2020 ජනවාරි 18 වන සෙනසුරාදා

වියදම් කරද්දී හරි විනයක් නැත්නම් හම්බකරන්න එපා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ඒ වගේම දැනට මම ඩ්‍රීම් රෝන් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා විදියට කටයුතු කරනවා. අනිත් එක කියන්න ඕන ප‍්‍රධානම දේ තමයි මම කොකා කෝලා සමාගමට සම්බන්ධ වුණේ කැපීපෙනෙන කෙනෙක් වෙන්න මට ඕන වුණු නිසා. අවුරුදු ගණන් සුදු ජාතිකයන් එක්ක වැඩ කරලා විදේශීය රටවල වැඩ කරන ආකාරයත් අපේ රටේ වැඩ කරන ආකාරයත් මට අවබෝධ කර ගන්න පුළුවන් වුණා.

ඔබ රැකියාවක් කරන්න පටන් ගන්නේ ඉතා අඩු වයසින් කියන කතාව ගැනත් ටිකක් කියමු නේද?
මම අවුරුදු දහඅට හමාරේදී තමයි විධායක ශ්‍රේණියේ රැකියාවක් මගේ ජීවිතයට බද්ධ කර ගත්තේ. මම අවුරුදු දහඅට හමාර වෙද්දී විධායක නිලධාරියෙක් වෙලා ඊටපස්සේ කළමනාකරණ අධ්‍යක්ෂ වුණාට පස්සේ තමයි අලෙවිකරණය පිළිබඳ උපාධියත්, පශ්චාත් උපාධියත් කරලා අවසන් කළේ.

මිනිස්සු තමන්ගේ අරමුණට යන්න බොහෝ දුක් මහන්සි වෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ ඉලක්ක පසුපස හඹා යද්දී බාධා එහෙම ඇතිවුණේ නැද්ද?
මගේ එකම ඉලක්කය වුණේ කැපීපෙනෙන චරිතයක් වෙන එක. මම මොරටුවේ රාවතාවත්තේදී දැක්ක අලෙවි අංශයේ ඒ නාඳුනන පුද්ගලයා නිසයි මම ඒ වගේ කැපීපෙනෙන කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවේ. මාර්ගය දැක්කට පස්සේ අපි ඒකේ යන්න ඕන. අනිත් එක තමයි අපි එදිනෙදා කරන දේ හරියට කරන්න ඕන. අවුරුදු ගාණකට පස්සේ සාර්ථක වෙනවා කියලා හිතාගෙන අද අසාර්ථක වෙලා වැඩක් නැහැ. දීර්ඝ කාලීනව හිතුවට සාර්ථකත්වය ළඟා කරගන්න බැහැ. අද ක‍්‍රියාකාරී නොවී අනාගතේ සාර්ථක කර ගන්නේ කොහොමද?

හෙට කරන දේ හෙට හිතන්න. අද කරන දේ උපරිමයෙන් සාර්ථක කර ගන්න වැඩ කළානම් අනාගතේ නිරායාසයෙන්ම සාර්ථක වෙනවා කියන එකයි මගේනම් අදහස.
ටිකක් වෙනස් ප‍්‍රශ්නයක් අපි ඔබගෙන් අහනවා. අපේ රටේ බොහෝ මිනිස්සු නෑ බෑ කියාගත්ත ගමන් ඉන්නේ. සහානාධාර ලබාගන්න බලාගෙනමයි ඉන්නේ. එය ඔබ කුමන ආකාරයකටද දකින්නේ?
ඔය දේ තුළ පැති දෙකක් තියෙනවා. එහෙම අපේ රටේ මිනිස්සු හිතන එකේ වැරැද්දක් නැහැ. මොකද එහෙම හිතන මිනිස්සු පිරිසක් බිහි කරන එකට‍ වග කියන්න ඕන අපේ රටේ දේශපාලකයන්. දුප්පත් අය බලාකියාගන්න එක අපේ වගේ රටක කරන්න අවශ්‍යයි. නමුත් සහනාධාර ලබාදීම නෙවෙයි එයට තියෙන විසඳුම. නැහැ බැහැ කියන ජනතාවට දුප්පත්කම තුරන් කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණුව නිසි අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඔවුන්ව නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක කර ගන්න පොළඹවලා ඔවුන්ව නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගන්න ඕන. නිකම් ඉඳලා සල්ලි අතට එනකම් බලා ඉන්න මිනිස්සු බිහි නොකර ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන පුහුණුව සහ වැඩමුළු පවත්වලා ඔවුන්ව අනිවාර්යෙන් නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක කර ගන්න අවශ්‍යයි.

ලස්සනට ඇඳුම් ඇඳලා ලස්සන බෑග් එකක් එහෙම අරගෙන රජයේ රැකියාවක් කරන අයටත් කුසට තුන්වේල ආහාර ගන්න පුළුවන්කමක් නැහැ මේ ආර්ථිකය ඇතුළේ. පහුගිය දවසක අපේ රටේ ජනප්‍රියම පාසලක උසස් පෙළින් පළවැනියා වුණු ඒ පුතා  කියනවා මට කන්න දුන්නේ අපේ තාත්තා බඩගින්නේ ඉඳලා කියලා. මම හිතන්නේ රජයක් සහනාධාර දෙන්න ඕන. ඒක රජයක වගකීමක්. ඒ ගමන් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරලා ඔවුන්ව ශ්‍රම බළකායට දායක කර ගන්න අවශ්‍යයි.

කිසියම් වෘත්තියක් හෝ ව්‍යාපාරයක් කරලා ජීවිතේ ඉදිරිය හදාගන්න හදන කෙනෙක්ට ඔබ කුමන උපදේශයක්ද දෙන්නේ?
ගොඩක් සංකල්පනම් තියෙනවා. නමුත් මමනම් කියන්නේ හොඳට තමන්ගේ ඔළුව පාවිච්චි කරලා මහන්සිවෙලා වැඩ කරන්න. බුද්ධිය දැනුම සහ කැපවීමත් ඔබ ඒ වෙනුවෙන් කරන පරිත්‍යාගත් තමා ඉතාම වැදගත්. බිල්ගේට් ගැන අද ලෝකයම කතා වෙනවා. ඔහුත් කළේ ඔය කලින් සඳහන් කළ දේමයි.

ජීවිතේ ජයගන්නනම් වාසනාව තියෙන්න ඕන කියලා බොහෝ අය විශ්වාස කරනවා. වාසනාවෙන් ජීවිතය ජයගන්න බැරිද? ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?
දියුණු වෙන්න වාසනාව අවශ්‍යම නැහැ. අවසනාවන්තයි කියන අයත් තමන්ගේ අරමුණුවලට ගිහින් ජීවිතේ ජය අරගෙන තියෙනවා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් කලින් කිව්වා වගේ මහන්සිවෙලා පරිත්‍යාග කරලා ඔළුව පාවිච්චි කරලා වැඩ කරලා තියෙනවා.

මෙන්න මෙහෙම දේකුත් තියෙනවා මම දකින. මමත් පහුගිය කාලයේ ඔය රියැලටි තරග විනිශ්චයටත් එකතු වුණා. අන්න ඒ වගේ දේවල්වලදීනම් වාසනාව අවශ්‍ය වෙනවා. මොකද ඉහළට යන්න එකම වගේ දක්ෂතා තියෙන පිරිසගෙන් එක්කෙනාටයි පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට අපි දකිනවනේ හොඳම දක්ෂතා තියෙන අය ඒවායින් ඉවත් වෙනවා. ඇයි කියලා ඒකට හේතුවක් හිතාගන්නවත් බැහැ. ඒක සමහර විට අවාසනාව වෙන්න ඇති.
මම තව ලස්සන කතාවක් කියන්නම්. මම මේ හොඳට දන්න දෙයක් කියන්නේ. පහුගිය කාලයේ මම ටුවරිස්ට් බෝඩ් එකේ සභාපති වෙලා හිටියා. ඒකේ මැනේජර් කෙනෙක්ට  80,000ක් වැටුප් ලැබෙද්දී ජූනියර් මැනේජර් කෙනෙක්ට රුපියල් 40,000ක් 45,000ක් වැටුප් ලැබෙන්නේ. තිස්දාහකින් තිස්පන් දාහකින් මාසේ කෑම කාලා මඟ වියදම් ගෙවලා ඇඳුම් පැළඳුම්වලට වියදම් කළාම මාසෙකට රුපියල් දහ පහළොස් දාහක්වත් ඉතුරු කරන්න බැහැ. ඒ ළමයි විවාහයක් කර ගන්නෙ කොහොමද? ගෙයක් දොරක් හදාගන්නෙ කොහොමද? මහා ඛේදවාචකයක්. වත්කම් වැඩිකර ගන්න ශ්‍රම බළකායේ ඉන්න අයට උගන්වන්න ඕන. වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන රාජ්‍ය සේවකයා ඇගයීමට ලක් කළා. ඊට කලින් කිසි එක්කෙනෙක්ට ඊට හිස නමා ආචාර කරන්න බැරි වුණා.

අපේ රට වගේ නෙවෙයි. ලෝකේ අනිත් රටවල් ජපානය ඉන්දියාව චීනය සැලසුම්වලට වැඩ කරනවා. ඒත් අපේ රට සැලසුම් හදන්නෙ නැහැ වැඩ පටන් ගන්නවා. ටිකක් කරගෙන යද්දී තමයි තේරෙන්නෙ වැඩේ අඩුපාඩු මොනවද කියලා. අපේ සැලසුම් අවුල් කියලා. අන්න ඒ නිසයි මම කියන්නේ ඇඟට කලින් ඔළුව පාවිච්චි කරන්න කියලා.

ඔබ ඉහළ වෘත්තියක නියැලෙන කෙනෙක්. ඉහළ වෘත්තියක නියැලෙද්දී ඉහළ ගෙවීමකුත් ලැබෙනවා. ඒ දේවල් කළමනාකරණය කර ගන්නෙ කොහොමද කියලත් කියමු නේද?
වියදම් කරද්දී හරි විනයක් තමන්ට නැත්නම් කරැණාකරලා හම්බකරන්න එපා. ප‍්‍රායෝගික නැහැ කියලා හිතුණත් මම කියන්නේ ඇත්ත. මේ ලෝකේ ඉන්න හැම ධනවතෙක්ම ධනවතෙක් වෙලා ඉන්නේ සල්ලි හම්බ කළ හින්දා නෙවෙයි. ඔවුන් උපයපු ධනය ඔවුන් නිසි ක‍්‍රමවේදයකට වියදම් කරන්නේ. කෙනෙක් උපයන ප‍්‍රමාණය අනුව අවශ්‍යතා හදාගත්තනම් ප‍්‍රශ්න අඩුවෙනවා.

ඔබගේ නිවසේ අය ගැනත් කියමු නේද?
මගෙ බිරිය ෂමී ගෝමස්. අපි දෙන්නා විවාහ වුණේ  ‍ප්‍රේම සම්බන්ධයකින්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාගෙ නම කුෂෙල්. දෙවැනි පුතා ෂෙනාල්. අපේ ගෙදර හැම කෙනාටම නොවැම්බර් 14 වැනිදා කියන්නේ විශේෂ දවසක්. මොකද මගේ බිරියගේ ලොකු පුතාගේ සහ මගේ උපන් දිනය තියෙන්නෙ එදාට. අපේ දෙවැනි පුතා ඉපදුණෙත් නොවැම්බර් මාසේ. එයා ඉපදුණේ නොවැම්බර් 06 වැනිදා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?
ඇඳුමෙන් පැළඳුමෙන් කෙනෙක්ට කෙනෙක්ව මනින්න අපහසුයි. ඒත් තැනේ හැටියට තැනට ගැලපෙන්න ලස්සනට පිළිවෙලකට අපි අඳින්න පළඳින්න ඕන. මොකද කෙනෙක්ගේ පුද්ගල පෞරුෂත්වයට ඒක ධනාත්මකව බලපානවා. කෙනෙක් අඩුවෙන් පෙන්වන එක අවාසියි වගේම වැඩියෙන් පෙන්වන එකත් පුහු මාන්නයක්. ඒ හින්දා මධ්‍යස්ථව ඉන්න එකයි වඩාත් හොඳ.

 

► Text — Chandana Waravitage/   Pic - Sumudu