2020 ජනවාරි 18 වන සෙනසුරාදා

බුද්ධිමත් පිරිමි කවදද බං කසාද බැන්දෙ?

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

එක්තරා සිනමාකරුවෙක් දක්ෂ රංගන ශිල්පියකු හමුවෙන්නට ආවේ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ චරිතයක් ගැන මේ රංගන ශිල්පියා එක්ක සාකච්ඡා කරන්න.
මේක බුද්ධිමත් මාධ්‍යවේදියකුගේ ප්‍රබල චරිතයක්. පිටපත කියවලා බලන්නකො ඔයා මේකට කැමති වෙයි. අධ්‍යක්ෂවරයා කිව්වලු. 

එතකොට මේකේ මගේ බිරිඳට රඟපාන්නේ කවුද? නළුවා අහිංසක විදිහට ඇහුවලු.
එහෙම කෙනෙක් නෑ
ඒ කිව්වේ
මේ මාධ්‍යවේදියා බැඳලා නැහැ
ඒ මොකෝ
මෙයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක්. බුද්ධිමත් පිරිමි කවදද බං කසාද බැන්දේ?

කට්ටිය ගොලු වෙලා

පසුගිය කාලයේ කලා ලොවේ පමණක් නොව මුලු රටේම මාතෘකාව වී තිබුණේ කතාබහට ලක්කවුණේ හඬපටවල අන්තර්ගතයන්ය. කලා ලෝකයේ බොහෝ ශිල්පීන් ශිල්පිනියන්ගේ නම් ඒවාට ඈඳා තිබීම කාගෙත් කැළඹිල්ලට හේතුවක් වුණා.
මේ දිනවල දර්ශන තලවලට පැමිණෙන නළු නිළියන් බොහෝ දෙනෙක් ගොලුවෙලා ඉන්නවා කියලා තමයි එක්තරා සහාය අධ්‍යක්ෂකවරයෙක් කිව්වේ.

අඩුම ගාණේ ගෙදරින් කෝල් කරලා වෙලාවට බෙහෙත් ගත්තද කියලවත් අහන්න දැන් පවුලේ කට්ටියට පුළුවන්කමක් නැහැ. බයටම කෝල් ගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ sms එකක් දානවලු කෝල් එක රෙකෝඩ් කරන්නෙ නෑ කෝල් කළාම උත්තර දෙන්න කියලා. ඔහු කියනවා

සමහරු දර්ශන තලවලට ඇවිත් බලාගත් අත බලන් ඉන්නවා. හේතුව දැනගත්තම හිනාත් යනවා. ඒ ගොල්ලො අර මනුස්සයා එක්ක කතා කරපු ඒවාවල හඬපට කවදා එළියට එයිද දන්නෙ නැති නිසාලු.

මම බැඳපු මිනිහෙක්

චිත්‍රපටයක් රූපගත කළ දර්ශන කලයකදී පසුගිය දවසක කට්ටියගෙම ප්‍රධාන මාතෘකාව වුණේ ස්වභාවික විපත් සහ ඒ නිසා මිනිස්සුන්ට අත්වන අනේක බාධක කරදර ගැනය.
තරුණ, මැදි වියේ හැම ශිල්පියෙක්ම තම තමන්ගේ අත්දැකීම් බෙදාගෙන, මින් ඉදිරියට එවැනි විපත් වළක්වාගන්නා ක්‍රම ගැනත් කතාබහ කළා.

ඔතන හිටියා තරමක මැදි වියේ කලා ශිල්පියෙක්. ඔහු මේ මාතෘකාව ගැන කිසිම සංවේදීකමක් දැක්වූයේ නැහැලු. කට්ටියට ඒ ගැන තිබුණේ කුකුසක්.
මේ තරම් බියජනක දේවල් ගැන කතා කළත් අයියා මොකද නිශ්ශබ්ද? අයියා ගාණක්වත් නැතුව ඉන්න හැටි අපිට පුදුමයි* තරුණ ශිල්පියෙක් කිව්වලු.

බය වෙන්න දෙයක් නෑ මල්ලි. මම ඔය වගේ දේවල්වලට බය වෙන කෙනෙක් නෙවෙයි. මොකද මම කසාද බැඳපු මිනිහෙක්. ඔහු ගත් කටටම කිව්වලු.

 

► Text - Mithra