2017 මාර්තු 25 වන සෙනසුරාදා

ආයෙත් තියෙන්නෙ වෙන්වීමක් විතරයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

මුහුදු වෙරළේ ගෙවී ගිය උදේ කාලය හරිම තෘප්තිමත්. අපි රන්වන් හිරු රැස් නාමින් පැය ගණනාවක් මුහුදු වෙරළේ කාලය ගත කළා. ජීවිතය ටිකෙන් ටික මොකක්දෝ වෙනසකට බඳුන් වෙමින් පවතින බව මට හැඟී යමින් තිබුණා. එහෙත් ගොලුබෙලි කටුව තුළටම වැදෙන ගොළුබෙල්ලකු සෙයින් මම ඇතුළු හදට වැදී මගේම ජීවිතයක් සොයමින් සිටියා. පල්ලිය දිනෙන් දින වර්ණ ගැල්වී අලුත්වෙන චිත්‍රයක් මෙන් මගේ මනසේ රැ‍දෙමින් ආත්මීය සිතුවමක් බවට පරිවර්තනය වෙමින් තිබුණා. ආදරය, විවාහය, විරහව මේ සියලු සංසිද්ධීන් පල්ලිය හා යා වී තිබුණා.

එදා හැන්දෑවේ අපි ජීවත් වුණේ අපි විසින්ම තනාගත් මනෝමය ලෝක දෙකක. ඇය කවර සිතුවිලි අතර සැරිසරනවාද යන්න ඇගේ නෙතින් කියවන්න මම කිසිඳු උත්සාහයක් ගත්තෙ නෑ. මට අවැසි වී තිබුණේ සියල්ලෙන් වහන් වී මගේම ලෝකෙක හුදකලා වෙන්ට.

ආදේශ් මට මුණගැසුණේ කුඩා සුන්දර දුපතකදී. අව්වත් නැති වැස්සත් නැති අමුතුම සුවදායක බවක් එහි තිබුණා. මුළු හවස්වරුවම අපි ඒ කාලේ මුහුදු වෙරළෙ ගතකළ දවස් තිබුණා. අපි ඉස්සෙරලම මුණගැහුණු දවසෙත් අපි කළේ මුහුදු වෙරළෙ කාලය ගත කරපු එක.

ජානා... 

මොකෝ?

මොකක්ද මේ ජීවිතේ තේරුම කියලා මට වෙලාවකට හිතෙනවා... 

උඹ ඇයි හැමතිස්සෙම ජීවිතේ එපාවෙලා වගේ කතා කරන්නෙ? 

ජීවිතේ බදාගන්ට දේවල් නැතිවුණාම මොන මිනිහටද ජීවිතේ එපා නොවෙන්නෙ... 

ජීවිතේට ආදරේ හිතෙන්නෙ ජීවිතේ බදාගන්න දේවල් තිබුණම නෙවෙයි අත්හරින්න තියෙන දේවල් වැඩි වුණාම... 

මට මේ පාළුව වෙලාවකට දරාගන්න බෑ... මට හිතෙනවා ජානා ආදේශ්ව ආයෙත් හොයාගෙන යන්න... 

එපා... තේරුමක් නෑ... 

ඇයි? 

කවදා නමුත් ආයෙත් තියෙන්නෙ වෙන්වීමක් විතරයිනෙ... 

කොහොම බැඳිලා හිටියත් අපි කවුරැත් වෙන්වෙනවා නේන්නම් 

ඒක වෙනයි... 

කාත්කවුරුත් නැති මාත් මෙච්චර සතුටින් ඉද්දී තමන්ට කියලා තමන්වත් ඉන්න මිනිස්සු ජීවිතේ මෙච්චර විඳවන්නේ ඇයි කියලා මම දන්නෙ නෑ... 

ජානා උඹට පුළුවන්ද මාත් එක්ක එකම එක දවසක් ගමනක් යන්න එන්න... 

කොහෙද? 

පල්ලියට... 

පල්ලියට? 

ඔව්... 

උඹට ඇත්තටම පිස්සුද? 

මම පුංචි කාලෙ ඉඳන් ජීවත් වෙච්ච තැන එතන... සිස්ටර් සේරා මාව එතනින් එලවලා දැම්මත් මට පල්ලිය අමතක කරන්න බෑ... අනිත් එක මට හැමතිස්සෙම අර දුප්පත් අසරණ කෙල්ල මතක් වෙනවා. 

කවුද අංජලීද? 

ඔව්...

ඔය හැමදේම අමතක කරපන්. නැත්නම් උඹට කවදාවත් ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන එකක් නෑ... 

කොහොමද ජානා ජීවිතේට දැනුණු දේවල් එහෙම අමතක කරන්නෙ? 

උඹට ඕනෑ හැමදාමත් මෙහෙම මැරි මැරී ජීවත් වෙන්නද? 

මට අදටත් ඕනැ පල්ලියේ ජීවත් වෙන්න... මොනවා වුණත් මම ඒ ජීවිතේට හරි ආසයි 

උඹ ආයෙත් එකම එක දවසක් හරි පල්ලියට ගියොත් ආයෙ කිසිම දවසක මේ ගෙදරට එන්න එපා... 

මම ජානා දිහා බැලුවෙ හිත කොනිත්තන වේදනාවකින්. ජීවිතේ යන්න එන්න තැනක් නැති වුණාම කෙනෙකුට දැනෙන වේදනාව ඒ මොහොතේ මගේ හිතට වද දෙමින් දැනෙන්නට වුණා. 

ජීවිතේ කොච්චර හෙම්බත් වුණත් තාම පොඩ්ඩක් ඇත්නම් උඹට ඇඬෙනවා. ඉස්සර වගේමයි පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ.

ඇත්තටම උඹ යන්ට කීවොත් මට යන්ට තැනක් නෑ... අනාථයෙක් වගේ මම ඉපදිච්ච රටේම මැරෙන්න මට බෑ... 
ඇයි උඹ මොකද කරන්ට හිතාගෙන ඉන්නෙ? 

ඒක මම තව ටිකක් හිතලම කියන්නම් 

දුල්යානා... 

බය වෙන්ට එපා මම උඹටවත් කරදරයක් වෙන්නෙ නෑ... 

හරි... හරි... දැන් ඔය ඔක්කොම අමතක කරමු... එන සති අන්තෙ අපි යමු හොඳ ට්‍රිප් එකක්.
කොහේද? 

ඒකත් පස්සෙ කියන්නම්