ෆීල්ඩ් එක ගැන තේරුම් නොගැනීමත් නිසා මාව සමහර තැන්වලදී හිරවුණා. ඒත් මම මේ තැනට ආවේ හරි අමාරුවෙන්. මගේ හිත කැඩිලා තියෙන වෙලාවක මේ අවස්ථාව ලැබිලා මම හිත හදාගෙන ඉද්දී ආයේ මගේ හිත කඩාගන්න මම කැමති නැතිවුණා. අම්මයි තාත්තයි මාව විශ්වාස කරද්දී ඇයි අනිත් අයට මාව විශ්වාස කරන්න බැරි. ඒ නිසා මම ඒ සම්බන්ධය නැවැත්වුවා.

රඟපෑමට අවස්ථාවක් තාම ලැබුණේ නැද්ද?

අවස්ථා කීපයක්ම මට ලැබුණා. ඒත් මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ නෑ. මට ඕන හොඳ දෙයක් කරන්නයි. මම වැඩක් බාරගනිද්දී හොඳටෝම හොයනවා මම ආස නෑ නම කැත කරගන්න. ඉතින් තාවකාලිකව ලැබෙන දේකින් ජීවිත කාලේම රැකගෙන ආපු නම කැත කරගන්න මම කැමැති නෑ. හොඳ නාට්‍යයක අවස්ථාවක් ලැබුණොත් මට ඒ චරිතය රඟපාන්න පුළුවන්නම් මම ඒක බාර ගන්නවා.

නිරූපණ ශිල්පිනියක් බොහෝ වෙලාවට ක්ලබ් යන, පාටිවලට යන ගෑනු ළමයි කියලනේ සමාජයේ බොහෝ දෙනා කියන්නේ. මොකද නිසදි ඒ ගැන කියන්නේ?

කෙනෙක්ගේ ඇඳුමෙන් එයා කතාකරන ආශ්‍රය කරන අයගෙන් කෙනෙක්ව මනින්න එපා. ක්ලබ් යන, පාටිවල යන බොහෝ ගෑනු ළමයි ගොඩක් හොඳයි. හැබැයි සමහර දෙන්නෙක් තුන්දෙනෙක් නිසා අනිත් අයවත් දකින්නේ ඒ මින්මෙන්මයි. එහෙම කරන්න එපා. මම ඇත්තටම එහෙම කොහේවත් යන්නේ නෑ. මම මේ ඔෆිස් එකට හැර එළියට යන්නේ ජිම් එකට යන එකට විතරයි. පාටිවලට ක්ලබ්වලට මම යන්නෙ නෑ. මම මගේ පාඩුවේ ඉන්න චරිතයක්. ්‍

Text – Dishani Jayamali Karunarathne / Pic - Malaka Waligodapola