2017 මාර්තු 25 වන සෙනසුරාදා

මම දවසට සූට් තුන හතරක් අැන්ද පොරක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

ප්‍රවීණ කලා ශිල්පී විල්සන් ගුණරත්න සිය රංගන දිවියේ සුවිශේෂි 40 වැනි වසර කඩඉඩ සමරමින් මාර්තු මස 27 වැනිදා කොළඹ බිෂෝප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී “චරිත අටක්” දේශපාලන ප්‍රහසනය වේදිකා ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දශක හතරක කාලයක් පුරා ඔබ නියැලි රංගන වෘත්තිය ගැන ආපසු හැරී බැලීමේදී ඔබට මොනවද හැඟෙන්නේ?

මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒත් මම සතුටුවෙන්නෙ වෙනස් විදිහකට. මොකද මගේ සියලුම නිර්මාණවලින් මට අනිත් අයව සතුටු කරන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම හාස්‍ය තෝරාගත්ත නිසා මේ රටේ මිනිස්සුන්ගෙ බිඳුණු සිත්, රිදුණු සිත් සුවපත් කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. මිනිස් සිත් සුවපත් කරන්න පුළුවන් හොඳම ඖෂධය තමයි හාස්‍යය. ඒක විද්‍යාත්මක පැත්තෙනුත් ඔප්පු වී තිබෙනවා. ඒ සඳහා මම උපහාස රසය බහුලව පාවිච්චි කරනවා. 

වසර 40කට කළින් ඔබ නියැලී සිටියේ වෙනත් ක්ෂේත්‍රයක නේද?

ඔව්. වසර 40 කලින් මම වැඩ කළේ හෝටල් ක්ෂේත්‍රයේ. මම ඒ ක්ෂේත්‍රයේ ඉහළ නිලතල දැරුවා. ඇතැම් උත්සව අවස්ථාවනවලදී අපට දවසට හොඳ සූට් තුනක් අඳින්නත් වෙනවා. මට මතකයි ඒ වගේ එක දවසක මම හොඳ ඇඳුමක් ඇඳගෙන ගිහින් අම්මගෙන් ඇහුවා මම ලස්සනද කියලා? අම්මා එක පාරටම කිව්වා පිටතින් නම් ලස්සනයි කියලා. ඒ කියමනේ ගැඹුරු අර්ථයක් තිබුණා කියලා පසුකාලෙක මට තේරුම් ගියා. අම්මා නිතරම කියන්නෙ අපි පිටතින් වගේම ඇතුළාන්තයෙනුත් ලස්සනවෙන්න ඕනෙ කියලා. ඊට අමතරව මගේ නිවාඩු දවස්වල අම්මා මාව පිළිකා රෝහලට, ළමා රෝහලට, මහා රෝහලේ පිළිස්සුම් අංශයට එක්කගෙන යනවා. අවුරුදු ගණනක් මම නියැලිලා හිටිය හෝටල් ක්ෂේත්‍රයේ ඒ වෙනකොට මට ඇහුනෙ සංගීතය, දැක්කෙ හොඳ කෑම බීම හා නිතරම සතුටින් ඉන්න හොඳට නටන කන බොන මිනිස්සු. ඊට එහා තවත් ලෝකයක් තියෙනවා කියලා අම්මා මට පෙන්නලා දුන්නා. කවදහරි දවසක ඒ වගේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනව හරි දෙයක් මම කරයි කියලා එයාගෙ හිතේ ආශාවක්, බලාපොරොත්තුවක් තිබුණා. මට ඒක ලොකුවට හිතේ කාවැදුණා. ඒ අතරතුර මගේ කල්‍යාණ මිත්‍ර ඩබ්.ඒ. ධර්මසිරි මහතා අසහ ඔහුගේ ප්‍රිය බිරිය මාලිනි ධර්මසිරි මට රංගනය සඳහා ආරාධනා කළා. 

ඒ ආරාධනාව ලැබුණේ කොහොමද?

ධර්මසිරි මහතා නිෂ්පාදනය කරන්නට සැලසුම් කළ ටෝනි රණසිංහයන්ගේ තිර පිටපතකින් යුත් “වැනීසියේ වෙළෙන්දා” නාට්‍යයේ ආදිපාදිවරයාගේ චරිතය කරන්න මට ඔවුන් ආරාධනා කළා. ඒ සොඳුරු මිතුරාගේ ආරාධනය මට කොහෙත්ම අහකදාන්න බැරි නිසා එය සතුටින් භාරගත්තා. ඒ චරිත මට ලොකු අභියෝගයක් වුණා. ඒ නාට්‍ය තුළිනුත් කතා කළේ සමාජයීය දේශපාලන ප්‍රශ්නයක්. 

ඒ නාට්‍යයේ ශයිලොක්ගේ චරිතය තුළින් කතා කළෙත් අසත්‍යයෙන් තොර සත්‍යයට ගොඩාක් එහාට ගිය කාරණා.
වසර 40කට පෙර ඔබව රංගනයට හඳුන්වා දුන් ඒ යුවල තමයි මාර්තු 27 ඔබේ සුවිශේෂි දැක්මේ ප්‍රධාන ආරාධිතයින් හැටියට එන්නේ?

ඔව්. ධර්මසිරි මහතා හා මාලනී මහත්මිය තමයි ඒ සඳහා සුදුසුම දෙන්නා කියලා මට හිතෙන්නෙ. මොන තරම් දේවල් ලැබුණත්, ජනප්‍රියත්වයේ ඉහළම තැන්වලට ගියත් අපට මුල අමතක කරන්න පුළුවන්ද? අද නම් ඒ වගේ අය ගොඩක් ඉන්නවා. ඒත් සැබෑ කලාකරුවෙක් හැටියට මට එහෙම කරන්න බැහැ.‍

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ දේශපාලන ප්‍රහසන තුළින්?

මම පුංචි කාලෙ මට මතකයි මගෙ අම්මා මට කිව්වා ලංකාව දියුණු වෙමින් තියෙන රටක් කියලා. මම බැඳලා මගේ ළමයින්ටත් කියනවා මේක දියුණු වෙමින් තියෙන රටක් කියලා. අද මගේ දරුවොත් ඒගොල්ලන්ගෙ ළමයින්ට කියනවා මේක දියුණු වෙමින් තියෙන රටක් කියලා. නිදහස ලැබිලා අවුරුදු 69ක් තිස්සෙ අපි කියන්නෙ මේක. මේ රට ඇත්තට දියුණු වෙන්නෙම නැද්ද? මම කලා කටයුතු සහ විවිධ වැඩ කටයුතු සඳහා පිටරට ගිහිං තියෙනවා. මාස තුනකට, මාස හයකට, අවුරුද්දකට පස්සෙ ගියාමත් ඒ රටවල් තිබුණට වඩා ආර්ථික, සමාජයීය හා දේශපාලන වශයෙන් දියුණු වෙලා. මේ රටේ ජනාතවට කියන්න ඕන පණිවිඩයක් තියෙනවා. අපට කොහෙද වැරදුෙණ් කියලා අපි තේරැම් ගත යුතුයි. ජනතාව තාම තේරුම් අරගෙන නැහැ ඇයි ඒ අය තාම පාවිච්චි වෙන්නෙ කියලා. මගේ නාට්‍යයේ එක තැනක අහනවා “දේශපාලනඥයෝ අයි ජනතාව පාවිච්චි කරන්නෙ කියලා” එතකොට දේශපාලනඥයෝ අහනවා “ඇයි ඒගොල්ලො පාවිච්චි වෙන්නෙ” කියලා. මේ රටේ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනෙ.

මාර්තු 27 ඔබේ 40 වැනි සැමරුමේ දැක්මට තවත් සුවිශේෂි සාධකයක් තිබෙනවා නේද?

ඔව් ඒක පවත්වන්නෙ ලෝක නාට්‍ය දිනයට සමගාමීව. මේක සංවිධානය කරන්නෙ විල්සන් ගුණරත්න රසික හවුල. මගේ නාට්‍යට සම්බන්ධ හා මෙතෙක් මා සමඟ වැඩකළ සියලුම ශිල්පීන්ට මම ස්තූතිවන්ත වෙනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසර 40කට පෙර රංගන ලොවට විල්සන් ගුණරත්නයන් දායාද කළ ඩබ්.ඒ. ධර්මසිරි මහතා අපහට පැවසුවේ මෙවන් අදහසක්.

“එදා හිටිය කොල්ලා අදත් ඒ විදිහටම ඉන්නවා කියලා තමයි මට හිතෙන්නෙ. අද ඔහු දශක හතරක දිගු ගමනක් ඇවිත්. මට කෙනෙක් දැක්කම එයා ගැන හොඳ අවබෝධයක් ඇති කරගැනීමේ සහජ හැකියාවක් තියෙනවා. විල්සන් තුළ සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා කියලා එදා මට තේරුම් ගියා. ඒ අදහසට ඔහු 100%ක් සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා. මුල අමතක වෙන මිනිස්සු බහුලව ඉන්න අද වගේ කාලෙක ඔහුව රංගනයට හඳුන්වා දුන් මට හා මගේ බිරියට මේ සුවිශේෂි උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් හැටියට සම්බන්ධ කර ගැනීම අපට ආඩම්බරයක්. ටෝනි රණසිංහ රංගනවේදියා අවසන් වතාවට ලියූ නාට්‍ය පිටපත වේදිකාගත කර නිෂ්පාදනය කරන්න මගේ බලාපොරොත්තුවත් තියෙනවා. ඒකෙ ප්‍රධාන චරිතයක් රඟපාන්නෙ විල්සන් ගුණරත්න කියලා මම සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි”.

Text – Ramesh Uvais / Pic-internet