2017 මාර්තු 25 වන සෙනසුරාදා

තාත්තෙක් වෙන්න තව කල් තියෙනවා

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

රොෂාන් කොහොමද ඔයාගෙයි කුශ්ලානිගෙයි ජීවිතේ...?

කුශ්ලානිගෙයි මගෙයි ජීවිතෙ වෙනදා වගේම බොහෝම සතුටින් සැහැල්ලුවෙන් ගෙවිලා යනවා. එයා එයාගේ රැකියාවට යනවා. මම මගේ වැඩවලට යනවා. අපි දෙන්නා අපේ වැඩවලට උදවු කරගන්නවා.

කුශ්ලානි ඔයාගේ වැඩවලට කොහොමද උදවු කරන්නේ?

කුශ්ලානී පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඉතින් එයා කරන ලොකුම උදවුව තමයි මට මගේ වැඩකටයුතු හිතේ නිදහසින් කරගෙන යන්න ඉඩදෙනඑක. ඇත්තටම එයාගෙන් ලොකු සපෝට් එකක් මට ලැබෙනවා. ගෙදර වැඩකටයුතු පවා ගොඩාක් දුරට හොයලා, බලලා කරන්නේ එයා. ගෙදරට ඕනකරන බඩුමුට්ටු ගේන්නේත් එයා.

මේ පාරත් ඔය දෙන්නට සිංහල අලුත් අවුරුද්ද සමරන්න ගෙදරදී ලැබෙන්නේ නැහැ නේද?

අනේ ඔව්. මේ පාර සිංහල අලුත් අවුරුද්දට මම හිරු නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙනවා. අපි කසාද බැඳපු මුල්ම අවුරුද්දේ මම ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගි වුණා. ගිය අවුරුද්දේ මගේ සීයා නැතිවුණ නිසා අපිට අවුරුදු තිබුණේ නෑ. මේ අවුරුද්දෙත් මට හිරු එකේ ප්‍රෝගෑම් එකක්. ඉතින් කුශ්ට තනියම තමයි අවුරුදු සමරන්න වෙන්නේ.

කාලයක් යනතුරුම රොෂාන් කුශ්ලානි ගැන ඔයාගේ රසික රසිකාවියන්ට වසන් කළා. මොකද ඒ?

කුශ්ලානියි මායි යාළුවෙලා අවුරුදු ගාණක් යනතුරුම අපි දෙන්නා තනියම කොහේවත් ගියේ නෑ. එක්කෝ අපි ගියේ කුශ්ගේ යාළුවෝ එක්ක. එහෙම නැත්නම් මගේ යාළුවෝ එක්ක. අනික කුශ්ලානි වගේම මගේ ගෙදරිනුත් කුශ්ලානිගේ ගෙදරිනුත් කැමැති වුණේ නෑ කුශ් ගැන හැමෝම දැනගන්නවාට.

ඔය කිව්වට තමන්ගේ පෙම්වතා ජනප්‍රිය රොෂාන් රණවන කියලා කියන්න කුශ්ලානි කැමති වුණේම නැද්ද? ඇත්ත කියන්න?

ඇත්තම තමයි මම කියන්නේ. ඕනෙනම් ඔයා කුශ්ගෙන් අහන්නකෝ. කුශ්ලානි එයාගේ යාළුවන්ටවත් කිව්වේ නෑ, මමයි එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. ඒ ගැන දැනගෙන හිටියේ එයාගේ ළඟම යාළුවන් කීපදෙනෙක් විතරයි. එයා ආදරේ කළේ මගේ ජනප්‍රියත්වයට නෙමේ. අඩුම තරමේ මම සම්මාන ගන්න සම්මාන උළෙලවල්වලට පවා කුශ්ලානි මාත් එක්ක ඒ කාලේ යන්න ආවේ නෑ. එයා හැමවෙලේම එයාගේ හදවතින් මට සුබ පැතුවා.

විවාහ වුණාට පස්සෙ අදටත් ඒ අවබෝධය ඔය දෙන්නා අතරේ එදාටත් වඩා ඇති... එහෙමද?

ඔව්... ඇත්තටම. කුශ්ලානිගෙයි මගෙයි අතර රහස් නෑ. අපි දෙන්නා ඕනෑම දෙයක් කතාබහ කරනවා. හැමදාම අපි දෙන්නාට වෙච්චි දේවල් කරපු දේවල් අපි දෙන්නා කතාබහ කරනවා. මම හිතන්නේ අපි දෙන්නාගේ ජීවිතේ මෙහෙම සැහැල්ලුවෙන් සතුටින් ආදරෙන් ගෙවෙන්න ඒකත් එක ලොකු හේතුවක් වෙනවා.

දෙන්නාගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද...?

අපි දෙන්නාගෙන් වැඩිපුරම කේන්ති යන්නේනම් මට. හැබැයි එහෙමයි කියලා හැමතිස්සෙම කේන්ති යන කෙනෙක්නම් නෙමෙයි. මම කියන්නේ කුශ්ලානිත් එක්ක බලද්දී එයාට වඩා මට ටිකක් වැඩිපුර කේන්ති යනවා. හැබැයි ඒ වගේ වෙලාවට කුශ්ලානි කිසිම දෙයක් කියන්නේ නැතිව සද්ද නැතිව ඉඳලා මගේ තරහ ඉවරවුණාට පස්සේ මගේ කේන්තියේ වැරුද්ද කියලා දෙනවා.

කුශ්ලානි හදන කෑමවලින් රොෂාන් වැඩියෙන්ම ආස මොනවටද?

කුශ්ලානිට හරි රසට කෑම හදන්න පුළුවන්. මාත් වෙජිටේරියන්. කුශ්ලානිත් වෙජිටේරියන්. එයා හදන ගොඩාක් කෑමවලට මම හරි ආසයි. ඒ අතරින් එයා හරි රසට මැකරෝනි හදනවා. ඒවාට මස් මාළු බිත්තර කිසිම දෙයක් දාන්නේ නැති නිසා එයා ඒවාට ඔය එළවළු  එක එක විදියට කපලා හදලා දානවා. තව එයා හරි රසට බීම හදනවා.

ඔයා බුද්ධාගමේ කුශ්ලානි කතෝලික එහෙම නේද?

ඔව්. අපි ආගම් දෙකක කියලා අපිට ප්‍රශ්නයක් නෑ. එයා කතෝලික ආගමේ විදිහට වැඩකරනවා. මම බුදුදහමේ විදිහට වැඩකරනවා. අපි දෙන්නම හැමවෙලේම පන්සල් පල්ලි යන්නේ නෑ. එයා මාත් එක්ක පන්සල් යන්න එනවා. මම එයත් එක්ක පල්ලි යනවා ඒක අපිට ප්‍රශ්නයක් නෙමේ.

දෙන්නට ලැබෙන ඔය විවේක වෙලාවකදී දෙන්නා එකතු වෙලා මොකද කරන්නේ?

විවේකයක් ලැබුණාම අපි දෙන්නා එකතුවෙලා ගෙවල් අස්කරනවා. වත්ත සුද්ද කරනවා. එහෙම නැත්නම් දෙන්න එකතුවෙලා කැමැති දෙයක් හදාගෙන කනවා. ෆිල්ම් බලනවා. එහෙම නැත්නම් ලංකාවේ ඇතුළත හරි ලංකාවෙන් පිට හරි කොහේ හරි යනවා.

දැන් ඔය දෙන්නා විවාහවෙලා අවුරුදු තුනකුත් ගත වෙනවනේ. දැන් චූටි පැටියෙක් එන්න කාලේ නේද?

එහෙම එන්න කාලේ තමයි... අපිට තව වැඩකටයුතු කිහිපයක්ම කරගන්න තියෙනවා. ඒවාත් ඉවරවෙලා බලමු.

Text - Jayamali / Pic-internet