2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අමුතු නැටිල්ලක් ආදර හැඟුමක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

ඉන්දියාවයි පාකිස්තානයයි කිව්වම මතක් වෙන්නේ ඒගොල්ලෝ ක‍්‍රිකට්වලදී මුහුණේ තමන්ගේ රටේ ජාතික ධජය වර්ණ ගන්වන ආකාරයයි. ඒත් ක‍්‍රිකට්වලදී විතරක් නෙවෙයි මේ දෙරටේ උදවිය නර්තන තරගවලදිත් තම තමන්ගේ රටේ ජාතික ධජය මුහුණේ වර්ණ ගන්ව ගන්නවා. අද මේ කියන්න හදන කතාව ක‍්‍රිකට් ගැන නෙවෙයි නර්තනය ගැනයි. සහේජ් කියන්නේ කඩවසම් තරුණයෙක් වගේම පාකිස්තානයේ නර්තන කණ්ඩායමක් නියෝජනය කරන්නෙක්. ඒ වගේම ඔහු නර්තන ශිල්පියෙක්. ඉනායත් කියන්නෙ ඉන්දියාව නියෝජනය කරන දක්ෂ හැඩකාර සුන්දර හින්දු නර්තන ශිල්පිනියක්. ඉන්දියන් සහ පකිස්තාන් නර්තන ශිල්පීන් ගැන මේ කතාවෙන් කියන්නේ. මේ දෙන්නම  නර්ථන තරගයක් සඳහා ඉදිරිපත්වෙන්නයි සූදානම. ඉනායත් තමන්ගේ කණ්ඩායමත් එක්ක නර්ථන පුහුණුවීම් කරද්දී සහේජ් තමන්ගේ කණ්ඩායමේ සගයන් එක්ක නර්තන පුහුණුවීම් කරනවා.

ඔන්න එක දවසක් ඉනායත් තමන්ගේ කණ්ඩායම් සගයන් එක්ක සහේජ්ගේ කණ්ඩායම් සගයන් ඉන්න තැනට ඇවිල්ලා ඔහුගේ මුහුණටම එබිලා..
ඉනායත් - ඊළඟ සැරේ අපේ ටීම් එකට චැලේන්ජ් කළොත් අලුත් ස්ටෙප් ටික කියලා දෙනවා අපි.
සහේජ් - ඒයි බලන්නකො මෙයාගේ සටයිල්. මෙයා මහ රණ්ඩු කෙක්කක්.
ඉනායත් - හේයී

ඉනායත් සහේජ්ගේ මුහුණට එතන තියෙන රස කැවිල්ලකින් දමලා ගහනවා. සහේජුත් ඉනායත්ගේ මුහුණට රසකැවිල්ලකින් දමලා ගහනවා. ඒ අතරේ එතනට පොලිස් නිලධාරියෙක් සහ තරගයේ සංවිධායකවරයෙක් එක්ක එනවා.
ඒක දකින මේ දෙන්නා එකිනෙකාව වැළඳගෙන හිනාවෙමින් කතාබහ කරනවා.
සංවිධායක - මේ වගේ මිත‍්‍රකමක් කවදාවත් දැකලා නැහැ.
සහේජ් - ඔව් සර් මමත් පිළිගන්නවා.

මෙයා වෙන රටක කෙනෙක්. ඒත් අපේ ආච්චී අම්මා මට කියලා තියෙන්නේ අසල්වැසියන්ට ‍ප්‍රේම කරන්න කියලයි.
සංවිධායක - ඔයා දන්නවා ඔයාගේ ඩාන්ස් අපේ ඒවට වඩා වෙනස් කියලා.
ඔයා තනියම ඩාන්ස් කරන්න.

සහේජ් - ඔයා බලන් ඉන්න. චැම්පියන් කෙනෙක් මම. අනෙත් අයට මම රජෙක්.
කොහොම වුණත් සහේජුත් ඉන්දියාවේ තමන්ගේ රට වෙනුවෙන් ඉනායත් එක්ක එකමුතුව නර්තනයේ යෙදෙනවා. කතාවේ ටිකක් ඉස්සරහට යද්දී මේ කඩවසම් තරැණ හාදයගෙත් ඒ හැඩකාරියටත් දෙන්නට දෙන්නා ගැන අමුතු හැඟීම් ඇතිවෙන්න පටන් ගන්නවා. කතාවේ ඉතුරු ටික දැනගන්නනම් 2020 ජනවාරි 24 වැනිදා වෙනකල් බලන් ඉන්න වෙනවා. මොකද එදාට තමයි ස්ට්‍රීට් ඩාන්සර් කියන හින්දි සිනමාපටය තිරගත වෙන්නේ.
රිමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කරලා තියෙන ස්ට්‍රීට් ඩාන්සර් කියන හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර්, ක‍්‍රිෂන් කුමාර් සහ ලිසෙල්ලා ඩී සූසා. මේ සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ ෆර්හාද් සාම්ජී සහ ජග්දීප් සිඳූ විසිනුයි. මේ සිනමාපටයේ තිර රචනය සිදු කරලා තියෙන්නේ තුෂාර් හීරානන්දනී සහ ජග්දීප් සිදු විසින් වන අතර කතාවට හිමි කම් කියන්නේ රිමෝ ඩී සූසා.

දැන් ඔබට කියන්න හදන්නෙ මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔබ අප ආදරය කරන තාරකා ගැනයි. මුලින්ම සහේජ් ගැන කියලා ඉන්නම්කෝ. ඔහු ගැන මෙන්න මේ සිනමාපට ගැන කිව්ව ගමන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
2012 Student of the Year,Main Tera Hero (2014 Humpty Sharma Ki Dulhania (2014), Dilwale (2015), Dishoom (2016),  Judwaa 2 (2017),  ABCD 2 (2015), Sui Dhaaga (2018),Badlapur (2015), Badrinath Ki Dulhania (2017, October (2018).

තාමත් මතක් වුණේ නැත්නම් අපිම ඔහු ගැන ඔබට කියන්නම්කෝ. 1987 අ‍ප්‍රේල් 24 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ටා ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේ ඉපදුණු මේ කියන තාරකාව 2012 වසරේ පටන් හින්දී සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. දේවිඩ් ධවාන් කියන අධ්‍යක්ෂවරයාගේ පුතා වන ඔහු නමින් වරුන් ධවාන්.

සහේජ් ගැන කිව්ව නිසා දැන් ඔබ ඉනායත් ගැන කියනකම් බලාගෙන ඇති නේද? මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඒ කියන හැඩකාරිය දැකලා තියෙනවා.
2010 Teen Patti, Luv Ka The End (2011), Aashiqui 2 (2013), Haider (2014), Ek Villain (2014), ABCD 2 (2015), Baaghi (2016),Stree (2018),Saaho (2019), Chhichhore (2019).
1987 මාර්තු 03 වeනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍ ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ ඉපදුණු ඇය 2010 වසරේ පටන් නිළියක් වගේම ගායිකාවක් විදිහටත් හින්දී සිනමාව නියෝජනය කරනවා. මන්ගේශ්කර් සහ බර්මන් පවුලේ එක් පුරුකක් වන ඇය ජනප‍්‍රිය විකට නළු ශක්ති කපූර්ගේ දියණියයි. ශ‍්‍රද්ධා කපූර් තමයි ඉනායත්ගේ චරිතයට පණ පොවන්නේ. රාම් ප‍්‍රසාද් කියන චරිතය මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයක්. මෙන්න මේ චරිතය හැඩ කරන්න එයට පණ පොවන්නේ දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම නළුවෙක්. ඔහු මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක තියෙන අතර ඔහු දමිළ සිනමාවෙන් සිනමා කර්මාන්තයට අත්පොත් තබා හින්දී සිනමාවෙත් තමන්ගේ ස්ථානය මේ වෙද්දී හිමිකරගෙන අවසන්. බලන්න මේ සිනමාපටවල නම් කිව්ව ගමන් ඔහුව ඔබගේ මතකයට නැගෙනවද කියලා.

Kadhalan (1994), Minsara Kanavu (1997) VIP (1997, Kaathala Kaathala (1998) Vanathai Pola (2000), Pokkiri (2007), Wanted (2009), Rowdy Rathore (2012) Singh is Bling (2015)

1988 වසරේ පටන් සිනමාව නියෝජනය කරන ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, කොරියෝග‍්‍රැෆර් කෙනෙක් වගේම නිෂ්පාදකයෙක්. දමිල, හින්දී, තෙලිගු සිනමාවේ ජනප‍්‍රිය ඔහු නැශනල් ෆිල්ම් අවෝර්ඩ් වගේම 2019 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙනුත් පිදුම් ලැබූ කෙනෙක්. 1973 අ‍ප්‍රේල් 03 වැනිදා ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ මයිසූර්වල ඉපදුණු ඔහු නමින් ප‍්‍රභූ දේවා. ඔහු තමයි මේ සිනමාපටයේ රාම් ප‍්‍රසාද්ගේ චරිතයට පණ පොවන්නේ.
මේ සිනමාපටයේ තියෙන මන බඳින ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සචින් - ජිගර්, තනිෂ්ක් බාග්චී සහ බාද්ශාහ. ඒ සිත් ගන්නා ගීතයන්හි ගේය පද රචනය කර තියෙන්නේ කුමාර්, ප‍්‍රියා සරයියා, ගුරු රන්ධාවා, බාද්ශාහ, මිලින්ද් ගාබා, සචින් - ජිගර්, තනිෂ්ක් බාග්චී, වායූ, අයි පී සිං, භාර්ගව් පුරෝහිත්, කුනාල් වර්මා, ගැරී සන්ධු, ශබ්බීර් අහ්මඩ්, රාජා ශ්‍රී සහ සමීර් අන්ජන්ව්. ඒ ගේයපදවලට පණ දෙන්න තමන්ගේ හඬින් ඒවා සුන්දර කර තියෙන්නේ යාශ් නවේකර්, පරම්පරා තාකූර්, බාද්ශාහ, නේහා කක්කර්, ජැස්මින් සැන්ඩල්ස්, ගැරී සන්ධු, අර්ජිත් සිං සහ සචින් - ජිගර්.

 

► Text — Chandana