2020 ජනවාරි 18 වන සෙනසුරාදා

රජ සැප හැර මහපාරට

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

එක් පැත්තකින් ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි. අනෙක් පැත්තෙන් අමෙරිකාවේත් ඉරානයේත් යුද උණුහුම. පසුගිය සති කිහිපය පුරාවට විදෙස් පුවත්වල මුල් පුවත වුණේ එවැනි තොරතුරුයි. ඒ සියල්ල අතරේ හැරී මේගන් දෙදෙනා බකිංහැම් මාලිගයෙන් පිටව යාම ද මේ වෙද්දී වැඩිම අවධානයක් දිනාගැනීම කැපීපෙනෙන සිද්ධියක්.

කතාවට කියන්නෙ කවදා හෝ ලෝකයේ ඉතුරු වන්නේ රජ පවුල් පහක් පමණක් බවයි. ඉන් එක් පවුලක් බ්‍රිතාන්‍ය රජ පවුලයි. අනෙක් රජ පවුල් හතර වන්නේ කාඩ් කුට්ටමේ රජවරුයි. එසේ තිබියදී රජ කිරුළේ හයවැනි උරුමකරුවා වන හැරී කුමරු තම බිරිය වන මේගන් කුමරිය සමඟ රජ පවුලේ වගකීම්වලින් නිදහස් වීමට ගත් තීරණය සුළුපටු නැහැ. 

තමන් මහජන මුදලින් නඩත්තු වීමට අකමැති බවත් රැකියාවක් සිදුකරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමැති බවත් සසෙක්ස්හි ආදිපාද යුවල හෙවත් හැරී මේගන් යුවල මහ රැජනට දැනුම් දුන්නේ සතියකට පෙරාතුවයි.

එම දැනුම්දීමට අනුව මහ රැජන හැරීගේ පියා වන චාල්ස් කුමාරයාත් වැඩිමහල් සහෝදරයා වන විලියම් කුමාරයා එක්කත් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබුණා. අන්තිමේදී මහ රුජන මේ අදහසට තමන්ගේ මූලික කැමැත්ත පළ කළා.
රාජකීය පවුල විදිහට අපි ඔවුන් දෙදෙනාගේ තීරණයට සහාය ලබා දෙනවා. නමුත් ඔවුන් පූර්ණකාලීන රාජකීයයන් විදිහට රජ පවුලේ කටයුතුවලට සම්බන්ධ වුණානම් මා වඩාත් කැමතියි, 93 හැවිරිදි මහ රුජන නිවේදනයක් හරහා ප්‍රකාශ කර තිබුණා.
රජ පවුලෙන් ඈත්වෙන හැරී මේගන් යුවල එංගලන්තය තුළ වගේම බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තියෙන කැනඩාවේ පදිංචි වීමට අදහස් කරගෙන ඉන්න බව ආරංචියි. 

කොහොම නමුත් හැරී කුමාරයා මෙවැනි තීරණයක් ගන්න වඩාත්ම බලපාලා තියෙන්නෙ මාධ්‍ය හරහා මේගන්ට සිදුවුණු බලපෑම් බවටත් ආරංචියි. තමන්ගේ මවට මාධ්‍ය හරහා සිදුවුණු අසාධාරණකම් තමන්ගේ බිරියට සිදුවීමට ඉඩ තැබිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළ බව දැනගන්න ලැබෙනවා. 

මේ සියල්ල අතරේ රජ පවුලෙන් වෙන්වන හැරී මේගන් යුවල ජීවත්වෙන්න සල්ලි හොයාගන්නෙ කොහොමද කියන එක ගැන තාම මුකුත් කියලා නැහැ. හැබැයි ඔවුන් දෙදෙනා තමන්ගෙ රාජකීය නිල නාමය වන සසෙක්ස් ආදිපාද නම යොදාගනිමින් පුණ්‍ය ආයතනයක් පටන්ගන්න යන බවනම් සැලයි. ඒත් ඒක ඔවුන් මුදල් ඉපැයීමේ මාර්ගයක් කරගනී කියලානම් සැක බව එංගලන්ත මාධ්‍ය පවසනවා. ගොඩක් දෙනෙක් හිතන්නෙ මේගන් පොත් ලියන්න පටන් ගනීවි කියලයි. ඇය මීට පෙරත් බ්ලොග් එකක් පවත්වාගෙන ගිහින් තියෙනවා. කොහොම නමුත් මිෂෙල් ඔබාමාගේ පොත වගේ මේගන් ලියන පොතකුත් ඩොලර් මිලියන ගාණක ආදායමක් උපයයි කියලයි ආරංචිය.

බීබීසී ඇසුරෙන්

► Text - Suranga   /   Pic -  Internet